UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය

ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය

අද නවම් පුරපසළොස්වක පොහෝ දිනයයි. මෙම උතුම් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අද ඔබ සිල්සමාදන්ව සිටිනවා විය හැකිය. නැතිනම් වෙනත් ආගමික සද්ක්‍රියාවක නිරත වෙමින් සිටිනවා විය හැකිය. අඩුම තරමින් ආගමික වතාවත් සඳහා විහාරස්ථානයකට පැමිණි කෙනෙක් විය හැකිය. මේ සියලු යහපත් ක්‍රියාවන් සඳහා ඔබ උනන්දු කරවා ඇත්තේ අද දිනයෙහි ඇති සුවිශේෂි භාවයයි.

සාමාන්‍ය දිනයකදී දැකගත නොහැකි ආගමික ජීවිතයක් සඳහා ඔබ මෙහෙයවා ඇත්තේ අද දිනය විසිනුයි. මෙම පසළොස්වක් පොහොය දිනය බෞද්ධයන් වූ අපට ඉතා වැදගත් වීමට කැරණු කීපයක් හේතු වී තිබේ. එම කරුණු නැවත සිහිපත් කර ගැනීම ඔබේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩ වඩාත් දියුණුවීම සඳහා මහෝපකාරී වනු ඇත.

නවම්පුර පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් වන්නේ කුමක් නිසාදැයි මැනවින් විමසා බැලිය යුතු කරුණකි. සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූයේ අද වැනි දිනකය. රජගහ නුවර වේළුවනාරාමයෙහි පවත්වන ලද මෙම මහා සඟ සමුළුව අනාගත ශාසනය පිළිබඳ වැදගත් තීරණ කීපයක් ගැනීම නිසා ඉතා වැදගත් වන බව පෙනේ. මේ සඳහා මහරහතන් වහන්සේලා 1250 ක් පමණ සහභාගි වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ. මෙය මෙතෙක් ලෝකයෙහි මුළු දුන් ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාස ගතව ඇත. ක්‍රියාශීලී, විනයගරුක භික්‍ෂූන් වහන්සේලා සඳහා ප්‍රථම වරට තනතුරු ප්‍රදානය කිරීම මෙම සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි.

භික්‍ෂූන් වහන්සේලාගේ ශාසනික සේවය බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් අගය කිරීමක් මෙහිදී සිදුවී ඇති බව සඳහන් කළ යුතු වේ. අද ද බහුල වශයෙන් සිදුවන පසුකාලීනව ශාසනික පදවි ප්‍රදානයෙහි ආරම්භක අවස්ථාව හැටියට මෙය සැලකිය හැකිවේ. ඒ අනුව දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගොස් තිබූ වේළුවනාරාම මහා විහාරයේ දී අද වැනි නවම් පුන් පොහෝ දිනයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සඳහා අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු කරන ලදී. ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් මහා සෘද්ධිලාභී මුගලන් මහරහතන් වහන්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් තථාගතයන් වහන්සේ විසින් මෙහිදී පත්කොට වදාළ සේක. මේ සඳහා මෙම මහරහතන් වහන්සේලා දෙනම සංසාරිකව කරන ලද විවිධ පින්කම් පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ විසින් මෙහිදී සියල්ලන්ගේ අවධානය යොමු කළ ආකාරය පිළිබඳ තොරතුරු දැක්වේ.

නවම් පුන් පොහෝ දිනයෙහි ශාසනික වැදගත්කම වැඩිවීම සඳහා තවත් ඉතා වැදගත් කරුණක් පිළිබඳව ද තොරතුරු දැක්වේ. එනම් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේසනා කිරීමයි. අල්පායුෂ්ක වූ බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි ප්‍රථම බෝධියේදී එබඳු සියලු බුදුවරයන් වහන්සේලාගෙන් මෙම අනුශාසනය අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බව සඳහන්ව තිබේ. ප්‍රථම බෝධිය ලෙස හඳුන්වනු ලබන්නේ සම්බුදු සසුනෙහි ප්‍රථම විසි වසරයි. මෙම කාලය තුළ තථාගත බුදුරජාණන් වහන්සේට තම ශ්‍රාවකයන් වහන්සේලාට විනය ශික්ෂා පැනවීමෙහි කිසිදු අවශ්‍යතාවක් වූයේ නැත. හේතුවක් නැතිව විනය ශික්ෂා පැනවීමක් සිදු නොකළ අතර එම කාලය ක්ලේෂ ධර්ම අඩු අය බහුල වශයෙන් සිටි කාලයක් විය. එනිසා රහතන් වහන්සේලා බහුල වූ බව පෙනී යයි. “ඛන්ති පරමං තපෝ තිතික්ඛා” යනාදී ගාථා තුනක් ඕවාද ප්‍රාති මෝක්ෂය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළහ. මෙය හය මසකට, තෙමසකට හෝ මසකට වරක් භික්‍ෂූන් එක්රැස්ව දේශනා කිරීම සඳහා නියමව පැවතිණි. ප්‍රථම විසි වසට මෙය ප්‍රමාණවත් වුවත් ඉන් පසු කාලය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ආනා ප්‍රාතිමෝක්ෂය දේශනා කළා පමණක් නොව දස විධ හේතූන් නිමිති කොට ගෙන විනය ශික්‍ෂා පැනවීමද සිදුකළ අයුරු ත්‍රිපිටක සාහිත්‍ය මඟින් ප්‍රකට කර ඇත.තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ද සිදුකොට වදාරන ලද්දේ අද වැනි නවම් පුන් පොහෝ දිනයක ය.

ඉතා සංවේග දායි අවස්ථාවක් වූ මෙයින් ප්‍රකට වන්නේ මෙතෙක් කළකින් පිරිනිවන් පාන්නේ යැයි කාලය තීරණය කොට ප්‍රකාශ කිරීමය. මෙම මොහොතේ එම ප්‍රකාශයත් සමඟ මහා පෘථිවිය කම්පා වී ගිය ආකාරය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මේ අනුව බොදුනුවන් වූ අපි එක් අතකින් අද දිනය ඉතා සංවේගයෙන් යුතුව සිහිපත් කළ යුතු වේ. කල්පයක් ජීවත්ව වැඩ වසන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීම සඳහා අනඳ තෙරුන් වහන්සේට අමතකවීම නිසා මාරයා පැමිණ පිරිනිවන් පෑම සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමට බුදුරජාණන් වහන්සේට සිදුවී ඇති ආකාරය අපේ ධර්ම සාහිත්‍ය සංවේගයෙන් යුක්තව අනාවරණය කර තිබේ.

මෙබඳු වැදගත් ශාසනික සිදුවීම් කීපයක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ඇති විශේෂිත වූ වැදගත්කම පිළිබඳව අපි මෙතෙක් විමසා බැලුවෙමු. බුදුසිරිත හා සම්බන්ධ ඉතා සංවේගදායි දිනයක් ලෙසත් ශාසනයෙහි චිර පැවැත්ම සඳහාත් ඉවහල් වන විනය නීති රීති පැනවීමෙහි ආරම්භක දිනය වශයෙනුත් භික්‍ෂූන් වහන්සේලා වෙත තනතුරු ප්‍රදානය කිරීමේ ආරම්භක දිනය වශයෙනුත් අපි අද දිනය පිළිබඳව සිහිපත් කරන්නෙමු.

අද මේ උතුම් පොහෝ දිනයෙහි ඔබේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ නව මහා බුදුගුණයන් අතර දෙවෙනි ස්ථානයෙහි ලා ගැනෙන සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවය. ඉතා නිවැරැදිව ඉතා පැහැදිලිව තම අත්ලෙහි ඇති දෙයක් සේ කිසිවකුගේ උපදේසයක් හෝ ඉගැන්වීමක් නැතිව තමන් වහන්සේ විසින් ම තුන් කාලයට අයත් වුවත් අයත් නොවූවත් සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලැබේ.

බුද්ධ යන වචනයෙහි තේරුම වන්නේ ‘දන්නා’ යන්නයි. එසේ දන්නා අය එම දැනුම වෙනත් අයගේ උපදෙස් ඇතිව ලබාගන්නා අතර, තම ශක්තියෙන් ද එම දැනුම පුළුල් කර ගනු ලැබේ. එසේ වෙනත් අයගෙන් අසා දැනගත් අය බුද්ධ යනුවෙන් හැඳින්වේ. අන් අයගේ උපකාරයකින් තොරව ස්ව ශක්තියෙන් දැනුම ලබන්නා වූ උතුමන් සම්මා සම්බුද්ධ නම් වේ. මෙම සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලබන්නේ පසේ බුදුවරයන් වහන්සේලා හා ලොව්තුරු බුදුවරයන් වහන්සේලා පමණි. සම්මා සම්බුද්ධ නමින් හඳුන්වනු ලැබුවද පසේ බුදුවරයන් වහන්සේලා සියල්ල දන්නා බවක් නොකියවේ. සියල්ලම නිවැරදිව පැහැදිලිවම දන්නේ ලොව්තුරා බුදුවරයන් වහන්සේලායි. ඒ අනුව ලොව්තුරා බුදුවරයන් වහන්සේලාම සම්මා සම්බුද්ධ වන බව අපේ බණ පොත පැහැදිලි කරනු ලැබේ.

මෙහි මුලින් සඳහන් ගාථා පාඨයෙහි මෙම සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව විස්තරයක් ඇතුළත්ව ඇත. “කිසියම් පුද්ගලයෙක් වෙනත් කිසිවෙකුගෙන් නොඅසා ස්ව ශක්තියෙන්ම ස්ඛන්ධාදී ධර්ම විෂයෙහි චතුස් සත්‍ය දැනගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳවම සත්‍ය දැනගැනීම් වස් සර්වඥත්වයට පැමිණේ ද බලයන් හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ” නම් වේ. යනු එහි අදහසයි.

මේ අනුව පෙනී යන කාරණය වන්නේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද පාරමිතා කුසල බලයෙන් කිසිවෙකුගෙන් නොඅසා ඒ උතුම් ධර්මය උන්වහන්සේට අවබෝධ කළ හැකි වූ බවයි. කිසිදු අඩුවකින් තොරව දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන උතුම් සත්‍ය අවබෝධයත් එනිසාම සර්වඥතා ඤාණයත් ලබාගත් අතර ඒ සමඟම දසබල ඤාණ බලයද ලැබීමෙන් අනතුරුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය පෙළ දහමින් විස්තරකොට තිබේ.

බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය අනාවරණ ඥානය ලෙසින් ද හඳුන්වන අතර උන්වහන්සේට එම ඥානයෙන් ආවර්ජනය කෙරෙන සියල්ලම ඉතා පිරිසුදුව දැකිය හැකි වේ. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් සීමා වූ ඥානයක් බව සඳහන් වේ. එසේම තථාගතයන් වහන්සේ දසබල ඤාණයකින් යුක්ත බව ද පෙළ දහම මගින් අනාවරණය කර ඇත.

පළමුවන තථාගත බලය (ස්ථානස්ථාන දන්නා නුවණ)

දෙවන තථාගත බලය (කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ)

තුන්වන තථාගත බලය (සර්වත්‍ර ගාමිණී ප්‍රතිපත්ති දන්නා නුවණ)

හතරවන තථාගත බලය (අනේකධාතු, නානාධාතු ලෝකදන්නා නුවණ)

පස්වන තථාගත බලය (සත්වයන්ගේ නානාධි මුක්තිකත්වය දන්නා නුවණ)

හයවන තථාගත බලය (සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන්හි දියුණු නොදියුණු බව දන්නා නුවණ)

හත්වන තථාගත බලය (ධ්‍යානාධීන්ගේ සංක්ලේෂාදිය දන්නා නුවණ)

අටවන තථාගත බලය (අතීත ජාතිය දන්නා නුවණ)

නවවන තථාගත බලය (සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ)

දහවන තථාගත බලය (ආසවක්ඛය ඥානය)

මෙම ඥාන බලයන් හැරෙන්නට තථාගතයන් වහන්සේට ලොව අන් කිසිවෙකුටත් සමකළ නොහැකි කාය බලයක් තිබූ බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කර ඇත.

මෙහිදී අප විසින් ඔබේ අවධානයට ලක්කළ සම්මා සම්බුද්ධ බුදුගුණයට අදාළ වූ ඉහත කරුණු එකඟ සිතින් මෙනෙහි කිරීම ඔබේ සැදැහැ බැතියත් ගුණ නුවණත් වර්ධනය කර ගැනීමට හේතු වනවා ඇත. මෙම උතුම් බුදුගුණය මෙනෙහි කිරීම තුළින් ලබන මහා පින් බලයෙන් නිවන් සුව පසක් කර ගැනීමට අධිෂ්ඨානය කර ගනිමු.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]