Print this Article


අනුරාධපුර මහා විහාරයේ සිල් සුවඳ ඉතිරේ

අනුරාධපුර මහා විහාරයේ සිල් සුවඳ ඉතිරේ

වසර අටසියයකට පසුව ප්‍රතිනිර්මාණය කෙරුණු අනුරාධපුර මහාවිහාරයේ, පුන් පෝදා වැඩසටහන් මාලාව, මෙම මැදින් මස පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ආරම්භ කෙරේ. අතීත මහා විහාරයේ මඟ ගනිමින්, ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ දී ක්‍රියාත්මක වන මේ ආගමික වැඩසටහන් සඳහා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අනුශාසනා කරති.

මහාවිහාරයේ පෝදා වැඩසටහනට ධර්ම දේශනා දෙකක්, ගිහි දේශනයක්, ජාතක පොත කියවීම, දම්සභා මණ්ඩපයක්, භාවනා වැඩසටහනක් සහ බෝධි පූජාවක් ඇතුළත් වේ. ධර්ම දේශනා, දිවයිනේ ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් සහ අටමස්ථානවාසී භික්ෂූන් වහන්සේ නමක් පවත්වති. එම ධර්මදේශනා අවසානයේ සැදැහැවතුන්ට තමන්ගේ ධර්ම ගැටළු විමසා පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව සළසා ඇත. ප්‍රකට වියතෙකු විසින්, බෞද්ධ සංස්කෘතිය පිළිබඳව සැදැහැවතුන් දැනුවත් කරමින් ගිහි දේශනය පවත්වයි. දම්සබා මණ්ඩපයට දිවයිනේ විශිෂ්ට උගතුන් සහ වියතුන් සහභාගි වේ. භාවනාව පිළිබඳ හසළ අත්දැකීම් සහිත භික්ෂූන් වහන්සේ නමක් භාවනා වැඩසටහන මෙහෙයවති.

සෑම පොහොය දිනක දීම, මහාවිහාරයේ ආගමික වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ මහාවිහාරයේ, බෝමළුව පන්සලේ භික්ෂූන් වහන්සේ නමක් විසිනි. ඒ අනුව, මැදින් මස පුන් පොහෝ දින මහාවිහාර ආගමික වැඩසටහන් මාලාව, පහළතලාවේ සුමනසිරි හිමියෝ සංවිධානය කරති.

වසර දහස් ගණනක් පුරා මහරහත් මහා සංඝයා වහන්සේලා විසින්, සකල සත්ත්වයා වෙත පතළ කරුණාවෙන් සිදු කළ ආගමික සේවාව, ඒ අයුරින්ම යළි ජීවමාන කිරීම, මෙම ආගමික වැඩසටහන් මාලාවේ අරමුණ වේ.

එබැවින්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවනේ ශීල භාවනා වැඩසටහන්වලට සහභාගී වෙමින් මෙලොව පරලොව යහපත සාදා ගන්නා මෙන්, මහාවිහාරය සැදැහැවතුන්ට ආරාධනය කරයි. සියලු විමසීම් : අටමස්ථානාධිපති, බෝමළුව පන්සල, මහාවිහාරය, අනුරාධපුරය වෙතින් ලබා ගත හැකිය.

මැදින් මස පුන් පොහෝ දින මහා විහාරයේ ආගමික වැඩසටහන

පෙරවරු 06.00 - පෙහෙවස් සමාදන් කරවීම, 06.30 - බුද්ධ පූජාව, 08.00 - ධර්ම දේශනාව දේශකයාණෝ-මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නා හිමි, උපකුලපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, 09.00 - ධර්ම දේශනාවට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 - ගිහි දේශනය - මාතෘකාව: අනුරාධපුර මහාවිහාරය දේශක: කරුණාරත්න දිවුල්ගනේ මැතිතුමා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර, 10.30 - බුද්ධ පූජාව, මධ්‍යහන- 12.00 - ජාතක කතාව, භාණක : ශාස්ත්‍රවේදී ඉහළදිවුල්වැවේ විමලවංශ නාහිමි, ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිති, ආචාර්ය - ඉහළදිවුල්වැව විද්‍යාලය, පස්වරු - 01.00 - ධර්ම දේශනාව - 02 දේශකයාණෝ : ආචාර්ය කල්ලන්චියේ රතනසිරි නාහිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා බෞද්ධ විශ්වවිද්‍යාලය, අභයගිරිය චෛත්‍යරාමාධිකාරී 02.00 - ධර්ම දේශනාවට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම 02.45 - දම්සභා මණ්ඩපය, මාතෘකාව:- අනන්ත බුදුගුණ මහිමය සහභාගිත්වය : ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමි (ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරී) විශාරද සුනිල් එදිරිසිංහ මැතිතුමා, සංගීතවේදී නවරත්න ගමගේ මැතිතුමා, ආචාර්ය කේ.එම්.අයි.ස්වර්ණසිංහ මැතිතුමා, 03.45 - භාවනා වැඩසටහන මෙහෙයවීම : රාජකීය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි ආචාර්ය - කිරලෝගම සුබෝධි මහා විද්‍යාලය, 04.45 - බෝධි පූජාව මෙහෙයවීම : කෙහෙල්වල රේවත හිමි 05.45 - සිල් පවාරණය

(අනුරාධපුර මහාවිහාරයේ මැදින් මස පුන් පොහෝ දින ආගමික වැඩසටහන සම්බන්ධීකරණය බෝමළුව විහාරවාසී පහළතලාවේ සුමනසිරි හිමියන්ගෙනි.)