Print this Article


බැඳෙන රුව වැලි ගෙයක් බඳු ය

බැඳෙන රුව වැලි ගෙයක් බඳු ය

යම්සේ කුඩා දරුවෝ හෝ කුඩා දැරියෝ වැලිවලින් ගෙවල් සාදා ක්‍රීඩා කරත්ද, යම්තාක් ඒ වැලිගෙවල්වලට පහව නොගිය ආශාව ඇත්තේ ද පහව නොගිය කැමැත්ත ඇත්තේද, පහව නොගිය ප්‍රේමය ඇත්තේ ද, පහව නොගිය පිපාසයක් ඇත්තේ ද පහව නොගිය වෙහෙස ඇත්තේ ද පහව නොගිය ආශාව ඇත්තේ ද, ඒ තාක් වැලිගෙවල්වලට ආශා කරති. ලොල් බවක් ඇතිකර ගනිති. එම වැලිගෙවල් ධනයක් කොට සිතති. මමත්වයක් ඇති කරගනිති.

රූපේ ඛෝ රාධ, යෝ ඡන්දෝ, යෝ රාගෝ, යා නන්දි යා තණ්හා. තත්‍ර සත්තෝ තත්‍ර විසත්තෝ තස්මා සත්තෝති වුච්චති

ඉහත සඳහන් මාතෘකා ධර්ම කොට්ඨාසය, සංයුක්ත නිකායෙහි, රාධ සංයුත්තයෙහි, පඨම මාර වර්ගයෙහි සඳහන් සත්ත සූත්‍රයෙහි එන්නකි. තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරති. බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි රාධ තෙරණුවෝ මෙසේ සැළකළහ.

භාග්‍යවතුන් වහන්ස, “සත්ත සත්ත” යැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්ස කුමන කරුණක් නිසා ‘සත්ත’ කියනු ලබන්නේ ද? තථාගත බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙස දේශනා කරති. රාධය, රූපයෙහි යම් කැමැත්තක්, යම් ඇලීමක්, යම් සතුටක්, යම් ආශාවක් වේද එහි ඇලුණේ ය. එහි දැඩිව ඇලුණේ ය. එම නිසා ‘සත්ත’ යැයි කියනු ලැබේ. මේ ආකාරයෙන්ම වේදනාවෙහි යම් කැමැත්තක්, යම් ඇලීමක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වේද එහි ඇලුණේ ය. එහි දැඩිව ඇලුණේ ය. එම නිසාම ‘සත්ත’ යැයි කියනු ලැබේ. එමෙන්ම, සඤ්ඤාවෙහි යම් කැමැත්තක්, යම් ඇලීමක්, යම් සතුටක් යම් ආශාවක් වේද එහි ඇලුණේ ය. එහි දැඩිව ඇලුණේ ය. එම නිසා ‘සත්ත’ යැයි කියනු ලැබේ. සංඛාරයෙහි යම් කැමැත්තක් යම් ඇලීමක්, යම් සතුටක්, යම් ආශාවක් වේද එහි ඇලුණේ ය. එහි දැඩිව ඇලුණේ ය. එම නිසා ‘සත්ත’ යැයි කියනු ලැබේ. විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇලීමක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වේද එහි ඇලුණේ ය. එහි දැඩිව ඇලුණේ ය. එම නිසා සත්ත යැයි කියනු ලැබේ. තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු ලෙස දේශනා කරති. රාධ, යම්සේ කුඩා දරුවෝ හෝ කුඩා දැරියෝ වැලිවලින් ගෙවල් සාදා ක්‍රීඩා කරත්ද, යම්තාක් ඒ වැලිගෙවල්වලට පහව නොගිය ආශාව ඇත්තේ ද පහව නොගිය කැමැත්ත ඇත්තේද, පහව නොගිය ප්‍රේමය ඇත්තේ ද, පහව නොගිය පිපාසයක් ඇත්තේ ද පහව නොගිය වෙහෙස ඇත්තේ ද පහව නොගිය ආශාව ඇත්තේ ද, ඒ තාක් වැලිගෙවල්වලට ආශා කරති. ලොල් බවක් ඇතිකර ගනිති. එම වැලිගෙවල් ධනයක් කොට සිතති. මමත්වයක් ඇති කරගනිති.

තථාගත බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරමින් දේශනා කරති. “රාධ, යම් අවස්ථාවක ඒ කුඩා දරුවෝ හෝ දැරියෝ ඒ වැලිගෙවල් කෙරේ කැමැත්ත පහව ගියේ ද ඇලුම් කිරීම පහව ගියේද, ප්‍රේමය ඉවත්ව ගියේ ද පිපාසය, පහව ගියේද වෙහෙස ඉවත්ව ගියේ ද, එවිට ඒ වැලිගෙවල් අතින්ද පයින්ද විසුරුවති. බිඳදමති. වනසති. ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත ඉවත්ව යයි.”

“රාධ, එම ආකාරයෙන්ම, ඔබ විසින් රූපය විසුරුවන්න. බිඳදමන්න. විනාශ කරන්න. ඉවත්ව ගිය ක්‍රීඩාවට ඇති කැමැත්ත මෙන් කරන්න. තෘෂ්ණාව නැතිකිරීම පිණිස පිළිවෙතෙහි යෙදෙන්න. වේදනාව විසුරුවන්න. බිඳදමන්න. විනාශ කරන්න. ඉවත්ව ගිය ක්‍රීඩාවට ඇති කැමැත්ත මෙන් කරන්න. සඤ්ඤාව විසුරුවන්න. බිඳ දමන්න. විනාශ කරන්න. ඉවත්ව ගිය ක්‍රීඩාවට ඇති කැමැත්ත මෙන් කරන්න. සංස්කාර විසුරුවන්න. බිඳදමන්න. විනාශ කරන්න. ඉවත්ව ගිය ක්‍රීඩාවට ඇති කැමැත්ත මෙන් කරන්න. විඤ්ඤාණය විසුරුවන්න. බිඳදමන්න. විනාශ කරන්න. ඉවත්ව ගිය ක්‍රීඩාවට ඇති කැමැත්ත මෙන් කරන්න. තෘෂ්ණාව නැති කිරීම පිණිස පිළිවෙතෙහි යෙදෙන්න.’ ‘තණ්හක්ඛයෝ හි රාධ නිබ්බානන්ති’ රාධ, තෘෂ්ණාව නැති කිරීම නම් නිවනයි.

මෙම සත්ත සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණු රැසක් ධර්මාවබෝධය පිණිස අපට ලැබිය හැකි ය. පළමු ධර්ම කරුණ සත්වයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් පඤ්ච ස්කන්ධයන්හි ඇලුණු නම් වූ අදහසයි. මෙම පඤ්ච ස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්මයන්ම ලෝකය නමින් සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ දී පැහැදිලි කොට දී තිබේ. “නඛෝ පනාහං ආවුසෝ, අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපිචාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බයාමත්තේ කලේබරේ සසඤ්ඤාම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි. ලෝකසමුදයඤ්ච ලෝක නිරෝධඤ්ච ලෝක නිරෝධගාමිනීඤ්ච පඤ්ඤාපේමි, ලෝක සමුදයඤ්ච ලෝක නිරෝධඤ්ච ලෝකනිරෝධ ගාමිනිඤ්ච පටිපදන්ති.” “ඇවැත්නි මම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීමක් නොකියමි. ඇවැත්නි, නැවතත් අනුශාසනා කරන්නේ සඤ්ඤා සහිත, සිත් සහිත බඹයක් පමණ වූ මෙම සිරුරෙහිම ලෝකයත්, ලෝකයේ හට ගැනීමත්, ලෝක විනාශයත්, එම ලෝක නිරුද්ධිය පිණිස හේතුවන ප්‍රතිපදාවත් පවතින බවයි.”

එනම් පඤ්ච ස්කන්ධයන් මම, මාගේ, ස්ථිරයි, සුඛයි සිතමින් මනසින් කරන්නාවූ උපාදානයම ලෝකයෙහි ඇලීමයි. දැඩිව ඇලීමයි. තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමයි. මෙම ලෝකයෙහි පැවැත්ම ම සසර ලෙස විස්තර කරන නිසා ය. එනම් පඤ්චස්කන්ධයන්ට ඇලුණු සත්වයා නම් සසරට ඇලුණු බැඳුණු සත්වයෙකි. එසේ නම් සාමාන්‍ය සත්වයාගේ ස්වභාවය නම් සසරට ඇලී බැඳී පැවැතීමය. මෙසේ සසරට ඇලී බැඳී පැවැතීම අපමණ වූ දුක් සහිතය. ඒ බව බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ දී මෙසේ පැහැදිලි කොට දේශනා කරති.

“අනුමතග්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤයති. අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං, දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං” යනුවෙනි. මහණෙනි, මෙම සසර අනවරාග්‍රය පූර්වාන්තයක් නොපෙනේ. සත්වයා අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාව නිසා සසරට බැඳී දුවගෙන යති. ගමන් කරති. මහණෙනි, නුඹලා දීර්ඝ කාලයක් මෙම සසරෙහි ඉපදෙමින් දුක්විඳ තිබේ. මෙම දේශනාවෙන් පැහැදිලි වන්නේ සසරෙහි ගමන් කිරීම දුකෙන් පිරුණු බවකි. එම දුකින් පිරුණු සසරට වැටෙන්නට හේතුව නම් අවිද්‍යාවෙන් මනැස වැසීමයි. එනම් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් චතුරාර්ය සත්‍ය කෙරේ ඇති අනවබෝධයයි. මේ නිසා රාග, දෝස, මෝහ ආදී කෙලෙස් වපුරවමින් තෘෂ්ණාව වර්ධනය කරගනී. තෘෂ්ණාවේ වැඩීම යනු සසරට බැඳීමකි. සසරට බැඳුණු සත්වයා මහත් වූ දුක් විඳිමින් ගමන් කරති.

බුදුරජාණන් වහන්සේ විසින් මෙම සත්ත සූත්‍ර දේශනාවේ දී කළ උපමාව මැනවින් සිහිපත් කරන්න. පුංචි දරුවෝ වැලිගෙවල් සාදා ක්‍රීඩා කරති. එම වැලිවලින්, වැල්ලෙහි සාදාගත් ගෙවල්වලට ආශා කරන තෙක් කැමැත්ත පවතිනා තෙක් ප්‍රේම කරනා තෙක් ක්‍රීඩා කරති. ඒ සෙල්ලම් ගෙවල් පිළිබඳ ඕනෑකම තිබෙනතාක් ඒවා මගේ, අපේ යැයි පවසමින් රැක බලා ගනිති. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මනාවූ වචන පෙළක් දේශනා කරති. තාව තානි පස්වාගාරකානි, අල්ලීයන්ති, කෙලායන්ති, ධනායන්ති, මමායන්ති. වැලිගෙවල්වලට ආශාව තිබෙනතාක් ඇලුම් කරති. ලොල් බව දක්වති. තම ධනය යැයි සිතති, මමත්වයක් ඇති කර ගනිති. දැන් මෙහිදී අප විසින් තේරුම් ගත යුතු කරුණක් මෙහි ඇත. වැල්ලෙහි සාදන ගෙවල් ස්ථිර නැත. තාවකාලිකය. ඒ ගෙවල් සාදන්නේ ද වැලිවලිනි. කිසියම් හෝ වේලාවක කඩාගෙන වැටෙනු ඇත. කිසිදු ස්ථිර බවක් නැත. මෙහි දක්වන කුඩා දරුවෝ යන වචනයෙන් ගම්‍ය වන්නේ ජීවිතය ගැන, බාහිර ලෝකය සහ වට පිටාව, පරිසරය පිළිබඳ එතරම් අවබෝධයක් නැත යන්නය. මෙම බුද්ධියෙන් නොපැසුණු, පිළිවෙතින් මුහුකුරා නොගිය දරුවෝ එවැනි වැලි ගෙවල් වැල්ලෙහි සාදාගෙන සෙල්ලම් කරති. ඇළුම් කරති. මගේ, මගේ යැයි පවසති. තම ධනය සහ වස්තුව ලෙස සිතති. ජීවිතය සහ ලොව පැවැත්ම පිළිබඳ නිසි අවබෝධයක් නැති එම කුඩා දරුවෝ එම වැලිගෙවල්වලට ඇති කැමැත්ත සහ ආශාව නැතිව ගිය විට ඒවා අතින් පයින් ගසා කඩා දමති. බිඳ දමති. විසුරුති. ඒ නොමේරු මනැසක් ඇති ළමා ලෝකයයි.

මෙම උපමාව දක්වා තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ රූපය විසුරුවන්න. බිඳදමන්න. විනාශ කරන්න. ජීවිතය සහ ලෝකය ද පැවැත්ම ද නිසි අවබෝධයක් හෝ භාවිත සිතක් නැති කුඩා දරුවන් මෙන් රූපය කෙරේ ඇළුම් නොකරන්න. මගේ ධනය යැයි ආත්මායනයෙන් උපාදානය නොකරගන්න. හේතුව ඔබට පැහැදිලිය. රූපය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. එමෙන්ම, මගේ නොවේ. මම නොවෙමි. සදාකාලික ආත්මයක් හෝ ස්ථිර සත්වයෙක් නොවේ. එමෙන්ම රූපය, ආත්මය යැයි නොසිතිය යුතු ය. ආත්මය, රූපය යැයි නොසිතිය යුතුය. රූපයෙහි ආත්මය ලා නොගත යුතු ය. ආත්මයෙහි රූපයලා නොගත යුතු ය. නැවතත් සිහිපත් කරන්නේ නම් සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක ද ආධ්‍යාත්මික හෝ බාහිර ද හැම රූප අනිත්‍යය. මම, මාගේ, යැයි ගැනීමට නොහැකිය. මෙය තෘෂ්ණාව නැති කිරීමට මඟය. මෙලෙස වේදනාවේ ද, සඤ්ඤාවේ ද සංඛාරයේ ද, විඤ්ඤාණයේ ද විසිරවීම, බිඳදැමීම විනාශය කළ යුතු ය. සම්මුති ලෝකයේ රූපාදී ස්කන්ධ මම, මගේ වුවද, පරමාර්ථ ධර්මයට අනුව මම, මගේ නොවේ. එය ස්ථිර ආත්මයක් නොවේ. පරමාර්ථ ධර්මය නුවණින් අවබෝධ කරගන්නා තාක් තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව නම් දුක් ඇති සසරෙහි පැවැත්මයි. තෘෂ්ණාව ක්‍ෂය කිරීම නම් වූ නැති කිරීම නිවනයි. ඔබ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!