UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතෙහි වර්ධනය දියුණුව පිණිසම හේතු වේ

 සිතෙහි වර්ධනය දියුණුව පිණිසම හේතු වේ

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි කිඹුල්වත් නුවර හා කෝලිය නුවර යන රාජ්‍ය දෙකේ රජවරුන් අතර කිසියම් නොමනාපයක් හටගනු ලැබීය. මෙබඳු තත්ත්වයක් උදාවුණේ ‘රෝහිණී’ නම් වූ නදියෙහි ජලය බෙදාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නිසාය. කිඹුල්වත් පුර රජුන්ගේ සහ කෝලිය පුර රජුන්ගේ සීසෑම් කරන ගොවීහු ඒ නදිය ඇසුරු කොටගෙන කුඹුරුවලට ජලය අරගෙන යති. මේ ජලය බෙදාගැනීම පිළිබඳ ගොවියන් අතර ඇතිවුණ ගැටලුව පසුව ක්‍රමයෙන් රජවරු දක්වාද ගියේ ය. කුඹුරු වැඩ කළ ගොවීන් අතර ආරවුල ආරම්භ වූයේ රජවරුන්ගේ දොස් කියන්නට පටන් ගැනීම නිසා ය. ඔවුනොවුන් අනෙකා පරයමින් කතා කරන්නට යාම නිසා ආරවුල දිග් වී ගියේ ය.

ගොවීන් අතර ඇති වුණ එම ආරවුල එතැනින් අවසන් කර දැමීමට හැකියාව තිබුණත්, එම රටවල මැති ඇමැතිවරුන් එකී කාරණය සඳහා දක්‍ෂ වූයේ නැත. ඔවුන් කළේ කලහය සන්සිඳවනු වෙනුවට කළහය සන්සිඳවීමට යැයි කියමින් එය වර්ධනය වන විදිහට කටයුතු කිරීමය. මැති ඇමැතිවරු කළේ රජවරුන් දක්වා ගොස් ඒ මිනිසුන් තම රජවරුන්ට දොස් පරොස් කියන බව රජවරුන්ට කීමය. රජවරු ද මේ කාරණා අසා බොහෝ සෙයින් කිපුණාහ. තමන්ගේ කුල මල කියන මේ මිනිස්සුන්ට එරෙහිව සටන් කළ යුතු යැයි ඔවුහු කල්පනා කළහ.

සිතෙහි ඇතිවුණ තරහවත්, ක්‍රෝධයත්, වෛරයත් නිසා නෑ සබඳකම් පවා අමතක වී ගියේ ය. යුද්ධ කොට ඔවුන් පරාජයට පත් කර විනාශ කර දමන්නට කිඹුල්වත් පුර රජවරු ද කෝලිය රජවරුද කල්පනා කරන්නට විය. ඒ අනුව දෙපක්‍ෂය අතර මහා යුද්ධයක් ආරම්භ විය.

ඒ අවස්ථාවේදී සිදුවන්නට යන මහා විපත්තිය බුදුරජාණන් වහන්සේට පෙනී තමන්ගේ ඥාති සහ සම්බන්ධකම් ඇති දෙපිරිසක් විශාල පිරිසක් විනාශ කර ගැනීමට යන්නේ ඉතා කුඩා ගැටලුවක් විසඳා ගැනීමට බැරිවීම නිසා නොවේදැයි සිතූ බුදුරජාණන් වහන්සේ යුද භූමියට අහසින් වැඩම කොට එම දෙපිරිසගේ සිත් සතන් සමනය වන ලෙස ධර්මය දේශනා කළා. රෝහිණී නදියෙහි දිය දෝතක් ගෙන වඩා වටින්නේ රෝහිණී ගඟේ වතුර ද? මිනිස් රුධිරය දැයි උන්වහන්සේ විමසූහ. ජලය වෙනුවෙන් ලේ හලන්නේ කුමකටදැයි උන්වහන්සේ විමසූහ. සත්‍ය වශයෙන්ම රෝහිණි නදියෙහි ජලය බෙදාගැනීම සඳහා වූ අරගලයකට වඩා අන්‍යයන් පිළිබඳව සිතේ ඇති වූ ද්වේශය අරගලයට හේතු වී ඇති බව පෙනී යයි. ජල ප්‍රශ්නයට වඩා එය මානසික ප්‍රශ්නයක් ලෙස දහමෙහි කරනු ලබන අර්ථකතනය ඒ බව පෙනී යයි. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය නිමිති කරගෙන ශාක්‍ය කෝලිය යන දෙපිරිසම අමතා කරනු ලැබූ දේශනා වලින් එය පෙනී යයි. බුදුරජාණන් වහන්සේ මෙහිදී වෛර කරන මිනිසුන් අතර වෛර නොකර ජීවත්වීමට ද වෛරයෙහි ආතුර වූ මිනිසුන් අතර එසේ අනාතුරව ජීවත් වන අයුරු ද පැහැදිලි කරනු ලබයි. මෙය මානසික තත්ත්වයක් බව ඒ අනුව පෙනේ. සමාජයේ ජීවත්වන ඇතැම් පුද්ගලයෙක් තමාට වෛර කරන පුද්ගලයා දැක පෙරළා තමාද ඔහුට වෛර කරන්නට පටන් ගනී. කෙතෙක් තමාට වෛර කරන පුද්ගලයකු දැක ඉන් ගැලවීමට උත්සාහ ගනී. තව කෙනෙක් වෛර කරන පුද්ගලයා දැක ඔහු විනාශ කර දමන්නට උත්සාහ ගනී. තව කෙනෙක් වෛර කරන පුද්ගලයාගේ ස්වභාවය හඳුනා ගනී. තමා ඔහුට වෛරකරන්නට නොගොස් ජීවත්වෙති. මෙම පුද්ගලයන් අතරින් විවිධ විදිහට ක්‍රියාත්මක වන අය අපට සමාජයේ දී අසන්නට, දකින්නට ලැබේ. මෙයින් පෙනෙන්නේ මිනිස් මානසික අපචාරය ඔහුගේ ක්‍රියාවට ද බලපානු ලබන බවයි. එමෙන්ම මිනිස් මානසික සුඛතාවය ඔහුගේ ක්‍රියාවට ද බලපානු ලබන බවයි. සමාජයෙන් තමාට ලැබුණු දෙයට පෙරළා තමා ද සමාජයට දීම සාමාන්‍ය ස්වභාවයයි. බොහෝ විට අපට සමාජයෙන් දක්නට ලැබෙන්නේ තමන්ගේ අදහසට විරුද්ධව වෙනත් අදහසක් කෙනෙක් ඉදිරිපත් කළහොත් ඒ පුද්ගලයා එසේ කරනු ලැබුයේ කුමක් හේතු කොටගෙන දැයි සිතා විමසනවාට වඩා තමන්ට පුළුවන් අයුරෙන් ඔහුට පහරදීමය. සමහර විට බැණ වැදීමය. නැතිනම් චරිත ඝාතනය කිරීමය. නැත්නම් අවගුණ ප්‍රකාශ කිරීමය. මෙයින් පෙනෙන්නේ සිද්ධිය එක වුණත් ඒ එකම සිද්ධියට මුහුණ දෙන මිනිසා ක්‍රියාත්මක වන්නේ විවිධ ආකාරයට බවය. බුදුරජාණන් වහන්සේ දක්වනු ලබන්නේ මානසික සැනසිල්ල තමන්ට නැත්නම් ඒ කුමන විධික්‍රමයෙන් ද පලක් නැති බවය. පළමුව තමන්ගේ මානසික සැහැල්ලුව ඇතිකර ගත යුතු වේ. මානසික සැහැල්ලුව ඇතිකර ගත යුත්තේ ද බුද්ධිමත් ක්‍රියාදාමයන් තුළින් ය. ඇතැම් විට තමන් කරන අනුවණ ක්‍රියාව නිසාම පසුව තමන්ගේ මානසික සැනසිල්ල නැති වී යයි. එවිට තමන් ගැන තර්ක කිරීමෙන් පලක් නැත.

සුසුඛංවත ජීවාම
වේරීනේසු අවේරිනෝ
වේරි නේසු මනුස් සේසු
විහාරාම අවේරිනෝ

වෛර කරන්නන් අතර ඔහුට වෛර කරන්නේ නැතිව සුවසේ ජීවත් වෙමු. වෛර කරන මිනිසුන් අතර ඔවුන්ට පෙරළා වෛර කරන්නේ නැතිව ඔවුන් හා ජීවත් වෙමු යනුවෙන් උගන්වන මෙම බණ පදය සාමාන්‍ය සමාජය තුළ කෙනකුට ක්‍රියාත්මක කිරීම අපහසුය. වෛර කරන්නාට වෛර නොකර ජීවත්වීම එකකි. වෛර කරන්නාට වෛර නොකර සුවසේ ජීවත්වීම අනෙකකි. වෛර කරන්නාට වෛර නොකර ඔවුන් හා එකට ජීවත්වීම අනෙකකි. වෛර කරන්නාට වෛර කරන්නේ නැතිව ඔවුන් හා එකට සුවසේ ජීවත් වීම අනෙකකි. බුදුරජාණන් වහන්සේ මිනිසුන් තුළ ඇතිවන වෛර ක්‍රෝධ සිතිවිලි පිළිබඳව කරුණු කාරණා දක්වන්නේ කෙනකුට නැවතත් ඒ පිළිබඳව කල්පනා කරන්නට ද දෙයක් ඉතිරි කරමින්ය. එසේම සමාජයේ ඇතැම් කෙනෙක් වෙනත් කෙනකු අරබයා ක්‍රෝධ කරයි. නමුත් සමහර අයට ක්‍රෝධය, වෛරය ඇතිකර ගැනීමට වෙනත් කෙනකු අවශ්‍ය නැත. වනසතුන් සමඟ වුවද ගහකොළ සමඟ වුවද ඒ කිසිම හේතුවක් නැතිව තමාගේ මනැසේම ඇතිකරගත් අවුල නිසාද කේන්තිය වෛරය ඇතිවේ. දහමෙහි දක්වන්නේ මෙම සහජ මානසික ස්වභාවය වෙනස් කරන්නට උත්සාහ ගන්නා තැනැත්තා උතුම් පුද්ගලයකු ලෙසය. එසේ වැර වෑයම් නොකරන්නා උතුම් පුද්ගලයකු වශයෙන් හැඳින්වීමට නොහැකි බවයි. මනැසෙහි ඇතිකරගන්න ඇතැම් ක්‍රෝධ, වෛර සිතිවිලි මනැසෙහිම තිබී මනසෙහිම නැති වී යයි. ඇතැම් ඒවා මනැසෙහිම යටපත්ව නිවී වරින් වර මතු වී එයි. ඇතැම් ඒවා කිසියම් රූපයක්, ශබ්දයක් දැකීමෙන් හෝ ඇසීමෙන් නැවතත් මතු වී එයි. ඇතැම් ඒවා ක්‍රියාත්මක බවට ද පත්වේ. මේ අනුව පෙනෙන්නේ මිනිස් මානසික තත්ත්වයන් ඒ ඒ අයට අනුව විවිධ ආකාරයට ක්‍රියාත්මක වන බවය.

කිසියම් කෙනෙකුට තමන්ගේ මානසික තත්ත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන්න මෙනෙහි කරන්නට හැකි නම් ඒ පිළිබඳ නිතර නිතර මෙනෙහි කරනවා නම් සිය මානසික තත්ත්වයෙහි පවතින යම් යම් අඩු පාඩු හඳුනා ගැනීමට හැකි ය. එවිට තමන් ඒ වෙලාවේ ඒ සිද්ධියට මුහුණ දුන්නේ කෙසේද? තමන් ඒ ආකාරයට මුහුණ නොදී ක්‍රියාත්මක වීමට වෙනත් ක්‍රම තිබුණාදැයි තමාට වඩාත් වාසිදායක වන්නේත්, ඒ වෙලාවේ නිහඬව සිටිය නිසා ද? ශබ්ද නැගූ නිසාද? ආදී වශයෙන් තමන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳව කල්පනා කරයි. නිතර නිතර මෙනෙහි කරයි. තමා තුළ සියල්ල නිවැරැදි ලෙසට නොසිතයි.

මෙසේ මනැස යම් යම් සිද්ධීන් අරබයා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ මෙනෙහි කිරීම තුළින් කෙනකුගේ මනැස තුළ වර්ධනීය තත්ත්වයක් උදාවේ. සිතෙහි ඇතිවන කේන්තිය වෛරය, පීඩනය, ක්‍රමයෙන් අඩු වී යයි. මෙසේ මනැස යහපත් අරමුණුවල යෙදීම දෛනික ජීවිතයට අර්ථය උදාකරන සිද්ධියක් වේ. මනැස වැඩීම බණ දහමෙහි උගන්වන්නේ භාවනාව වශයෙනි. භාවනාවේ ද විවිධ අරමුණු නොව එක් අරමුණක කරුණු කාරණා මනැසෙහි තබාගෙන සිත ප්‍රගුණ කරවීමයි.

දෛනික ජීවිතය හැඩරුවින් සරසාගැනීමට කෙනෙකුට අත්‍යවශ්‍ය සාධකයක් හැටියට තමන්ගේ සිත මැනවින් වැඩීම දැක්විය හැකිය. ඒ සඳහා වෙනම කාලයක් යොදාගත යුතු අතර තමන් වැඩ කටයුතු වල යෙදෙන ගමන් වුවද එය කළ හැකි ය. තමන් කිසියම් කටයුත්තක නිරත වී සිටින ගමන් එය මැනවින් කිරීම එක්තරා අයුරකින් මනැස වැඩීමකි. ඒ සඳහා හුරු පුරුදු වීමද තමන්ගේ ජීවිතය අර්ථයෙන් සරුසාර කරගැනීමට ප්‍රයෝජනවත් වෙයි.

සාමාන්‍ය සමාජය නිතර කල්පනා කරන්නේ තමන්ගේ මානසික සුඛතාවය සඳහා සමාජයේ අනෙක් සියලුම දෙනා උදවු උපකාර කළ යුතු බවය. නමුත් කිසි විටෙකත් එය එසේ වන්නේ නැත. තමන් කළ යුතු වන්නේ තමන්ගේ මානසික පාලනය පිළිබඳ තමන් උනන්දු වීමය. ඒ සඳහා සමාජ සිද්ධි ඇසුරෙන් තමා අත්හදා බැලීම් තමන්ගේ ආවේග තමන්ට පාලනය කරගත නොහැක්කේ ඇයි? තමන්ට පාලනය කරගත නොහැකි සහ හැකි ආවේග මොන වර්ගයේ ඒවාද? වෙනත් කෙනකුගේ වචනයකට හෝ ක්‍රියාවකට තමන්ගේ මානසික සුඛතාවය අඩු වැඩි කළ හැකි ද? එබඳු අවස්ථාවලදීත් තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන මොනවාද? ආදී වශයෙන් ජීවිතයේ සිද්ධි පිළිබඳ නැවත නැවත ද මෙනෙහි කරමින් හිත වැඩීම දියුණුව පිණිසම හේතුවේ.

සටහන: හේමමාලා රන්දුනු

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]