UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජන ජීවිතය නඟාසිටුවන ආශිර්වාද ප්‍රාර්ථනා

ජන ජීවිතය නඟාසිටුවන ආශිර්වාද ප්‍රාර්ථනා

ජන ජීවිතයට බලපාන විවිධ උපද්‍රව, කරදර, ලෙඩ රෝග අවස්ථාවලදි ආසිරි ගැන්වීම් භාවිතයට ගෙන ඇත. පිරිත් දේශනාව ඉන් ප්‍රමුඛ වෙයි. උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ වැදගත් අවස්ථාවන්හිදී එලෙස ආසිරි ගැන්වීම් කර ඇත. අංගුලිමාල පිරිත් දේශනය දරු ප්‍රසූතිය සඳහා අදත් භාවිතා කරති. හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, ආවාහ විවාහ, ගේ දොර තැනීම, ගෙවැදීම වැනි අවස්ථාවලදි පිරිත් දෙසීම අනිවාර්ය ලක්ෂණයකි.

ආශිර්වාද කිරීම යනු එක්තරා අන්දමකින් අභිචාර විධියකි. උගතුන්, පූජ්‍ය උතුමන්, වැඩිහිටියන්, අන්‍ය පිරිස් වෙත සුවය සෙත ශාන්තිය උදාවේවා’යි යන ප්‍රාර්ථනයක් ඉන් ගම්‍ය වෙයි.ඈත අතීතයේ සිටම එවැනි උතුමන්ගෙන් ආශිර්වාද ලබාගැනීමේ චාරිත්‍රයක් පැවැති බව වේද සාහිත්‍යයෙන්ද පෙනේ. විශේෂයෙන් නිර්මාණවාදී චින්තනය යටතේ පෙළගැසී සිටි අය නිර්මාපකයාගේ ආශිර්වාදය සුබ ප්‍රාර්ථනය මහත් ඉහළින් අගය කර ඇත. වේදාන්ත පොත්හි සඳහන් වන අන්දමට දෙවියන්ගෙන් නැතිනම් ඍෂිවරුන්ගෙන් ආසිරි ලැබ ජීවිත වාසනාවන්ත කරගත් අය ගැන සඳහන් වෙයි.බෞද්ධ සාහිත්‍ය කියවන විටද එලෙස ආශිර්වාද කිරීම නිසා සැප සම්පත් දීර්ඝායුෂ ලැබු අය ගැන පුවත් දැකගත හැකිවෙයි.

ආශිර්වාද කිරීම සඳහා පිරිත් දේශනය, සෙත්කවි ගායනය, බෝධිපූජා පැවැත්වීම, ස්තෝත්‍ර ගායනය, භජන් ගායනය, යාඥාව , විරුදගායනය, ගුණ වර්ණනා ආදි විවිධ ක්‍රම භාවිතා කොට ඇත.බ්‍රහ්ම මුහුර්තයෙන් ස්තෝත්‍ර ගායනා කිරීමෙන් ආයුෂ වර්ධනය, අභිමතාර්ථ සාධනය, ග්‍රහ අපල දුරුවීම, සෞභාග්‍ය උදාව, ලෙඩ රෝග නිවාරණය, කීර්ති ඝෝෂාව පැතිරීම, යසස් කාමය ලැබීම ආදි විවිධ සම්පත් උදාවෙතැයි පැරැන්නෝ විශ්වාස කළහ.

බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරන විට පැහැදිලි වන කරුණක් නම් සෙත් පිරිත් දේශනා පැවැත්වීමෙන් පුද්ගලයන්ගේ උපද්‍රව දුරුකළ හැකි බවයි. ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව තුනුරුවන් ගුණ සිහිපත් කර පිරිත් දේශනා පැවැත්වීමෙන් රෝග භය, දුක නසාලීය හැකි බව පිරිත් දේශනාව සඳහා ආරාධනා කරන සම්ප්‍රදායික ගාථාවලින්ද පැහැදිලි වෙයි.

සෙත් ප්‍රාර්ථනා කරමින් වරු පිරිත්ද, සර්ව රාත්‍රික පිරිත්ද, තුන්තිස් පැය, හත්දින ආදි ලෙසින් පිරිත් දේශනාද පැවැත්වීම භාරතයෙහි බුදුසමයෙහි සමාරම්භයත් සමඟම සිදුව ඇත. විපත් බාධක, කරදර, ග්‍රහදෝෂ උපද්‍රව පැමිණි අවස්ථාවල මෙවැනි පිරිත් දේශනා පවත්වා ආශිර්වාද කර ඇත.

අතීතයෙහි දඹදිව දීඝ ලම්භක නම් වූ නුවර බමුණූ තරුණයෝ දෙදෙනෙක් හිතවත්කමින් කල් ගෙවූහ. කල්යත්ම දෙදෙනාම කතිකා කරගෙන තාපස ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව වසර හතළිස් අටක් පමණ තපස්දම් රැක්කාහ. ඉන් එක් අයකු දරුවකු නොමැති කල තම පරපුර වැනසේ යැයි සිතා තපස්දම් අතහැර නැවත ගිහිගෙයට ප්‍රවිෂ්ටව ආවාහයක් කරගත් අතර පුත්රුවනක් ඇති කරගත්තේය. ටික දිනකින් තම නගරයට හිතවත් තාපසතුමා පැමිණි පුවත අසා ඔහු වෙත ගොස් වන්දනා කළේය. බිරිඳත්, හිමියාත්, වඳින විට සුඛීහෝතු යනුවෙන් ආශිර්වාද කළත් දරුවා ලවා වන්දවන විට එසේ ආශිර්වාද කර නැත. පසුව එයට හේතු විමසා සිටියෙන් දැන ගැනීමට ලැබුණේ කුමරා අල්පායුෂ්ක බවත් ටික දිනකින් මිය යන බවත්ය. ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මයක් විමසා සිටියෙන් බුදුරජාණන් වහන්සේ වෙතින් විමසන ලෙස දන්වා ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මුණගැසි විමසා සිටින ලදුව තම නිවෙසේ ඉදිරිපිට මණ්ඩපයක් තනවා අලංකාර කොට ආසන අටක් හෝ දහසයක් පනවා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ලවා හත්දිනක් පිරිත් දේශනා පැවැත්විය යුතු බවට උපදෙස් දෙන ලදී.

එලෙස සකස් කර බුදුරජාණන් වහන්සේට සැල කරන ලදුව භික්‍ෂූන් වහන්සේ ලබාදී සත් දිනක් නොකඩ කොට පිරිත් දේශනා පවත්වා ඇති අතර අවසාන දිනයෙහි බුදුරජාණන් වහන්සේද එම ස්ථානයට වැඩම කර පිරිත් දේශනා කොට ආශිර්වාද පවත්වා ඇත. එම දරුවා අවරුද්දක නම් යක්‍ෂයාට වරදානයක් ලෙස බිල්ලකට නියමව සිටියත් බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ මහේශාක්‍ය දෙවිවරුන් වඩින විට අල්පේශාක්‍ය පිරිසට ඈතින් ඈතට යාමට සිදුවීම නිසා එම වරම්ලද දිනය පසු විය. පසු දින බුදුරජාණන් වහන්සේට කුමරු එළඹවා ඇති අතර උන්වහන්සේ ‘දීඝායුඛො හොති ‘ යනුවෙන් ආශිර්වාද කර ඇත. ඒ බල මහිමය නිසාම, දින කිහිපයකින් මරණයට නියමිතව සිටි කුමරා වසර එකසිය විස්සක් දීර්ඝායු සම්පත් ලැබීමට සමත් විය. දීඝායු කුමරු යන නමද පටබැඳිණි. මෙම සිද්ධිය දම් සභා මණ්ඩපයෙහි සාකච්ඡාවට බඳුන්වූ අතර දිගාසිරි ලැබීමට හේතු පෙන්වා දෙන ලදී.

ගුණ සීලාදියෙන් උතුම් වැඩිහිටියන් පුදන්නාගේ ධර්ම සතරක් වැඩෙන බව පෙන්වා දෙනු ලැබිණි.ආයුෂය, වර්ණය, සැපය හා බලය වර්ධනය වෙයි. ඒ අනුව පරිත්‍රාණ ධර්ම දේශනයෙහි අගය, වටිනාකම ප්‍රකට වෙයි. වසර එකසිය විස්සක දීඝායුෂයක් ලැබීමට එම කුමරාට හැකිවිය. සෙත් පිරිත් දේශනාවෙහි බලය ඉන් මනාව ප්‍රකට වෙයි.

විශාලා මහනුවර ඇතිවූ රෝග, දුර්භික්‍ෂ, අමනුෂ්‍ය යන තුන්බිය පහකරලීමට හැකි වූයේ ද බුදුරදුන්ගේ පාත්‍රයෙන් පැන්ගෙන රතන සූත්‍රයෙන් පිරිත් කරමින් නගරය පුරා පිරිත් පැන් ඉසින ලෙස ආනන්ද හිමියන් මෙහෙයවීමෙන්ය.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් මුගලන් මහ රහතන් වහන්සේත් ගිරිමානන්ද මහරහතන් වහන්සේත් අසනීප වූ අවස්ථාවල පිරිත් දේශනා කළ බවත් ඉන් සුවපත් වූ බවත් බොජ්ක්‍ධංග සූත්‍රයන්ගෙන් පෙනේ. එමෙන්ම බුදුපියාණන් වහන්සේ රෝගාතුර වූ විට මහාචුන්ද රහතන් වහන්සේ විසින් සප්ත බොජ්ඣංග ධර්ම දේශනා කර සෙත් ප්‍රාර්ථනා කර ඇත. ඡත්තමානවක ගාථා උගන්වා එම කුමරුගේ ඊළඟ භවය යහපත් කරලීමට ආශීර්වාද කළ පුවතද මෙහිලා වැදගත් වෙයි.

අප රටෙහිද ඉහත සඳහන් පරිදිම ජන ජීවිතයට බලපාන විවිධ උපද්‍රව කරදර ලෙඩ රෝග අවස්ථාවලදි ආසිරි ගැන්වීම් භාවිතයට ගෙන ඇත.පිරිත් දේශනාව ඉන් ප්‍රමුඛ වෙයි. උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ වැදගත් අවස්ථාවන්හිදී එලෙස ආසිරි ගැන්වීම් කර ඇත. අංගුලිමාල පිරිත් දේශනය දරු ප්‍රසූතිය සඳහා අදත් භාවිතා කරති. හිස කෙස් කැපීම, ඉඳුල්කටගෑම, අවාහ විවාහ, ගේ දොර තැනීම, ගෙවැදීම වැනි අවස්ථාවලදි පිරිත් දෙසීම අනිවාර්ය ලක්ෂණයකි. ජය මංගල ගාථා, මංගල සම්මත අවස්ථාවන්හිදි ආශිර්වාද පිණිස ගයති. බෞද්ධ නිවෙස්වල දිනපතා තුන්සූත්‍රය සජ්ඣායනා කිරීම බොහෝ ඵලදායක වී ඇත.

යාතු කර්ම විෂයෙහි යොදාගන්නා මන්ත්‍ර තන්ත්‍රවල බහුලව යෙදී ඇත්තේද බුදුගුණය. පාලි සංස්කෘත මිශ්‍ර‍්‍ර වචන ඒවාට ඇතුළත්ව ඇත. කවි ගායනාද ආශිර්වාද සඳහා යොදාගත් තවත් විධියකි. ප්‍රභූ®න් උදෙසා කවිකාර මඬුල්ල වෙතින් ආසිරි වදන් ගායනා විය.සෙත් කවි ප්‍රභවය වූයේ එහි ආභාසයෙනි. එදිනෙදා ආමන්ත්‍රණයේදි ද ආශිර්වාදාත්මක පාඨ බෙහෙවින් යෙදෙන අතර ඒවාද ආගමික මුහුණුවරක් ගෙන ඇත.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]