UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරල දිවියෙහි අගය දකින වත්තල නිර්මලා සිල් මාතාව

සරල දිවියෙහි අගය දකින වත්තල නිර්මලා සිල් මාතාව‍

සිල් මෑණියෝ වට පිට නොබලාම පාසල වෙත වඩිති. එතුමිය දකින කුඩා දරු පිරිසගේ වුවන උදෑසන මල් කැකුළු මෙන් පිබිදෙයි. සුපුරුදු පරිදි පාසලට ඇතුළු වන්නට පෙර සිල් මෑණියන් පාසල් මිදුල සිසාරා නෙත් යොමු කළාය.මිදුලට අඩිය තබන ඊළඟ තත්පරයේදී සිදුවන දේ එතුමියට කවදත් හුරුපුරුදුය. එතෙක් වේලා කෙළිදෙලෙන් දඟ කරමින් දුව පනින දරු කැල කහ සිවුර නෙත ගැටෙත්ම සියල්ල නවතා ඉදිරියට දුව එති. දුවවිත් සිල් මෑණියන් අභියස දණින් වැටෙති. ‘සුවපත් වේවා ‘ යන්නට අමතරව තවදුරටත් කාරුණික වදන් බොහොමයක් තෙපළමින් පොඩි දරුවන්ගේ සිත් සනසන සිල් මෑණියන්ට ගුරු විවේකාගාරයට යන්නට විනාඩි ගණනාවක් ගතවේ. මේ දඟකාර වයසේ දරුවන් මෙතරම් අවනත ගති පාන්නේ මන්දැ’යි විටෙක සිල්මෑණියන්ට පුදුමය. එහෙත් එම දරුවන්ගේ හැටි එහෙමය.

මහනුවර උඩගුන්නෑපාන නරේන්ද්‍රසිංහ විද්‍යාලයේ ස්වේච්ඡා ගුරු සේවයේ නිරත වුණු අවුරුදු අටක කාලය පුරාම ගම්වැසියන්ගේ ගෞරවය නොමඳව ලැබීමට සිල්මෑණියන් වහන්සේට හැකිවිය. ගොවිතැනෙන් හා වඩුවැඩෙන් දිවි රකින පවුල් වැඩිමනත් ජීවත්වන ගම්මානයේ අහිංසක දූ දරුවනට උගැන්වීමෙන් ගුරු ජීවිතයේ ලැබිය හැකි සතුට මේයැයි වටහාගත් බව වත්තල නිර්මලා සිල් මාතාවෝ පවසති.

නිර්මලා සිල් මෑණියන් දැනට කෝළඉම සිරිශීල සිල්මාතාශ්‍රමයේ ශ්‍රී‍්‍ර සංමිත්තා අධ්‍යාපන පීඨයේ ආචාරිනියක ලෙස කටයුතු කරයි.සිංහල, සාහිත්‍ය සහ සමාජ විද්‍යාව උගන්වන විෂයන්ය.මේ අධ්‍යාපන පීඨය ඇරැඹුණු වකවානුවෙම එහි ආරම්භක ශිෂ්‍යාවක ලෙස ඇතුළත්ව එයින්ම උසස් අධ්‍යාපනයට අත්පොත් තබා ඇත. එතුමියගේ පැවිදි ජීවිතයේ ආරම්භය ගැන මෙසේ කීවාය.

“ මම මහණ වුණේ වයස 24 දී. ඒ 1983 මැයි 25 වැනිදා. කොළඹ ග්‍රැන්ඩ්පාස් රාහුල මාතා ආරාමයේ ධර්මවතී හේවාවිතාරණ සිල්මාතාව තමයි මගේ ගුරු මෑණියන් වුණේ. ඉන්පසුව ශාන්ති ශීල මාතාශ්‍රමයේ හිරණ සුමිත්‍රා සිල්මෑණියන් යටතේ පිළිවෙත් පුරමින් කටයුතු කළා. එතුමිය අපවත් වූවාට පසු ආරාමයේ කටයුතු බලා සොයා ගැනීම මට පැවැරුණා “

වැල්මිල්ල හන්දිය, කිදෙල්පිටිය, ශ්‍රී‍්‍ර සාරාලංකාර මාවතේ පිහිටි ශාන්ති ශීල මාතාශ්‍රමය ඉහළ මට්ටමේ භෞතික දියුණුවක ලකුණු කියා නොපායි. ඉගැන්වීම් කටයුතු සහ භාවනා සඳහා මුල්තැනක් දෙන නිර්මලා සිල් මෑණියෝ ආරාම සංවර්ධනය ගැන උනන්දු නොවෙති. දායක පිරිසට ඒ ගැන සිහිපත් කිරීම ඔවුනට ආර්ථික වශයෙන් අමතර වැය බරක් වනු ඇතැයි එතුමිය කල්පනා කරයි.

කෙසේ වෙතත් තරුණ වයසේදීම දහමට නැඹුරුව පැවිදි බිමට පත් නිර්මලා සිල් මාතාව ඒ සඳහා යොමු වී ඇත්තේ මෙසේය. එදවස ඇගේ නිවෙසට නිතර යනෙන වයස්ගත සිල්මාතාවක වූවාය. පියා එම්.ටී. හෙන්රි පෙරේරා මහතාත් මව ඩී.එම්. මේරි මාග්‍රට් මහත්මියත් මේ සිල්මාතාවට උපස්ථාන කරද්දි දහසය පමණ වියේ සිටි දියණියද ඊට එක් වූවාය. සිල් මාතාවගේ ඇසුර ලබමින් වයසෙන් වැඩෙද්දි ඇතිවුණ පැහැදීම නිසා පැවිදිවීමට මවුපියන් වෙතින් අවසරය පැතුවාය.

වැඩිහිටි අවසරය ලැබ ඔවුන්ගේ මඟ පෙන්වීමෙන් ග්‍රැන්ඩ්පාස් රාහුල මාතා ආරාමයට යන්නටත් එහි එවකට වැඩ සිටි ධර්මවති හේවාවිතාරණ සිල් මාතාව යටතේ පැවිදි වන්නටත් ඇයට හැකිවිය. සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියන් සත් දෙනෙකුගෙන් යුත් පවුලේ සතරවැන්නිය වූ ඇයට පැවිදිවීම සඳහා මුළු පවුලේම ආශිර්වාදය හිමිවිය.

මේ දියණිය උපත ලැබුවේ 1959 මැයි 11 වැනිදා වත්තල ගොංගිතොටදීය. පවුලේ සහෝදර සහෝදරියන් මැද හැදී වැඩෙද්දි මවුපිය සෙවණෙන් මිදී පැවිදි වීමට එදවස ගත් තීරණය පිළිබඳ නිර්මලා සිල් මෑණියෝ මුළුහදින්ම සතුටුවෙති හිරණ සුමිත්‍රා සිල් මෑණියන් යටතේ පිළිවෙත් පුරමින්ද කෝරළඉම සංඝමිත්තා අධ්‍යාපන පීඨය සහ කළුතර ධර්මවිජය පිරිවෙන ඇසුරෙහි අධ්‍යාපනය හදාරමින්ද උසස් අධ්‍යාපන වරම් ලැබීමට සිල්මෑණියන් සමත්විය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදි උපාධියද ලැබුවාය.

උඩගුන්නෑපාන නරේන්ද්‍රසිංහ විද්‍යාලයේ ස්වේච්ඡා ගුරු සේවයේ යෙදී සිටියදි ගම්මානයේ දූ දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමෙහිද නිරත විය. ඒ දරුවන් දහම් දැනුමෙන් හා ගුණයෙන් වැඩෙනු බලා, කුඩා පැළයක් අතු ඉතිලා වැඩෙනු බලා හිඳුමෙන් ලබන පි‍්‍රතිය බඳු සැනසුම් සහගත සතුටක් ලැබූ බව නිර්මලා සිල් මෑණියෝ පවසති.

එතුමිය මේ වන විට අනුරාධපුරය හා කැකිරාව වැනි දුර බැහැර ප්‍රදේශවලද ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් මෙහෙයවයි. පාසල්වල, විශේෂයෙන් බාලිකා විද්‍යාලයන්හි ධර්ම දේශනා සඳහා ලැබෙන ඇරැයුම් අනුව දම් දෙසුම් පවත්වයි. පොහොය දිනයේ ගමේ විහාරස්ථානයේ භාවනා වැඩසටහන් මෙහෙයවන අතර පිරිත්දේශනා සඳහා දායකත්වය ලබා දෙයි. සංඝමිත්තා අධ්‍යාපන පීඨය මුල්ව කළුතර දිස්ත්‍රික්කයේ සිල් මෑණිවරුන් එක්ව සංවිධානය කරන සමාජ සත්කාරක වැඩසටහනකි මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම. මේ කටයුත්තෙහිද නිර්මලා සිල් මෑණියෝ ක්‍රියාශීලිව දායක වෙති.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]