Print this Article


පින් ඇති ගැටුම් නැති යහපත් පවුල

පින් ඇති ගැටුම් නැති යහපත් පවුල

අපට පින් අවශ්‍යය. පිනක් යනු පරාර්ථකාමී ව කරුණාවෙන් යුතුව අනුන්ට කරන උපකාරයකින් ලැබෙන ශක්තියකි. ඔබ ඔබගේ යැයි සිතා බිරිඳට, සැමියාට, දරුවාට, මවුපියන්ට කරන උදව් උපකාරවලට, ඔවුන්ට දෙන දේවලට පිනක් සිදුවන්නේ නැත. මගේකම නිසා ඒ හැම දෙයක්ම ඔබ ඔබට ම කරගන්නා දේ නිසාය. හැබැයි ඔබට පුළුවන්නම් මා සමඟ සිටින අය වෙනස් වෙනස් සත්වයන්ය, මා ඔවුන්ට උපකාර කළ යුතුය කියා කාරුණික සිතින් මුදල් දෙන්න, කෑම දෙන්න, බෙහෙත් දෙන්න, රෙදි සෝදා දෙන්න, ගේ පිරිසුදු කර දෙන්න, ඒ හැම ක්‍රියාවකින් ම ඔබට පින් උපදවා ගත හැකිය.

වර්තමාන සමාජයේ දුප්පත්, පොහොසත්, උගත්, නූගත් ආදී වෙනසකින් තොරව සෑම තරාතිරමක ම පාහේ ඇතැම් පවුල්වල දක්නට ලැබෙන්නේ අවුල් සහගත අසහනකාරී ස්වභාවයකි. දිනපතා ම විවිධ ජනමාධ්‍යවලින් දැනගන්නට ලැබෙන්නේ එසේ අවුල්ව අසහනකාරීව පැවැති පවුල් ප්‍රශ්න පුපුරා ගොස් අනුන්ගේ ජීවිත විනාශ කළ හෝ තමන්ගේ ජීවිතය විනාශ කර ගත් අවස්ථා පිළිබඳ පුවත් ය. මේ ප්‍රශ්නවලට හේතුව දුප්පත්කම යැයි කිව නොහැකිය. බොහෝ ධනවත් පවුල්වලින් ද මෙවැනි සිද්ධි වාර්තා වෙයි. ධනය ඇති, නැති හැම පවුලක ම ප්‍රශ්න පැන නඟිනවා නම් එයින් පෙනෙන්නේ ප්‍රශ්නවලට හේතුව මිල මුදල්ම නොවන බවයි. බුදුදහම මේ ප්‍රශ්නය හඳුනා ගන්නා ආකාරය අනුව මීට හේතුව බාහිර ලෝකය නොවෙයි. හේතුව ඇත්තේ මේවාට මැදිහත් වන පුද්ගලයන් තුළමයි. පැහැදිලිව ම කියනවා නම් ඔබේ සිත තුළයි.

බුදුන් වහන්සේ දුක යනු කුමක්දැ’යි විස්තර කළ වගන්තිය ඔබට මතක තිබෙනවා ඇත. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා ආදී වශයෙන් දුක යනු කුමක්දැ’යි පෙන්වා දෙන තැන පියෙහි විප්පයෝගෝ දුක්ඛො, අප්පියෙහි සම්පයොගො දුක්ඛො යනුවෙන් දුකෙහි පැතිකඩ දෙකක් පෙන්වා දුන් බව ද ඔබට මතක ඇති. වර්තමාන බොහොමයක් පවුල්වල අවුල් ඇතිවීමට හේතුව මෙකී දුක තේරුම් ගැනීමට නොහැකි වීමයි. ඔබ කැමැති වන, පි‍්‍රය කරන පුද්ගලයන්ගෙන් දුරස් ව වෙන් ව සිටීමට සිදුවීම දුකකි. එමෙන් ම ඔබ අකැමැති, ඔබට නොගැළැපෙනවා යයි සිතන අය සමඟ එකට ජීවත්වීමට සිදුවීම ද දුකකි. මේ නිසා අඹුසැමියන් අතර සහෝදර සහෝදරියන් අතර දරුවන් හා මවුපියන් අතර ගැටුම් ඇති වෙයි.

බොහෝ විට සහෝදර සහෝදරියන් අතර ගැටුම් ඇති වීමට පටන් ගන්නේ කලක් එකට ජීවත් වීමෙන් පසුවය. බාල කාලයේ ඔවුහු ආදරෙන් සෙනෙහසින් සිටිති. තරුණ වියට පැමිණ බාහිර අය සමග සම්බන්ධතා පවත්වන විටත් විශේෂයෙන් මවුපියන්ගේ දේපොළ බෙදා ගැනීමට අවශ්‍ය වූ විටත් එතෙක් පැවැති ගැළැපීම නැත්නම් ආදරය වියැකී යයි. එතෙක් පි‍්‍රය කළ සහෝදරකමට වඩා දේපොළකට පි‍්‍රය කිරීම ඊට හේතුවයි. එබඳු පරිසරයක් තුළ ඔබට බොහෝ උපකාර කළ සමහරවිට ඔබව රැක බලාගත් සහෝදරයා හෝ සහෝදරිය හෝ අපි‍්‍රය කෙනකු වෙයි. ඔහු හෝ ඇය සමග එක්ව සිටීම දුකක් යැයි ඔබට සිතෙයි. නුරුස්නා සිතිවිලි සිතේ ඇති විට බනින්නට හිතෙයි. පහර දෙන්නට පමණක් නොව මරා දමන්නට පවා දරුණු සිත් ඇති වෙයි. මෙබඳු තත්ත්වයක් ඇති වීමට හේතුව කුමක්ද? ඔබේ රුචි අරුචිකම් වෙනස්වීම නොවේද?

අඹුසැමියන් අතර නම් විවාහ වූ තැන් පටන් මරණය දක්වා ඕනෑ ම අවස්ථාවක විරසක වීම් සිදුවීමට පුළුවන. විවාහයෙන් ඔබ අපේක්‍ෂා කරන දේ නොලැබෙන බව පෙනෙන විට පළමුවෙන් අපි‍්‍රයයන් හා එක්ව ජීවත්වීමේ දුක ඇති වෙයි. නුරුස්නාකම් නිසා මතභේද ඇති වෙයි. ඔබ රුචි කරන පරිදි ඔහු හෝ ඇය පාලනය කර ගැනීමට ඔවුන් සමඟ වාද විවාද, බහින්බස්වීම් ඇතිකරගන්නා අතර පහරදීම් ද කරයි. මේ අතර අපි‍්‍රයයන් හා එක්ව සිටීමේ දුක සමනය කර ගන්නට ඔබ බාහිර සමාජයෙන් පි‍්‍රයයන් සොයා ගනී. බාහිර සමාජයෙන් සොයා ගත් පි‍්‍රයයන්ගෙන් දුරස්ව සිටීමේ දුක ද ඔබට දැනෙයි. මෙසේ අලුත් පි‍්‍රයයන් සොයා ගත්තත් ඔබගේ දුක අවම වන්නේ නැත.

තවත් බොහෝ ප්‍රශ්න පැන නඟී. දුක දෙගුණ තෙගුණ වෙයි. අවසානයේ මැරෙන්නට සිතෙයි. නැත්නම් මරන්නට සිතෙයි. තවත් දරුණු වී මරාගෙන මැරෙන්නට පවා සිතෙයි. හේතුව කුමක් ද? ඔබේ ම රුචි අරුචිකම් නොවේද?

සංසාරයේ දිගින් දිගට පවතින්නට ඇති ආශාව නිසා ඉපදීම සිදුවෙයි. ඉපදුණ තැන් පටන් තමන්ගේ ඉඳුරන් සතුටු කිරීමට ඇති ආශාව නිසා රුචි අරුචිකම් ඇති වෙයි. මේ නිසා තවත් බොහෝ දුක්ගැහැටවලට මුහුණ දීමට සිදුවෙයි. අවසානයේ බලන විට ඔබ දුකට පත්වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව ඔබේ ම සිතේ ඇති වූ ආශාව නැත්නම් රුචි අරුචිකම් නිසා බව සිතන්නට සිදුවෙයි.

මවුපියන්ට තමන්ගේ කුසේ ඉපදිය යුතු තමන් රුචි කරන දරුවන් තෝරා ගැනීමට හැකියාවක් නැත. ඒ කාර්යය සිදුවන්නේ එකිනෙකාගේ පින්, පව් අනුවය. අඹුසැමියන්ට එකිනෙකා තෝරා ගන්නට යම් ඉඩක් ඇත. එසේ තෝරා ගන්නේ බාහිර ලෝකයේ ඇති නොයෙක් ක්‍රම ඔස්සේ ය. නමුත් මොන ක්‍රමයකට තෝරා ගත්තත් ධනය, කුලය, රැකියාව, රූපය ආදී ආශාව පදනම් කොට ගත් ලෞකික අරමුණු ඉස්මතු වෙයි. අවසානයේ ආශාව පදනම් කොට ගොඩනඟා ගන්නා පවුල් ජීවිත, ආශාවන් නොසන්සිඳෙන බව පෙනී යන විට බිඳ වැටෙයි. මීට වගකිව යුත්තා ඔබමයි. ඔබේ ම ආශාවයි.

පවුල් ජීවිතය පින් උපදින ගැටුම් අවම වන තැනක් බවට පත්කර ගන්නට පුළුවන. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබ සිතන ආකාරය වෙනස් කිරීම පමණි. ඔබ මේ ලෝකයට ආවේ අවුරුදු කිහිපයකට පෙරය. ඊට පෙර ඔබ හා ඔබේ දරුවන්, අඹුසැමියන්, ඤාතීන් යයි කියා ගන්නා අය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබිණි. තවත් අවුරුදු කිහිපයක් ඒ අය සමඟ එකට ජීවත් වන ඔබ සැම මරණයෙන් විසිරී වෙන් ව යනු ඇත. මේ කෙටි කාලය තුළ මගේ මගේ යයි කියන්නේ එසේ තාවකාලිකව මුණගැසුණ පිරිසකට ය. ඔබ මෙන් ම ඒ සැම කෙනකු ම වෙන් වෙන් වූ ලෝකවලින් ඇවිත් වෙන වෙන ලෝකවලට යන සත්වයන්ය. එබඳු අය ඔබ මගේ බිරිඳ, මගේ සැමියා, මගේ දරුවා යැයි මගේ කර ගෙන ඇත. ඉතින් මේ මගේකම සැබෑවක් ද? මගේ දේ මට කැමැති ආකාරයට තිබිය යුතු යැයි සිතන ඔබ ඔවුන්ට බනී, ගහයි, මරන්නට සිතයි. ඔබ මේ වේදනා දෙන්නේ තමන්ට අයිති නැති අයටය. තමන්ට අයිති නැති අයට හිරිහැර කර ඔබ එකතු කර ගන්නා පව් විඳවන්න සිදුවන්නේ ඔබටම ය. පවුල් ජීවිතයේ දී ඔබට නුරුස්නාකමක් ඇති වුවහොත් තාවකාලිකව එකට සිටින, සැබෑවට ම මට අයිති නැති අයට හිරිහැර කර මා පව් එකතු කර ගන්නේ කුමකටදැ’යි සිතා ඔබේ ආවේග පාලනය කරගන්න.

අපට පින් අවශ්‍යය. පිනක් යනු පරාර්ථකාමී ව කරුණාවෙන් යුතුව අනුන්ට කරන උපකාරයකින් ලැබෙන ශක්තියකි. ඔබ ඔබගේ යැයි සිතා බිරිඳට, සැමියාට, දරුවාට, මවුපියන්ට කරන උදව් උපකාරවලට, ඔවුන්ට දෙන දේවලට පිනක් සිදුවන්නේ නැත. මගේකම නිසා ඒ හැම දෙයක්ම ඔබ ඔබට ම කරගන්නා දේ නිසාය. හැබැයි ඔබට පුළුවන් නම් මා සමඟ සිටින අය වෙනස් වෙනස් සත්වයන්ය, මා ඔවුන්ට උපකාර කළ යුතුය කියා කාරුණික සිතින් මුදල් දෙන්න, කෑම දෙන්න, බෙහෙත් දෙන්න, රෙදි සෝදන්න, ගේ පිරිසුදු කර දෙන්න, ඒ හැම ක්‍රියාවකින් ම ඔබට පින් උපදවා ගත හැකිය. ඔබ තුළ මගේ යන හැඟීම ඇති තාක් සැබැවින් ම ඔබට අයිති නැති අය සමඟ මගේ කියන හැඟීමෙන් ගැටෙන ඔබ පව් එකතුකර ගන්නවා පමණක් නොව ඔබ බොහෝ වෙහෙස මහන්සි වී හරිහම්බ කර ඔවුන් වෙනුවෙන් වියදම් කර කිසිදු පිනක් ලබන්නේ ද නැත. අවශ්‍ය වන්නේ ඔබ සිතන ආකාරය වෙනස් කර ගැනීම පමණයි.