Print this Article


බොරැල්ලේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පාරමිතා පෙරහර පෝදා

බොරැල්ලේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පාරමිතා පෙරහර පෝදා

බොරැල්ලේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් පැවැත්වෙන “පාරමිතා පෙරහර” මෙවර පැවැත්වෙන්නේ 22 වන වරටය. 1993 මල් පෙරහරකින් ආරම්භ වූ පාරමිතා පෙරහර මේ වන විට අලි ඇතුන් සහිත උඩරට පහතරට නැටුම් ජාතික ආගමික සියලු සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත දේශීය, විදේශීය ජනතාවගේ නෙත් සිත් ඇදගත් අත්‍යලංකාර පෙරහරක් බවට පත් වී ඇත.

සම්‍යක් සම්බෝධිය, ප්‍රත්‍යෙක සම්බෝධිය, ශ්‍රාවක සම්බෝධිය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිර්වාණාවබෝධය සාක්‍ෂාත් කරගත හැකි බව ථෙරවාදී බුදුදහමේ ඉගැන්වේ. සසර කතරින් එතර පරතෙරවූ නිර්වාණාවබෝධය කරගත හැක්කේ බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙනි. සිදුහත් බෝසතාණන් මෙම පාරමිතා ධර්ම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පූරණය කිරීමෙන් සම්බෝධියට පත් වූ ආකාරයෙන් පැහැදිලි වේ.

එවැනි උත්කෘෂ්ට බුද්ධකාරක ධර්මයක් පිළිබඳ ජනහදවත් තුළ ප්‍රබෝධයත් ඇතිකොට බෞද්ධයාගේ ප්‍රධාන අභිමතාර්ථය සාක්‍ෂාත් කර ගැනීමට පාරමිතා පෙරහර මහත් ශක්තියක් වේ. මෙම කාර්යභාරයේ ප්‍රධාන නියමුවා වන්නේ බොරැල්ල අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති, බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ භික්‍ෂු ගිලානෝපස්ථානය යන උභය විහාරාධිපති, බුද්ධශාසන කීර්ති ශ්‍රී සද්ධර්මභාණක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ හල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.