UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 27 සසර දුර මග අඳුරු අහුමුලු එළිය කළ පහන් වැට

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 27

සසර දුර මග අඳුරු අහුමුලු එළිය කළ පහන් වැට

චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ ලියූූපොත් කියවා පැහැදී තම ජීවිතයට ඉන් ඉමහත් වූ ආලෝකයක් සලසා ගත් ගිහි පැවිදි ඇත්තෝ අදත් මේ සමාජයේ බහුලය. හෙටත් එය එසේම වනු ඇත. උන්වහන්සේ ලියූ පොත් 28 ක් වැනි සංඛ්‍යාව අතුරින් අඩුතරමින් එකදු පොතක් හෝ නොමැති බොදු නිවසක් ඇත්නම් එය ඉතා විරළ අවස්ථාවකි. ඒ තරමට එම පොත් පෙළ ගමින් ගම දොරෙන් දොරට පැමිණ පොදු බොදු මහජනතාව සමඟ ලෙන් ගතු විය. ඒ සඳහා අමුතු ප්‍රචාරයක් අවශ්‍ය නොවෙයි.

රේරුකානේ චන්දවිමල යන නාමය බොදු පොදු ජන මනසේ ඇඳි රැඳි පවතින්නේ තම ආත්මයේම කොටසක් ලෙසය. මේ බිම ධර්මාලෝකයෙන් බැබල වූ ධර්ම දේශනාවන්ගෙන් පිරිත් සජ්ක්‍ධායනාවෙන් සැනසුවාලූ සුපේශල ගුණයෙන් සිත් සතන් පහන් කළා වූ ආදර්ශයෙන්, ජීවිත හා යා වූ සංඝපීතෘවරුන් සැමට නිසි ගෞරවය පූජනීයත්වය කිසිදා අඩුනොවේ. එවන් භික්‍ෂූන් වහන්සේ මේ බිමේ අධ්‍යාත්මික අගය වර්ධනය කරන්නා වූ රත්නප්‍රදීපයන්ය. ඒ උත්තරීතර සංඝ සමාජය කශාය වස්ත්‍රා ලෝකය උදයට පායන දිනිසුරුගෙ අරුණාලෝකයේ කහ පැහැය සේම නිදිගත් ලෝකය අවධි කළ සේක. ධර්මද්වීපයේ මල් පිපුණේ ඵල දැරුවේ එවන් වූ සංඝ පීතෘවරුන් නිසා ය. කිසි සේත් එම සඟරුවන අවතක්සේරුවට පත්කළ නොහැක. ඒ සියලු සුපේශල ශික්‍ෂාකාමි බහුශ්‍රැත ධර්මධර භික්‍ෂූන් වහන්සේලාට නිසි ගෞරවය පුදකරමින්ම රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ට හිමිව ඇති තැන පිළිබඳව සඳහන් කළේ පවතින යථාර්ථය එයම නිසාය. පැවිදි දිවියේ පවිත්‍රත්වය සමඟම ධර්ම සන්නිවේදනය ලේඛනයෙන්, පොදු ජන මනසට නිවැරැදිව සරලව සුගමව රැගෙන ඒමට සමත්වූ නිසාම උන්වහන්සේ මෙසේ කුදු මහත් ජන හදවත් හා හෘදයාංග විය.

සිත් සතන් ව්‍යාකූල වූ ඇතැම් අය මනස නිරවුල් කර ගැනීම සඳහා කල්‍යාණ මිත්‍රයකුගේ සහාය පතනව සේ සොයා ගියේ රේරුකානේ මා හිමියන් ලියූ ධර්ම පුස්තකයන්ය. ඇතැම් ගිහියකු ගිහිගෙයින් නික්මී ශාසනාවතරණය කිරීමට තරම් ආත්ම ශක්තියක් උපදවා ගත්තේ මහා නා හිමියන් ලියූ ‘ශාසනාවතරණය’ නම් පොත පරිශීලනය කිරීම නිසාය. බෞද්ධයාගේ අත්පොත බොදු ගෙපැලේ නිවසේ මැදුරේ කාගෙ කාගේත් අත්පොත විය . ආරණ්‍ය, රුක්‍ඛමූල, ශුන්‍යාගාර ගත හුදෙකලා යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විමුක්තිය සොයා යන දුර්ග මාර්ගයේ අඳුරු අහුමුලු දකින විට ඒ අඳුර නිමවන පහන් වූයේ බොහෝ විට රේරුකානේ මා හිමියෝ ලියූධර්ම ග්‍රන්ථ පෙළය. සංකීර්ණ ගැටලුවක් විසඳීමට අවශ්‍ය ගුරු ඇසුර ලබා දීමට මේ ධර්ම ග්‍රන්ථ ගුරුතුමා පිහිටට සිටින්නේය. හුදෙකලා තැන්වල වැඩ වසන බහුතරයක් යෝගාවචරයාණන් වහන්සේලා පවසන්නේ විමුක්තිය සොයා යන වර්ගයේදී යම් ගැටලුවක් පැණ නගින්නේ නම් රේරුකානේ මහා නා හිමියන් ලියූ පොතකින් එයට විසඳුම සොයා ගත හැකි බව ය. මෙසේ පවසන බහුතරයක් යෝගාවචරයාණන් වහන්සේලා භද්‍ර යෞවනයේ පසුවන අය වීම විශේෂයකි.

එක් දිනක් මා දකුණු පළාතේ ඉම දුර කතරක පිහිටි ආරණ්‍ය සේනාසනයක් වෙත ගියෙමි. එහි ආවාස කුටි බොහොමයක් සැකසී තිබුණේ ස්වභාවිකව පිහිටි ගල්ලෙන් ආශ්‍රය කර ගනිමිනි. ගන වන ගහනය මැදින් ඉහැත්තෑවට යන විට එක්තරා හුදෙකලා ගල්ලෙනක් දුටුවෙමි. මිනිස් පුළුටක්වත් නැතැයි සිතූ සිතිවිල්ල වෙනස් වූයේ ගල් තලාවක වනා තිබූ චීවරයක් දුටු මොහොතේය. සෙමෙන් කුටියට ලංවන විට තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් භාවනා යෝගීව හිඳුණු දුටුවෙමි. දසුනපි‍්‍රය විය. බාධා නොකරමින් මම පසෙකට වුණෙමි. මඳ වේලාවකින් පසුව මිනිස් පහසක ඉව වැටුණු නිසාදෝ උන්වහන්සේ දෙනෙත් හැර සෙමෙන් නැඟිට ගත්හ. එහෙත් දොඩමළු වීමට එතරම් පි‍්‍රය නො කළ බවක් දැනුණි. වන කතරක් අතර මැද කැමරාවක්ද කරේ එල්ලාගෙන සිටි මගේ දසුනින් උන්වහන්සේ කලබල වේ යැයි සිතුණ නිසා මාගේ ගමන මෙන්ම අරමුණ වහා පැහැදිලි කළෙමි. අපටද මේ ගන වනය මැද හුදකලා භික්‍ෂුවකගේ වාසය කුහුලක් දනවන සිද්ධියක් නිසා යැයි හැඟුණ නිසා දෝ තමා පිළිපන් ගමන් මඟ ගැන සාරාංශ වශයෙන් යමක් කීමට උන්වහන්සේ ද පෙළඹුණහ. දුප්පත් පවුලක වුවත් ඉතා හොඳින් ඉගෙන ගත් මෙම තරුණයා විශ්ව විද්‍යාලය වෙත යන ගමන නවතා සිරිපා අඩවියේ දැඩි හිමයට අවතීර්ණ වූයේ භෞතික දියුණුවේ මඟ පසෙකලා අධ්‍යාත්මය පෝෂණය කර ගනිමින්, සසර මඟ කෙටි කර ගැනීමේ අභිලාශයෙනි. දැඩි ව්‍රතයක යෙදෙමින්, භාවනා අභ්‍යාශයේ නියැලෙමින්, ගඩා ගෙඩියෙන් පණ නළ ගැට ගසා ගනිමින්, ගෙවු කාලය සිහිනයක් විය. අරමුණ වෙත යන ගමන දුෂ්කර විය. ගිරිදුර්ග මතදි යා යුතු මගේ මහා ගල් පර අගාදයන් පෙනෙන්නටද විය. මේ ගැටලු වලට විසඳුම් අවශ්‍යය. හුදෙකලා ගමන තවදුරටත් යා නොහැකි බව දැණුනි. තමා සතු ධර්ම ඥානයද ඒ සඳහා ප්‍රමාණවත් නො වුණූ වග හැඟුණේය. විසඳුම් සොයා පැමිණි ගමන නැවතුණේ මේ ආරණ්‍යයෙනි.

ආරණ්‍ය සේනාසනාධිපතින් වහන්සේ වයෝ වෘද්ධය තපොවෘද්ධය, උන්වහන්සේ ලබා දුන් ඇතැම් ගුරුහරුකම් මේ තරුණ භික්‍ෂූන් වහන්සේගේ ගැටලු සඳහා උත්තර සැපයීමට ප්‍රමාණවත් නොවීය. මේ යොවුන් හිමියන් තම කතාව පැවසුවේ කිසිවකුත් අවතක්සේරුවට ලක් කිරීමට නො වූවද එයින් මා තේරුම් ගත්තේ හිමයේදි මෙන්ම අරණේදීද උන්වහන්සේට නිසි මඟ යාමට අපහසු වූ බවකි. මේ අතර අරණේ පුස්තකාලයේ තිබූ රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ‘පටිච්ච සමුප්පාද විවරණය’ නම් පොත අහඹූ ලෙස ඇස ගැසී එය කියවාගෙන යන විට දැනුනේ තමා වෙත එළඹුණු ගැටලු රාශියකට එයින් පිළිතුරු ලැබුණූ බවය. ඒ පිබිදීමත් සමඟ රේරුකානේ මහා නා හිමියන්ගේ වෙනත් පොත් ද කියවීමට උන්වහන්සේ පෙළඹුණහ.

ඇත්තෙන්ම එම පොත් බහුශ්‍රැත ගුරුවරයකු තම අත්දැකීම් සරලව පහදා දෙන ආකාරයට තමාට පිහිට වූ බව උන්වහන්සේ පැවසූහ.

ලද ප්‍රතිඵල පිළිබඳව විමසන විට උන්වහන්සේ පිළිතුරක් නොදුන් අතර මුහුණේ ඇඳී තිබුණේ නිරවුල්, ප්‍රසන්න සිනහවකි. සසර දුර මඟ ඉම පෙන්වන සංඥා කොළ එහි මෙම තරුණ භික්‍ෂූන් වහන්සේ දුටුවෙහිද? බැඳුණු වරපට ලිහා දැමුවා යැයි හැඟෙන ඒ ප්‍රසන්න සිනහව පසන් මනසක් ප්‍රතිබිම්භනය කර පෙන්වූ කැඩපතක් බඳු නො වේ දැයි මට සිතුණි.

ඡායාරූපයකට පවා පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කළ මේ යෞවන භික්‍ෂූන් වහන්සේ තම නමවත් තැනවත් සටහන් නො කරන ලෙස මා ගෙන් ඉල්ලා සිටියහ. මෙම සිදුවීම වී දැනට වසර දහයකට ආසන්නය. ස්ථානය මට තවමත් මතකය. උන්වහන්සේගේ නම අමතකය. එහෙත් අඳුර ඉරා පෑවු සෞම්‍ය සඳ මඩලක් සේ වු ඒ ප්‍රසන්න මුහුණ කිසිදා මතකයෙන් ගිලිහි නොයේ. මෙවන් වටිනා තරුණ ජීවිත අඳුරේම මැලවී මියැදෙන්නට ඉඩ නොදී පිබිදී දිදුලන්නට අවශ්‍ය රැස් කිරණ විහිදුවාලූයේ රේරුකානේ මහා නාහිමියන් ලියූ පුස්තකරත්න විසින් නොවේ ද?

දාහත් වසරක් චන්දවිමල මහා නා හිමියන්ගේ සමීපයේම උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් වැඩ සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ඇසූ ඇසුම් ලද අත්දැකීම් අනුසාරයෙන්ද උපහැරණ කීපයක් ගෙන හැර පෑ හැකිය.

පංචිකාවත්තේ මෝටර් රථවලට සම්බන්ධ වෙළෙඳ සැලක් අයිති මහත්මයෙක් දිනක් පැමිණියේ මහා නා හිමියන් බැහැදැකීමේ දැඩි කැමැත්තෙනි. ඒ කැමැත්ත ඇති වූයේ මහා නා හිමියන් ඔහුගේ ජීවිතය බේරා දුන් බැවිනි. එහෙත් පුදුමය නම් රේරුකානේ මහා නා හිමියන් කෙදිනකවත් ඔහු හා කතා කර හෝ හමුවී හෝ නොමැති වීමය. එසේ නම් ජීවිතය බේරා දුන්නේ කෙසේ දැයි බලමු. මෙම මහතා තරුණ කාලයේදී වෙනත් අයකු සමඟ යම් කාරණයකට දැඩිසේ උරණ විය. අවසානයේ සිතුවේ අමනාප වූ කෙනාට විශාල විපතක් සිදු කිරීමටය. ඒ සඳහා ඔහුගේ රියදුරුට කීවේ වාහනයක් රැගෙන තම මාමාගේ පොත් සාප්පුව අසලට එන ලෙසය. එහෙත් අදාළ වෙලාවට වාහනය පැමිණියේ නැත. ඒ නිසා ඔහුගේ කේන්තිය තව තවත් වැඩි විය. කේන්තිය උත්සන්න වී සංයමය බිඳී පොත් සාප්පුව පුරා එහෙ මෙහේ ඇවිද යන විට රාක්කයේ තිබූ පොතක් අතට අරගත්තේ නිකමට මෙනි. අරමුණකින් තොරව පොතේ පිටු පෙරළන විට එහි ඡේදයක් වෙත දෑස් යොමු වුණේ නිතැතිනි. එම ඡේදය බුර බුරා නැග ආ කේන්තිය මදක් දුර්වල කළ දිය දෝතක් මෙන් විය. පොත රැගෙන ඔහු කාමරයක් වෙත ගියේය. තවත් පිටුවක් දෙකක් පෙරළන විට මුළු පොතම කියවන්නට සිත් විය. මෙම පොතේ අඩංගු වූ සදහම් පාඨය අමා පැන් දියත්තක් සේ ගලා හැලෙමින් ද්වේශයෙන් ගිනියම් වූ සිත් බඳුන සිහිල් කළෙහිය. ප්‍රමාදය පසුතැවිල්ලට මුල වුවද මෙම ප්‍රමාදය සැනසීම උදා කළේය. එදා ඒ නපුරු සිතිවිල්ල ක්‍රියාත්මක කළේ නම් සමහරවිට ඔහු අද ජීවතුන් අතරත් නැති වීමට ඉඩ තිබුණි. නැතිනම් හිරේ විලංගුවේ ය. ඔහුට එසේ ජීවිතදානය ලැබුණේ කිසිදා හමුවී හෝ දැක නොතිබුණා වූ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් නිසාය. එදා ඔහුට අහම්බෙන් කියවන්නට ලැබුණේ මහා නා හිමියන් ලියූ චතුරාර්ය සත්‍යය නම් ධර්ම ග්‍රන්ථයය.

දිනක් ධම්මානන්ද හිමි තම මෑණියන්ගේ සුව දුක් බැලීමට යන අපේක්‍ෂාවෙන් කොළඹ සිට බිබිල බලා යන බසයකට ගොඩ විය. සංඝයා වහන්සේ වෙනුවෙන් වෙන්ව තිබූ අසුනේ තරුණ භික්ෂූන් වහන්සේ දෙනමක් අසුන්ගෙන සිටි නිසා ධම්මානන්ද හිමියන්ට සිදුවූයේ පසුපස අසුනේ වාඩි වීමටය. ආහාර ගැනීමට බසය නැවැත්වූ වේලාවේ අර භික්‍ෂූන් වහන්සේ සමඟ කතා කිරීමේ අවස්ථාව උදා විය. පිළිසඳරේදි දැනගත්තේ ධම්මානන්ද හිමියන් පැමිණියේ රේරුකානේ මහා නා හිමියන් වැඩ සිටින විනයාලංකාරාරාමයේ සිට කියාය. රේරුකානේ මහා නා හිමියන් ගැන දන්නවාදැයි ධම්මානන්ද හිමි ඇසීය. එක් තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් පැවසුවේ ‘මොකද නැත්තේ මා අදද ජීවතුන් අතර සිටින්නේ රේරුකානේ නායක හිමියන්ට පින් සිදු වන්නටයි කියාය. දිනක් උන්වහන්සේ තම ගුරු හාමුදුරුවන් සමග යම් කරුණක් නිසා අමනාප විය. මෙය කොතරම් දුර දිග ගියේද කිවහොත් අවසානයේ මේ තරුණ භික්‍ෂූන් වහන්සේ සිතුවේ ජීවත් වනවාට වඩා මරණය ළඟා කර ගැනීම වඩා හොඳ බවයි. මරණය වෙත ලංවිය යුතු මාර්ග බොහෝ ඇති නිසා උන්වහන්සේ තෝරාගත්තේ උපවාසයයි. නොකා නොබී දින කීපයක් උපවාස කරන අතරතුරදී උන්වහන්සේ ගේ නෙත ගැටුනේ මේසයක් මත තිබූ ‘චතුරාර්ය සත්‍ය’ පොතය. මරණය අභිමුව සිට චතුරාර්ය සත්‍ය පොත කියවීමට සිත් විය.

ජේදයෙන් ජේදය පරිච්ඡේදයෙන් පරිච්ඡේදය පිටුවෙන් පිටුව පෙරළිණ. පලායන ජීවිතය ඉක්මනින් ඩැහැගැනීමට මෙතෙක් හැල්හොල්මන් කළ වියරු ‘මරණය’ නියාලු වී හැකිලි පසු බසින්නට විය. එසේ සිය දිවි නසා ගැනීම වැනි නරුම හැඟීම් මුලින් උපුටා දැම්මේ මෙම චතුරාර්ය සත්‍ය පොතය. මරණය අභිමුව නොසැලී ජීවිතය ජයගන්නා හැටි කියාදුන්නේ මේ චතුරාර්ය සත්‍ය පොතය. ඒ නිසා සියලු තරහව,ද්වේශය වියැකී. මෛත්‍රිය, කරුණාව ඉපැදී මේ තරුණ භික්‍ෂූන් වහන්සේට නැවත ජීවිතය තිළිණ කළේ ‘චතුරාර්ය සත්‍ය’ පොතය.

තවත් කොටසක් අප්‍රේල් 07 වන දා පත්‍රයේ පළ වේ


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 26 තිගැස්මෙන්, කම්පනයෙන් තොර මනසක්

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]