UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 11 සෙනෙහෙබර සැමියාට මවක් වැනි බිරිඳක් වන්නේ කෙසේ ද

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 11

සෙනෙහෙබර සැමියාට මවක් වැනි බිරිඳක් වන්නේ කෙසේ ද

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, ප්‍රඤ්ඤාභිසන්ද වර්ගයේ ඇතුළත් නකුලපිතු සූත්‍රයෙහි සඳහන් යුගදිවියේ සාර්ථකත්වය සඳහා බලපාන කරුණු මොනවාද දැයි විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමු වන්නේ අංගුත්තර නිකායේ ම සත්තක නිපාතයේ ඇතුළත් සත්ත භරියා සූත්‍රයෙහි සඳහන් භාර්යා වර්ගීකරණයන් හඳුනාගැනීමට ය.

වරක් භික්‍ෂූන් වහන්සේ ඇමැතූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්ත්‍රිය කරුණු අටකින් පුරුෂයාගේ සිත පැහැර ගන්නා බව දේශනා කළහ. එනම් ස්ත්‍රිය රූපයෙන්, සිනහවෙන්, කතාවෙන්, ගීතයෙන්, හැඬුමෙන්, ක්‍රියා කලාපයෙන් තුටු පඬුරු දීමෙන් මෙන් ම ස්පර්ශයෙන් ද පුරුෂයාගේ සිත පැහැර ගනියි.

“අට්ඨහි භික්ඛවේ අකාරේහි ඉත්ථිපුරිසං බන්ධති. කතමෙහි අට්ඨ රූපේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. හසිතේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. හණතේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. ගීතේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. රුණ්ණේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. ආකප්පේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. වනහඩ්ගේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. එස්සේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. ඉමේහි බෝ භික්ඛවේ අට්ඨාභාකාරේහි ඉත්ථි පුරිසං බන්ධති.”

මේ කරුණු අටෙන් පමණක් සමන්විත වූ භාර්යාව පුරුෂයාට සුදුසු යැයි බුදුදහම අවධාරණය නොකරයි. එයට හේතුව මේ සියල්ල භෞතික වශයෙන් පෙනෙන දේ පමණක් වීමය. බාහිර පෙනුමෙන් යමෙකු තෝරා බේරා ගැනීමට මෙන් ම යමෙකු පිළිබඳ තීරණයක් ගැනීම ද අපහසු බැවිනි. එමනිසා විවාහ ජීවිතයේ දී භෞතිකත්වයට වඩා වැදගත්විය යුත්තේ අධ්‍යාත්ම බැඳීමයි. එය විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට වඩාත් ඉවහල් වේ.

කලෙක සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට දිනක් අනේපිඬු සිටුතුමාගේ සිටුමැදුර දෙසින් මහත් ශබ්දයක් ඇසෙන්නට විය. ටික වේලාවකින් අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ සිටුමැදුර දෙසින් ඇසෙණු එම මහත් ශබ්දය කුමක් දැයි සිටුතුමාගෙන් විචාළේ ය. එවිට සිටුතුමා පවසනුයේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පසුගිය දිනක මාගේ පුතණුවන්ට ධනවත් උසස් කුලයකින් සුජාතා නම් වූ ලේලියක් ගෙන ආවෙමි. ඇය ස්වාමියාට ගෞරව නොදක්වයි. නැන්දට, මාමාට නොසලකති. වැඩිහිටියන්ට ගෞරවයක් නැත. තුණුරුවන් කෙරෙහි ද කිසිදු ගෞරවයක් පැහැදීමක් නැත යනුවෙන් පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ පණිවුඩයක් යවා සුජාතාව ගෙන්වා භාර්යාවන් හත්දෙනෙකුගේ ගති ස්වභාවයන් දක්වා තමා එයින් කවර ගණයට අයත් වන්නේ දැයි විචාළහ. සුජාතාවට භාර්යාවන් පිළිබඳ කරුණු පහදා දුන් මෙම සූත්‍රය සත්තභරියා සූත්‍රය ලෙස හඳුන්වයි.

සත්ත ඛො ඉමා, සුජාතෙ, පුරිසස්ස භරියායො, කතමා සත්ත? වධකසමා, චොරීසමා, අය්යසමා, මාතාසමා, භගිනිසමා, සබ්සමා, දාසීසමා, ඉමා බො, සුජාතෙ, සත්ත පුරිසස්ස භරියායො.

සත්ත භරියා සූත්‍රයෙහි සඳහන් භාර්යාවන් හත්දෙනා මෙසේ ය. මෙසේ සඳහන් වෙයි.

1. වධකසම භරියා - ස්වාමියාට වධකාරියක් මෙන් කටයුතු කරන භාර්යාව
2. චෝරසම භරියා - ස්වාමියාට සෙරක් මෙන් කටයුතු කරන භාර්යාව
3. අය්‍ය (සාමි) සම භාරියා - ස්වාමියා පහත්කොට කටයුතු කරන භාර්යාව
4. මාතාසම භරියා - ස්වාමියාට මවක් මෙන් කටයුතු කරන භාර්යාව
5. භගිනීසම භරියා - ස්වාමියාට සොහොයුරියක් මෙන් කටයුතු කරන භාර්යාව
6. සඛිසම භරියා - ස්වාමියාට යෙහෙළියක් මෙන් කටයුතු කරන භාර්යාව
7. දාසීසම භරියා - ස්වාමියාට දාසියක් මෙන් කටයුතු කරන භාර්යාව

1. වධකසම භරියා

ස්වාමියා කෙරෙහි දූෂිත වූ සිත් ඇත්තේ, හිතානුකම්පාවක් නැත්තේ. වෙනත් පුරුෂයන් කෙරෙහි ඇළුණු සිත් ඇත්තේ, ස්වාමියා ඉක්මවා කටයුතු කරන ස්වභාව ඇත්තේ, ස්වාමියාට නිතරම වධ කරමින් හැසිරෙන්නේ, මෙබඳු ගති ස්වභාව ඇති භාර්යාව වධක භාර්යාවකි.

2. චෝරසම භරියා

ස්වාමියා ශිල්ප ඤාණයෙන් වෙළෙඳාමෙන් කෘෂිකර්මාන්තා දී වූ යම් ධාර්මික ක්‍රමයකින් උපයන වස්තුවෙන් කොටසක් තමන් සතුකර ගැනීම සඳහා යම් භාර්යාවක් උත්සාහ කරන්නේ ද එබඳු භාර්යාව සොර භාර්යාවකි.

3. සාමිසම භාරියා

යම් භාර්යාවක් කර්මාන්ත නොකරනු කැමැත්තී, කම්මැළි සිත් ඇත්තීද, බොහෝකොට අනුභව කරන්නීද, කෲරද, කෝපගති ඇත්තීද, නපුරු වචන කියන්නීද, උත්සාහවත් ස්වාමියාගේ ඒ උත්සාහය යටපත්කොට පවතීද, මෙබඳු ගති ඇති භාර්යාව ස්වාමි භාර්යාවයි.

4. මාතාසම භරියා

යම් භාර්යාවක් සෑම කල්හි ස්වාමියාට හිතානුකම්පා ඇත්තීද, පුත්‍රයා රක්නා මව මෙන් ස්වාමියා රකීද, එමෙන්ම ස්වාමියා විසින් රැස් කරන ලද ධනය රකීද, මෙබඳු ගති ස්වභාවයන්ගෙන් සමන්විත භාර්යාව ස්වාමියාට මවක් බඳු භාර්යාවයි.

5. භගිනිසම භරියා

යම් භාර්යාවක් බාල සොහොයුරි යම් සේ වැඩිමහලු සහෝදරයා කෙරෙහි ගෞරව සහිත වන්නීද, එමෙන් ස්වකීය ස්වාමීයා කෙරෙහි ලජ්ජා සිත් ඇත්තේ, ස්වාමියාට අනුගතවම පවත්නේද, ඇය ස්වාමියාට සොහොයුරියක් හා සමාන භාර්යාවකි.

6. සඛිසම භරියා

මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් තම ස්වාමියා දැක බොහෝ කලකින් ආ යහළුවෙකු යහළු තැනැත්තියක් සේ සතුටු වන්නීද, කුල සම්පන්න වූ, ශීලයෙන් යුක්තවූයේ ද ස්වාමියා දෙවියෙකු මෙන් සිතා කටයුතු කරන්නේ ද යම් පුරුෂයෙකුට මෙබඳු භාර්යාවක් ඇත්තේ ද ඇය තම ස්වාමියාට යහළුවෙකු මෙන් සලකන භාර්යාවකි.

7. දාසීසම භරියා

කෝප නැත්තී, තම ස්වාමියා විසින් දණ්ඩක් ගෙන ‘තී නසන්නෙමි’යි තර්ජනය කරන කල්හිද නොකිපුනාවූ ම, ද්වේෂ නොවූ සිත් ඇත්තී, ස්වාමියාගේ වරද ඉවසාද, යම් පුරුෂයෙකුට මෙබඳු ස්වභාව ඇති භාර්යාවක් වන්නේ ද ඇය තම ස්වාමි පුරුෂයාට දාසියක මෙන් සලකන භාර්යාවකි.

මේ ලෝකයෙහි භාර්යාවන් අතර යම් භාර්යාවක් වධක භාර්යාවක්, චෝර භාර්යාවක් හා ස්වාමි භාර්යාවක් ලෙස තම ස්වාමියාට කටයුතු කරන්නේ ද ඔවුන්ගේ දුස්ශීල බව හා අයහපත් චර්යාවන් නිසා මරණින් පසු දුගතියට යන්නේ ය.

මේ ලෝකයෙහි යම් භාර්යාවක් මාතෘ භාර්යාවක්, භගිනි භාර්යාවක්, සඛී භාර්යාවක් හා දාසී භාර්යාවක් ලෙස තම ස්වාමියාට කටයුතු කරන්නේ ද සිල්වත් බව හා යහපත් චර්යාවන් නිසා එබඳු අය මරණින් පසු සුගතියට යන්නේ ය. මෙම ධර්ම දේශනාව අවසානයේ දී සුජාතාව දාසි භාර්යාවක් ලෙස තම ස්වාමියාට කටයුතු කරන බවට පොරොන්දු විය.

මතුසම්බන්ධයි


තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 10 බුදු පියාණන්වහන්සේගෙන් පැසසුම් ලද ආදර්ශවත් යුග දිවිය

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]