Print this Article


දිවිය දිනවන සැබෑ මිතුරු ඇසුර

දිවිය දිනවන සැබෑ මිතුරු ඇසුර

අද අපේ සමාජයේ බොහොමයක් අපරාධ විපත් ගැන අපට අසන්නට ලැබෙනවා. මේ අපරාධ පමණක් නොව තරුණ පිරිස් නොමඟට හරවන විවිධ බලවේගත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම නූතන තාක්‍ෂණය අනුව පරිගණකය වඩාත් ඵලදායක උපකරණයක් බවට පත් වෙමින් තිබියදී එය වැරැදි ලෙස භාවිත කිරීම නිසා විවිධ සමාජ විරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතිනවා. එපමණකුත් නොවෙයි අද ජනතාව අතර දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙන ෆේස්බුක්  (Facebook) භාවිතය අවිචාරවත් ලෙස යොදා ගැනීම නිසා වෙනත් සමාජ හිංසක ක්‍රියාවන් සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ අතරටම ජංගම දුරකථනය ද එක් වූ විට එය ද වැරැදි භාවිතය නිසා විවිධ උපක්‍රමශීලී මිනීමැරුම්, මංකොල්ලකෑම් වැනි අපරාධ වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

රූපවාහිනී මාධ්‍යයන් හරහා ද යම් යම් සමාජ විරෝධී කටයුතු සඳහා ජනතාව පෙලැඹවීමක් සිදුවෙනවා. එහෙත් පැහැදිලි කරුණක් කිවයුතුව පවතිනවා. එනම් මේ සෑම නිමැයුමක්ම මනුෂ්‍ය ප්‍රජාවගේ මෙලොව දියුණුව හා ප්‍රගතිය සඳහා ඉවහල් කර ගත යුතු බවයි. එහෙත් ඒවා බොහෝවිට අපේ තරුණ කොටස් විසින් වැරැදි ලෙස භාවිත කරනු ලැබීම නිසා සමාජයේ නොයෙක් ප්‍රශ්න ගැටලු ඇති වී තිබෙනවා.

නූතන ලෝකයේ අප අනෙකුත් ජාතීන් සමඟම එක්වරම තාක්‍ෂණය වඩ වඩාත් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යායුතුව පවතිනවා. එසේ නොවුණහොත් අපට ජාතියක් වශයෙන් කිසිසේත් ඉදිරියට යා ගැනීමට හැකියාවක් නැහැ. අද අප නිතරම කතාබහට ලක්කරන ගෝලීයකරණයෙන් ඉවත්ව කිසිසේත් ජීවත්වීමට හැකියාවක් නැහැ. මේ නිසා මේ තාක්‍ෂණික ලෝකයත් එක්කම අප ඉදිරියට ගමන් කළ යුතුමයි. එහිදී අප තේරුම් ගතයුතු ඉතා වැදගත් කරුණ වන්නේ මිනිසාගේ භෞතික වශයෙන් ඉදිරියට යෑමට හේතුවන මෙම තාක්‍ෂණික මෙවලම් අපේ දියුණුවට අදාළ කර ගත හැකි වනසේ යොදා ගැනීමයි. එමෙන්ම ඒ සඳහා කල්‍යාණ මිත්‍රයන්ගේ හෙවත් සද්පුරුෂයන්ගේ ආශ්‍රයත් නිරන්තරයෙන් අපේක්‍ෂා කළ යුතුයි. එවැනි කරුණුවලදී අඳබාල පාප මිත්‍රයන්ගේ ඇසුර අප ලැබුවහොත් අප විනාශය කරා ගමන් කිරීම නොවැළැක්විය හැකි කරුණක් බව හැම දෙනාම තේරුම් ගත යුත්තක්.

එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවධියෙහි අප ජීවත් වන මෙම 21 වැනි සියවසෙහි මෙන් තාක්‍ෂණික ලෝකය ඉදිරියට ගොස් නොතිබුණත් එදත් උන්වහන්සේ නිරන්තරයෙන් සද්පුරුෂයා, කල්‍යාණ මිත්‍රයා හඳුනාගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම බොහෝ සූත්‍ර දේශනාවන්හිදී අපට අවධාරණය කර තිබෙනවා. එහිදී අපට හමුවන එක් සූත්‍රදේශනාවක් ලෙස භික්ඛුමිත්ත සූත්‍රය හඳුන්වා දිය හැකියි. මෙහිදී බුදුරජාණන් වහන්සේ වරක් සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙක භික්‍ෂූන් වහන්සේ පිරිසක් අමතා මේ සූත්‍රය දේශනා කර තිබෙනවා. එය සාමාන්‍යයෙන් භික්‍ෂූන් වහන්සේ අමතා කරනු ලබන දේශනාවක් වූවත් පොදුවේ සැමටම තමන්ගේ සහායකයාගේ මෙලොව පරලොව හිත පිණිස හේතුවන පුද්ගලයා කවුරු ද යන්න හඳුන්වා දීමට මෙම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ක්‍රියා කර තිබෙනවා. එවැනි මිත්‍රයකුගේ ලක්‍ෂණ කවරේදැයි හඳුනා ගැනීම තුළින් අපට මිත්‍රයා තෝරා බේරා ගත හැකියි.

ඒ අනුව, සමාජ ජීවිතයේදී අප හඳුනාගත යුතු මිත්‍රයා අංග ලක්‍ෂණ 7 කින් යුක්තයි. එහිදී පළමු වන ලක්‍ෂණය වන්නේ පි‍්‍රයමනාප (පියො) වීමයි. මිත්‍රයා නිරන්තරයෙන්ම තම සහායකයාට අප්‍රසන්න ස්වභාවයක් ගෙන දෙයි නම් එවැනි තැනැත්තා සහායකයා විසින් කිසිසේත් ඇසුරු කිරීමට යොදා ගනු ලබන්නේ නැහැ. මෙහිදී සහායකයාගේ මනාපය කැමැත්ත දිනා ගැනීමට හැබෑ මිත්‍රයා ක්‍රියා කිරීමයි වැදගත් වන්නේ. තම සහායකයාට මිත්‍රයා හතුරෙකු ලෙස පෙනී යන්නට හේතු වන කරුණු ද පවතිනවා මෙම පි‍්‍රයමනාප බව දියුණු වීමට මිත්‍රයාගේ ක්‍රියා කලාපය අතිශයින් හේතු වෙනවා. මිත්‍රයා නිරන්තරයෙන්ම තම සහායකයා කෙරෙහි කාරුණිකවම කටයුතු කළ යුතුයි. කිසියම් අයෙකු නිතරම කිපෙනසුළු නම් එමෙන්ම ඉතා සුළු වරදකට වුව රළු පරුෂ විධියට ක්‍රියා කරනවා නම් ඒ පුද්ගලයා පි‍්‍රය කරන්නේ නැහැ.එමෙන්ම තම සහායකයාගේ වරදක් දුටුවිට වුවද එයින් තම සහායකයා අපහාසයට උපහාසයට ලක්වන ආකාරයෙන් බැණවදී නම් සමාජය ඉදිරියේ ඔහුගේ අඩුපාඩු පෙන්වා දොස් දකියි නම් එයින් සහායකයා නින්දා අපහාස විඳී නම් එවැනි තත්ත්වයකට මඟ පෑදීම මිත්‍රයාගේ ලක්‍ෂණය නොවේ. ඒ නිසා වරද දුටුවිට වුවද කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ පිළිබඳ ක්‍රියා කොට තම මිත්‍රයාට පි‍්‍රය මනාප වන ක්‍රම හා උපක්‍රම ආශ්‍රයෙන්ම ඔහු සුමඟට ගැනීමයි කළ යුතු වන්නේ. ඒ මිත්‍රයා එවිට මුළු මහත් සමාජයේම පි‍්‍රයමනාපයට පාත්‍ර වූවකු බවට පත් වෙනවා.

දෙවැනි ලක්‍ෂණය වන්නේ මිත්‍රයාගේ කථාවෙහි හෙවත් වචනයෙහි හා ක්‍රියාකාරකම්වල ඇති ගුරු (ගරු) භාවයයි. මෙයින් අදහස් කරන්නේ වචනයේ ඇති ගෞරවනීය ස්වභාවයයි. මිත්‍රයාගේ පැවැත්මේ ගෞරවනීය ස්වභාවයයි. එහිදී වචනය ඔදවත් තෙදවත් වචනයක්ම වෙනවා. එමෙන්ම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඒ පුද්ගලයා සමාජය ඉදිරියේ ඉතා නිවැරැදි වූ අයකු ලෙස ක්‍රියා කරනවා. එවැනි අයගේ වචන අසන විටම මේ වදන භාවිත කරන තැනැත්තා ගරු කටයුතු කෙනෙකුය යන හැඟීම සමාජය තුළ ඇති වෙනවා. ගුරු භාවයට පත්වන තැනැත්තා මේ ගුරු භාවය ශක්තිමත් කර ගන්නේ අන් කිසිවකින් නොව තමන් භාවිත කරන ගෞරවනීය වචනයෙනුයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් බුදුරජාණන් වහන්සේ මුළු තුන්ලොවටම ගුරුවරයා ලෙස බුහුමන් ලබනවා. බුදුරජාණන් වහන්සේ තිලෝගුරු වූයේ ධනයෙන් බලපරාක්‍රමයෙන්, කුලයෙන් හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේගයකින් නොවේ. උන්වහන්සේ තුන් ලොවටම ගුරු වූයේ ජනතාවගේ මෙලොව පරලොව දියුණුවට අවශ්‍ය කරන කරුණු කාරණා ගුරු භාවයෙන් හෙවත් ගෞරවාන්විතව කියා දීමෙන්. එසේත් නැත්නම් දේශනා කිරීමෙන්. උන්වහන්සේට තිබුණු එකම ශක්තිය හැම කෙනකුගේ මිත්‍රත්වය දිනා ගැනීමට හැකි වීමයි. මේ නිසා උන්වහන්සේ ජීවමාන වූ මේ මනුෂ්‍ය ලෝකයෙහි (හෙවත් කාමලෝකයෙහි) මෙන්ම රූප හා අරූප වශයෙන් ගත්විට භවත්‍රයෙහිම ජීවත්වන සෑම සත්වයකුගේ ගුරු බවට, ආචාර්යවරයා බවට පත් වුණා. මෙයින් පැහැදිලි කරන්නේ අන් කිසිවක් නොව යම් ගුරුවරයකු, ආචාර්යවරයකු සමාජයේ වාසය කරයි නම් ඒ හැම ගුරුවරයකුම තම ශිෂ්‍ය ප්‍රජාවගේ මිත්‍රයා බවට පත් වන බවය.

මිත්‍රයාගේ තෙවැනි ලක්‍ෂණය ලෙස මෙම භික්ඛුමිත්ත සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ මිත්‍රයාගේ බහුමානනීය (භාවනියො) තත්ත්වයයි. එනම් බුහුමන් ලැබිය යුතු තත්ත්වයෙන් මිත්‍රයා සමාජය තුළ ක්‍රියා කළයුතු වනවා. සමාජය එවැනි අයගේ දොස් දැකීමෙන් වළකිනවා. ඒ මිත්‍රයා යහපත් කල්ක්‍රියාවෙන් ජීවිතය පවත්වාගෙන යනවා. එමෙන්ම එම ජීවත් වන සමාජය වුවද බහුමානයට ලක්වනවා. එම මිත්‍රයාගේ වදන මෙන්ම ක්‍රියාවන්ද සමාජයේ ගෞරවයට ලක් වනවා. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි සෙල, සොණදණ්ඩ, අක්කෝස භාරද්වාජ, අග්ගික භාරද්වාජ ආදී බමුණු මානයෙන් ඉහළටම ගොස් මහ පිරිස් පිරිවරා සිටි මිථ්‍යාදෘෂ්ටික ශාස්තෘවරුන් බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි කීකරු සුවච ශ්‍රාවකයන් බවට පත් වූයේ උන්වහන්සේගේ මෙම භාවනීය ශක්තිය නිසයි.

සිව්වැනි ලක්‍ෂණය වන්නේ සෑම ආකාරයකින්ම කාරුණික බව, දයාව, අනුකම්පාව සහිතවීම මෙන්ම තමාගේ වෙනත් පටු ලාභ ප්‍රයෝජනවලට හේතු වන චාටු බස්, ගොරෝසු වදන්, හිස් වචන භාවිතයෙන් තොරව අර්ථවත් මෙන්ම ප්‍රයෝජනවත් වදන් භාවිත කරන්නකුවීමයි. වචනයෙහි දක්‍ෂයෙකු (වත්තා) බවට පත්වීමයි. එනම් මිත්‍රයා සිඟලෝවාද සූත්‍රයෙහි කියැවෙන අයුරින් වචීපරම නොවීමද මෙහි දී අර්ථයක් ලෙස ගත හැකි වනවා.

පස්වැනි ලක්‍ෂණය වචනක්ෂම හෙවත් හැම ආකාරයකින්ම මිත්‍රයාගේ කතාබහ, වචන අර්ථවත් (වචනක්ෂ්ම) වීමයි. එනම් අප පිරිසකට අවවාද උපදෙස් අනුශාසනා කරනවා. එවිට අප දෙන අවවාද උපදෙස් යම් අයකු පිළිපදින්නේ ඒ අවවාදය දෙන අප ඒ දෙන අවවාද අනුව අපේ ජීවිතය හැඩ ගසා ගත් අය වුවහොත් පමණයි. එනම් තමා අවවාදයෙහි මුලින් පිහිටා සහායකයන්ට අවවාද උපදෙස් දිය යුතු බවයි එයින් අදහස් කරන්නේ. මෙහිදී පුද්ගලයාගේ ආදර්ශමත් වීමයි ඉස්මතු කර දක්වන්නේ. එය තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් (අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසෙයෙ, අථඤ්ඤමනුසාසෙය්‍ය) තමන් නිවැරැදි ආකාරයෙන් ක්‍රියා කරමින්ම තම සහායකයාට හෝ සහායකයන්ට අවවාද උපදෙස් ලබාදීමේ අවශ්‍යතාවයි මේ කරුණින් ප්‍රකාශ කරන්නේ.

සයවැනි කරුණ වන්නේ එම මිත්‍රයාගේ වචනවල ඇති ගැඹුරු, ස්ථිරසාර, නොසෙල්වෙන ස්වභාවයයි. (ගම්භීරඤ්ච කථං කත්තා) එලෙස මිත්‍රයා ක්‍රියා කළ යුතුය. මිත්‍රයා භාවිත කරන සෑම වචනයකම ඉවත ලන දෙයක් නැති, කනට පි‍්‍රය ආකාරයෙන්ම විය යුතු ය.

එපමණක් නොවේ ඇතැම් වචන කෙනකුගේ හිතට සුවයක් දැනෙන ආකාරයට නොවන්නේ නම් එය තවත් කෙනකුගේ ද්වේෂය, වෛරය වැඩිදියුණු කරවන ආකාරයෙන් නම් ඒ පුද්ගලයා වචනයෙහි දක්‍ෂවූවකු වන්නේ කෙසේද? එදා බුදුරජාණන් වහන්සේ කිසියම් පිරිසක් අමතා වදන්වැලක් නිකුත් කරන විට ඒ එක් එක් වදන තමන්ට හිතසුව පිණිස වූවක් ලෙස ඒ වදන්වලට සවන් දෙන සෑම අයකුටම දැනෙන බව කියැවෙනවා. එයින් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ වචන භාවිතයේ පැවැති අතිවිශේෂ දක්ෂතාවයි. (යො වදතං පවරෝ මනුජෙසු) බුදුරජාණන් වහන්සේ වදන් කථා කරන මිනිසුන් අතර ශ්‍රේෂ්ඨතම උත්තමයා බවට පත් වූයේ මේ ආකාරයෙනුයි. අප බෞද්ධයින් වශයෙන් උනන්දු විය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ අනුගාමික පිරිසක් නිසා එම ආදර්ශය අනුව දක්‍ෂ ලෙස වචනය හැසිරවීමට අවශ්‍ය ශක්තිය මුවහත් කර ගැනීමටයි.

මෙය ලෝකෝත්තර අර්ථයෙන් ගෙන බලනවිට එම මිත්‍රයා ලෞකික ධ්‍යාන ලාභය ද ඉක්මවා ගිය විදර්ශනා මාර්ගඵල නිවන් ඇසුරු කොට සිටීමේ වැදගත්කමයි. එවැනි ලෝකෝත්තර තත්ත්වයකට පත් වූ තැනැත්තා කිසිසේත් කිසිවකින් කම්පා වන්නේ නැහැ. ලාභ ප්‍රයෝජන කෙරෙහි ගිජු වන්නේ ද නැහැ. හැම විටම පරාර්ථකාමී බවින් තවත් අයකුට යහපතක් උදා කිරීමේ අරමුණෙන්ම ක්‍රියා කරනවා. එහෙත් අප ජීවත් වන සාමාන්‍ය ලොව තුළ එවැනි උත්තරීතර මානසික ප්‍රගතියක් ලද උත්තම පුද්ගලයකු සොයා ගැනීම අසීරු කරුණක්. එසේ වුවද අප ජීවත් වන පුහුදුන් සමාජයේ පවා කලාතුරකින් නමුත් අතිශයින් සද්පුරුෂ ගැඹුරු අදහස් උදහස් ඇති ස්ථිරසාර වචන ශක්තියක් ඇති අය අපට හමුවෙනවා. ඔවුන් කතා කරන වචනවල හොඳ ගැඹුරක් අර්ථයක් අසා සිටින්නාට දැනෙනවා නම් එයින් මෙලොව පරලොවට මෙහෙවරක් සිදුවනවා යන්න අපට තේරුම් ගත හැකියි. අප ඒ අය මිත්‍රයන් කොට සලකා තෝරා බේරාගෙන සමාජයට හඳුන්වා දීමෙන් සමාජයකට නිවැරැදි ගමන් මඟක් පෙන්වා දිය හැකි වෙනවා.

සත්වැනි කරුණ ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සැබෑ මිත්‍රයා තම සහායකයාට මොනම අවස්ථාවකවත් අවැඩක් සඳහා උපදෙස් දෙන්නේ නැත යන්නයි. එමෙන්ම යම් ආකාරයකින් තම සහායකයා නොමඟට යොමු වීමක සේයාවක් හෝ පෙනේ නම් එයින් අතමුදවා සැම විටම යහපතෙහි පිහිටුවීමට ක්‍රියා කරනවා. (නොචට්ඨානෙ නියොජයෙ) මේ අනුව හැම විටම මිත්‍රයා ක්‍රියා කරන්නේ තමන්ගේ සහායකයා හැම අතින්ම ආරක්‍ෂා කරමින්, ඔහුගේ දියුණුව මුළු සිතින්ම ප්‍රාර්ථනා කරමින්. කිසි විටෙක දුසිරිතට තම මිත්‍රයා යොමු වනු දැකීම රුචි නොකරන මිත්‍රයා තම සහායකයාට සද්පුරුෂ ආශ්‍රය ලබා දීමට ක්‍රියා කරනවා.

අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉහත කියැවුණු ලක්‍ෂණයන්ගෙන් යුක්ත මිත්‍ර‍්‍රයා නියම සැබෑ මිත්‍රයා වශයෙන් හඳුනාගෙන තේරුම් ගෙන ඔහු නිරන්තරයෙන් ආශ්‍රය කිරීමට, භජනය කිරීමට ක්‍රියා කළ යුතු බවයි. එම සැබෑ මිත්‍රයාගෙන් උපදෙස් අවවාද ආදිය ලබා ගෙන තම ජීවිතය සකස් කර ගැනීමට ක්‍රියා කළ යුතු වනවා.