Print this Article


පිරිත් මණ්ඩපයක දී අනුගමනය කරන වත් පිළිවෙත් මොනවාද?

පිරිත් මණ්ඩපයක දී අනුගමනය කරන වත් පිළිවෙත් මොනවාද?

පිරිත් මණ්ඩපයක් නිවැරැදිව සකස් කර ගන්නේ කෙසේද යන්න ගැන අප පසුගිය කලාපයකදී කතා කළා. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මණ්ඩපයකදී අනුගමනය කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් ගැන විමසා බැලීමටය.

පිරිත් මණ්ඩපයක ඊළඟ වැදගත්ම අංගය වන්නේ පිරිත් පැන් කළය යි. පිරිත් පැන් ලබා දීම පිණිස පිරිසුදු පැන් පිර වූ ජල බඳුනක් පිරිත් පැන් කළය නමින් අප හඳුන්වනවා. එම පැන් කළය පොල් මලක් සමඟින් පිරිත් මේසය මත තබනවා. පොල් මලක් තැබීමෙන් අදහස් කරන්නේ සජීවී බව දිගු කාලයක් පවත්වා ගැනීමයි. පොල් මලක් දින හතක් පහසුවෙන්ම සජීවී ලෙසින් තබා ගන්න පුළුවන්.

මීට අමතරව පිරිත් පින්කමකදී පොල් මලෙන් තවත් කරුණක් බලාපොරොත්තු වනවා. ඒ පිරිත් සජ්ඣායනයේ දී ආවේස වන පුද්ගලයන් දමනය කිරීමටයි. ඇතැම්විට අව සිහියෙන් වෙනත් අයකුගේ ආරූඪයෙන් නන් දොඩවන පුද්ගලයන් පිරිත් සජ්ඣායනයේ දී දැක ගත හැකි වනවා.

ආරූඪ වන පුද්ගලයන් පිරිත් මණ්ඩපය ඉදිරියේ නැටීමට නැත්නම් අංග චලනයන් කිරීම සිදු කරනවා. එම අවස්ථාවන්හිදී පොල් මල සහ රාජගහට බද්ධ කර ඇද ඇති ‘පිරිත් හුය’ රැගෙන ගොස් ආරූඪ වී ඇති තැනැත්තාගේ හිස මත පිරිත්හුය තබා පොල් මලද අතට ගන්නවා.

පිරිත් හුය තබන විටම ‘පිච්චෙනවා’ යනුවෙන් හඬ නඟන්නේ නම් එතැන යම් භූතදෝෂයක් ඇති බව අප වටහා ගත යුතු වනවා.

ඔහුගෙන් ඔබ කාට යටත්දැයි වරින්වර විමසනවා. ඔබ ශක්‍ර දේවේන්ද්‍රයාට යටත්දැයි මුලින්ම විමසනවා ඔහු එය පිළිගතහොත් දේවාරූඪයක් ඇති බව අවබෝධ කර ගත යුතු වනවා.

ශක්‍රයාට යටත් නැති බව පැවසුවහොත් සතර වරම් දෙවියන්ට යටත් දැයි විමසනවා. සතර වරම් දෙවියන්ට යටත් නැති නම් වෙසමුණි රජුට යටත්දැයි විමසනවා. ඊටත් යටත් නැතිනම් ‘මහා බ්‍රහ්මයාට යටත් දැයි’ විමසනවා. ඊටත් යටත් නැතිනම් තුනුරුවන්ට යටත්දැයි විමසනවා. ඊටත් යටත් නැති බව පැවසුවහොත් පොල් මලෙන් තුන් හතර වතාවක් පහර දුන් විට පියවි සිහි ලබනවා. එවැනි උපකාරයක් ලබා ගැනීමටත් පිරිත් මණ්ඩපය පොල් මල යොදා ගන්නවා. එමෙන්ම මණ්ඩපය නා දළු, බෝ දළු, නාගවල්ලි දළු, තැනින් තැන එල්ලනවා.

මේ හැම ශාකයක්ම තුඩ සහිතයි. තුඩ සහිත ශාකවර්ග වලිනුත් බෝ ගස සහ නා ගස සුවිශේෂයි. කෙතරම් උස කන්දක තිබුණත්, බෝ ගසකට, නාගසකට අකුණු සැර වැදීමක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

එම ශාක නිවැරැදි පිරිසුදු කිරන ඇද ගන්නට සමත් බව එයින් තේරුම් ගන්නට පුළුවන්. එම ශාක මෙන්ම ශාක පත්‍ර ද ඒ ආකාරයෙන් පිරිසුදු කිරණ ඇද ගැනීමට සමත් බව අප තේරුම් ගත යුතු වනවා. පිරිත් මණ්ඩපයට එම ශාක පත්‍ර යොදා ගන්නේ එම නිසයි.

එමෙන්ම මහ පිරිත් හුයට ‘අනු පිරිත් හුය’ අමුණා තිබෙනවා. මහ පිරිත් හුය දහස් වරක් පිරිත් වී තිබෙනවා. අද විද්‍යාව කෙතරම් දියුණු වී තිබුණත් අතීතයේ පටන් භාවිතයට ගන්නා ලද පිරිත් නූල වෙනස් වී නැහැ.

එමෙන්ම මණ්ඩපය හා සම්බන්ධ තවත් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා. පිරිත් මණ්ඩපයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් (උස් මේසයක්) වෙන් කිරීමත් මෙහිදී ඉතාම වැදගත් වනවා.

එමෙන්ම පිරිත් සජ්ඣායනය ඇරැඹීමට කලින් ධාතුන් වහන්සේට බුද්ධ පූජාව තැබීම (ගිලන් පස පූජාව) අනිවාර්යය. මල්, පහන්, සුවඳ දුම්, සිසිල් පැන්, චතුමධුර, දැහැත් අෂ්ටවිධ පාන වර්ග ඖෂධ සමඟ පූජා කළ යුතුවනවා. එහෙත් මේ චාරිත්‍ර අද බොහෝ අය තුළින් නිසියාකාරව සිදුවන බවක් පෙනෙන්නට නැහැ. බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය කෙරෙහිම පිරිතේ දී අප අවධානය යොමු කළ යුතු වෙනවා.

පිරිවානා පොත් වහන්සේ තබන මේසය මතම මඳක් උසින් ධාතුන් වහන්සේ (ධාතු කරඬුව) වඩා හිඳුවීම වඩාත් සුදුසු වනවා. නමුත් අද ඇතැම් දෙනා සිදු කරන්නේ අසුන් ගන්නා පුටුවක් සකස්කර එහි ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව වඩා හිඳුවීමය. එවිට ගිලන්පස ආදිය තැබීමට සිදුවන්නේ ඊට පහළින් සකස් කළ අසුනක යි.

බුද්ධ පූජාව තැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙන් මිස පසෙකින් හෝ යටින් නොවන බව සැබෑ බෞද්ධයන් ලෙස අප අවබෝධ කරගත යුතුයි.

මඳක් සිතා බලන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් ලෙසයි අප බුද්ධ පූජාව තබන්නේ. එසේ නම් උන්වහන්සේට වැළඳීමට තබන ආහාරපාන වැළඳීමට හැකි ස්ථානයකද අප විසින් තබනු ලබන්නේ. මේවා අප විසින් නොසලකා අපගේ ප්‍රායෝගික පහසුව තකා කටයුතු කරන්නේ. මේ ආකාරයෙන් කටයුතු කිරීම සැබෑ බෞද්ධයන් විසින් නොකළ යුතුයි.

පිරිත් මණ්ඩපයට ලද පස් මල් සමඟින් ‘හඳුන් කිරි පැන්’ ද සකස් කර තැබිය යුතුවනවා. අවම වශයෙන් සඳුන් සුවඳ විහිදෙන වෙළෙඳ පොළේ ඇති ඖෂධ වර්ග හෝ මේ සඳහා යොදා ගත හැකි යි. පිරිත් හුය මහා සංඝරත්නය විසින් සඳුන් කිරි පැන් ගැල් වු අතින් පිරි මදින බව අමතක නොකළ යුතු වෙනවා.

එමෙන්ම ස්වාමීන් වහන්සේට සූකිරි, මී පැණි යේ ගිල්වන ලද ඉඟුරු, වියළි මිදි, මණ්ඩපයේ මේසය මත තැබිය යුතු වෙනවා. එසේම උණුසුම් ජලය ද පානය පිණිස තැබිය යුතු වෙනවා.

පෙර සඳහන් කළාක් මෙන් ආසන 8 කට නොඅඩු ගණනක් පැනවිය යුතු වෙනවා. ආසන සඳහා සුදු ඇතිරිල්ලක් දමා මණ්ඩපයේ බිමට අවම වශයෙන් පැදුරු හෝ දැමීම යුතු වෙනවා.

මේ ආකාරයට පිරිත් මණ්ඩපයේ අවශ්‍යතා ඉටු කරන අතරම රාත්‍රියේ වරින් වර වඩින මහා සංඝරත්නයට අවශ්‍ය ගිලන්පස ලබාදිය යුතු වෙනවා. රෑ පහන් වන තුරුම මේ සියලු කාර්යයන් ඉටු කළ යුතු වෙනවා. එසේ නොමැතිව මහා සංඝරත්නයට පිරිත් සජ්ඣායනාව පවරා දී පිරිසක් නින්දට යාමත්, සෙසු පිරිස පසු දින දානමය පින්කමේ වැඩ වල නිරත වීමත් නොකළ යුතු වෙනවා. පිරිත් ශ්‍රවණයට සැලකිය යුතු පිරිසක් මණ්ඩපය අසල සිටිය යුතු වෙනවා.

පිරිත් පින්කමේ පිරිත් දෙසුම සඳහා මහා සංඝරත්නය ම සහභාගි කරවා ගත යුතුමද? ඒ සඳහා දස සිල් මාතාවන් එහෙමත් නැතිනම් ගිහි පිරිස් සහභාගි කරවා ගත නොහැකිද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබෙනවා පිරිත් මණ්ඩපයක තුනුරුවන් වැඩ සිටිය යුතු බව. එසේනම් මහා සංඝරත්නය නොමැතිව කෙසේද තුනුරුවන් වැඩ සිටින්නේ එසේම ශ්‍රාවක යන්න පැහැදිලිවම දේශනා කර තිබෙනවා. ශ්‍රාවිකා නැත්නම් ගිහි පිරිස් සහභාගි කරවා ගෙන පිරිත් පින්කම් පැවැත්වීමක් ගැන බුදුදහමේ සඳහන් වන්නේ නැහැ.

කාන්තාවන් විසින් ආශිර්වාද කළාට වරදක් නැහැ. නමුත් පිරිත් පින්කමකදී මණ්ඩපයකදී අසුන් ගෙන පිරිත් දේශනා කිරීම දස සිල් මාතාවන්ට හෝ ගිහි පිරිස් සඳහා කැප වන්නෙ නැහැ. මෙය කාන්තාවන් අවතක්සේරු කිරීමක් නොවන බව පැහැදිලිවම තේරුම් ගත යුතු වනවා. පිරිත නමැති යාගය ගැන සඳහන් කරන විටම ගිහි පිරිස් හා කාන්තා පාර්ශවයන් ඒ සඳහා අකැප බව පැහැදිලි වනවා. පෙර බ්‍රාහ්මණ සමාජයේ සිල්වත් බ්‍රාහ්මණයන් සිවු දෙනෙක් යාගය සඳහා යොදා ගත්තා. ඒ අනුව යමින් බුදුරජාණන් වහන්සේ සාංඝික කටයුතු සඳහා භික්‍ෂූන් වහන්සේ සිවුනමක් සිටිය යුතු බව වදාරා.

අද අප අතර භාවිතයේ පවතින ගිහි පිරිත යන වචනයම වැරැදි බව තේරුම් ගත යුතු වෙනවා. ‘ගිහි පිරිත්’ යනුවෙන් කිසිවක් නැහැ. නමුත් භික්‍ෂූන් වහන්සේ සොයා ගැනීමට අපහසු ප්‍රදේශයක ගිහි පිරිසක් එක්ව පිරිත් කීම වරදක් නැහැ. එය පිරිත් දෙසුමක් නොවෙයි. පිරිත් කීමක් පමණයි. මෙය පැහැදිලිව තේරුම් ගත යුතුª වෙනවා.

එමෙන්ම අප අතර තිබෙන තවත් වැරැදි මතයක් වන්නේ මණ්ඩපය තුන් වරුවක් ඉවත් නොකිරීමයි. පිරිතෙන් පසුව පවත්වන දානය පවත්වන්නේ අහුමුල්ලක අසුන් පනවලා. සංඝරත්නයට පහසුවෙන් දානය වැළඳීමටවත් බැහැ. එමෙන්ම පිරිත් නූලෙහි බලය කොපමණ කාලයක් පවතීද යන්න ගැනත් විවිධ වාද පවතිනවා. පිරිත් නූලෙහි බලය පවත්නා කාලයක් නැහැ. තමන් පිරිසුදුව සිටිනතාක් පිරිත් නූලෙහි බලය පවතිනවා. පිරිත් නූල අතේ බැඳගෙන හාල් මැස්සන් සුද්ද නොකරන තුරු, මස් මාංශ ඇල්ලීමෙන් වළකිනතුරු පිරිතෙහි බලය පවතිනවා. එමෙන්ම පිරිත් පැන් පානය කර හිස ගල්වනවා. අප විසින් ශික්‍ෂා පද රකිනතුරු මේ පිරිත් පැන් මෙන්ම පිරිත් නූලේ බලය පවතිනවා.

එමෙන්ම අප අතර සාමාන්‍යයෙන් පිරිතෙන් පසු දානය පැවැත්වීම සිරිතක්. එසේ වූවත් ඇතැම් අයගේ මතය වී තිබෙන්නේ දානය දී පසුව පිරිත් දෙසුමක් පැවැත්වීම කළ යුතු බවයි. ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ දානය දීමේ දී විවිධ අමනුෂ්‍ය බලවේග මෙන්ම පින් බලාපොරොත්තු වන පුද්ගලයන් පැමිණෙන බවයි. එම නිසා පළමුව දානය දීමේ දී එම පුද්ගලයන් පැමිණ පින් ලබා ගන්නා බවත් පසුව පිරිත් කීමේ දී අමනුෂ්‍යයන් පළවා හරින බවයි. පිරිත් කියන්නේ උතුම් රත්නයක්. එසේ නොමැතිව අමනුෂ්‍යයන් පළවා හරින්නට භාවිතා කරන්නක් නොවන බව සිහි තබා ගත යුතු යි. විශාලා මහනුවර තුන්බිය ඇති වූ විට ආශිර්වාද පිණිස රතන සූත්‍රය භාවිතා කළ බව සැබෑවක්. එසේ වුවත් කිසිවෙක් පන්නා දැමීමක් පිරිතෙන් සිදුවන්නේ නැහැ.

නිවැරැදි පිරිත් පින්කමක් පැවැත්වීමට අප නිරතුරුවම සිතට ගත යුතු වෙනවා. එසේ නොමැතිව මිථ්‍යා දෘෂ්ටි අදහස් මුල් තැන්හි ලා සැලකීම මඟින් සිදුවන්නේ අප නොදැනුවත්වම තුනුරුවන්ට නිසි ගෞරවය නොදැක්වීමක්, සෑම විටම නුවණින් සිතා බලා කටයුතු කිරීමයි වැදගත් වන්නේ.