Print this Article


රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පොළොන්නරුවේදී

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පොළොන්නරුවේදී

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල් විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 15 වනදා පැවැත්වේ.

වෙසක් සතිය මැයි මස 11 වන දා සිට 17 වනදා දක්වා වේ.

වෙසක් පොහෝදා (මැයි මස 14) ගල් විහාර භූමි පරිශ්‍රයේදී පැවැත්වෙන සීල සමාදාන වැඩ සටහන සඳහා පාසල් සිසුන් ඇතුළු සැදැහැවතුන් තුන් දහසක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා “බුදුසරණ” ට කීය.

වෙසක් පෝදා දවස පුරා එහිදී ධර්ම දේශනා, බුද්ධ පූජා, ධර්ම සාකච්ඡා සහ බෝධි පූජා ඇතුළු ආගමික වතාවත් සිදු කෙරේ.

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 15 වනදා පොළොන්නරුව පුලතිසි මණ්ඩපයේදී පැවැත්වේ.

වෙසක් පෝදා සීල සමාදාන වැඩ සටහන පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි නා හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

“සසුනින් සෙවන” ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිසාවේ මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, දිඹුලාගල, ලංකා පුර, ඇළහැර, තමන්කඩුව සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන් සඳහා එක් කොට්ඨාසයකට නිවාස එකක් වන පරිදි නිවාස 07 ක් ද ඉදිකෙරේ.

ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල මට්ටමින් හා දිසා මට්ටමින් බොදු බැති ගී තරඟ පවත්වා පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා ද සහභාගි වන සියලු කණ්ඩායම් සඳහාද මුදල් ත්‍යාගද පිරිනැමේ.

දිස්ත්‍රික් සිසු නිපුණතා වැඩ සටහනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් 39 දෙනා වෙත ශිෂ්‍යත්ව ලබාදීමත් එහිදී සිදු කෙරෙන බවද අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා කීය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී විශේෂ සංස්කෘතිකාංගයක් සහ සමරු මුද්දරයක්ද නිකුත් කෙරේ.

එම උත්සවය සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය,සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය,පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය, පොළොන්නරුව දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය, ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන ද අනුග්‍රහය දක්වනු ලැබේ.