Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 19 නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 19

නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ

අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කිව්වොත් බුද්ධ චරිතයේ සමහර කාරණා වෙනස් කරන්න වෙනවා නේද? මව්තුමියට සලකන්න තව්තිසා දෙව්ලොවට වැඩම වීම වාගේ කොටස් අයින් කරන්නත් වෙනවා නේද? අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කියන්නේ ඒ ඒ අය ලබාගෙන තිබෙන දැනුම අනුවයි.

මේ පිරිසුදු ධර්මය බුදු සසුනෙන් පිටත වෙන කොතනකවත් දකින්නට නැහැ. සූත්‍ර පිටකයේ තිබෙන බොහෝ කරුණු අභිධර්ම පිටකයේ තිබෙන ඒවා. ඒ වුණාට ඒ ධර්ම අභිධර්ම පිටකයේ මෙන් විස්තර කරල නැහැ. ක්‍රමානුකූලව විභාග කරලත් නැහැ. පැහැදිලි කරලත් නැහැ. ඒ නිසා බුද්ධ ධර්මය ගැන සම්පූර්ණ දැනුමක්, නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් ඉගෙනීමෙන් ලබා ගන්න බැහැ. ධර්ම කථිකයෙකු වන්න, නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ. ධර්ම දේශනාවක වරද නිවරද සොයා ගැනීමට ඇද කුද සොයා ගැනීමට අඩුවැඩිකම සොයා ගැනීමට ඇති නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්මයයි. අභිධර්මය නොදැන කරන ධර්ම දේශනාව දිග් නූල, ලඹය, මට්ටම් ලෑල්ල, කෝදූලීය පාවිච්චි නොකොට හදන ගෙයක් වගෙයි.

අභිධර්මය බුද්ධ දේශනාවක්මයි යන මැයෙන් ලියූ ඒ ලිපියේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි. යම් කෙනකු යම් ධර්ම කාරණයක් ඇසුවාම ඒක හරියට කියා දෙන්න පුළුවන් අභිධම්මිකයනට බවයි සඳහන්ව තිබෙන්නේ.

ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගෙන් තත්ත්වය ප්‍රකාශවන අභිධර්මය තථාගතයන් වහන්සේ බුදුබවට පැමිණ සතරවන සතියෙහි බෝ මැඩට පශ්චිම දිසාවෙහි වැඩ සිට සතියක් මුළුල්ලේ සම්මර්ශනය කළ බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා , අභිධර්මය ප්‍රකරණ වශයෙන් හතකට බෙදෙනවා. එයින් ධම්මසංගණී ආදි ප්‍රකරණ සය සම්මර්ශනය කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් නික්මුණේ නැහැ. අනන්ත නය සමන්වාගත මහා පට්ඨාන ප්‍රකරණයට පැමිණියාම තථාගතයන් වහන්සේගේ සිත අතිශයින්ම ප්‍රසන්න බවට පත් වුණා. සිත ඇසුරු කළාවූ ලේ ධාතුව එයින්ම පිරිසුදු වුණා. ලේ ධාතුව පිරිසුදු වූ විට තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් නීල පීතාදී ෂට් වර්ණ බුද්ධ රශ්මීය නික්මෙන්නට පටන් ගත්තා. සතියක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ සිතින් මෙනෙහි කළ ධර්මය වර්ෂ සියයක් දහසක් දේශනා කළත් අවසන් නොවන තරම් විශාල වෙනවා. තවදුරටත් එම ලිපියේ මෙසේ සඳහන් වෙයි.

බුදුබවට පත්වී සවන සතියෙහි තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දස දහසක් සක්වලින් පැමිණි දිව්‍ය, බ්‍රහ්මයන්ට ඒ ධර්මය හකුළුවා තුන් මසකින් දේශනාකොට වදාළා. තථාගතයන් වහන්සේගේ තොල් දෙක මනාසේ ස්පර්ශ වෙනවා. දිව ඉතාමත් මෘදුයි. ඒ නිසාම වචන පිටවීම ඉතාමත් වේගවත්. පැමිණි පිරිසට වදාරන්නාවූ අනු මෙවෙනි බණ මඳක් වැඩි කොට දේශනා කරතොත් බණ වර හැට හතරකින් යුක්ත වූ දීඝ නිකාය තරම් වෙනවා. සවස් කාලයෙහි විහාරයට බණ ඇසීමට පැමිණෙන අයට දේශනා කරන්නාවූ එක බණක් අංගුත්තර , සංයුක්ත නිකාය දෙකට සමාන වෙනවා. ස්වල්ප කාලයකින් දේශනා කරන ධර්මය මේ තරම් විශාල නම් තෙමසක් මුළුල්ලේ නොනවත්වා පවත්වන ලද අභිධර්ම දේශනාව, කෙතෙක් දීර්ඝ වේ දැයි සිතාගන්නට පුළුවන්. එය පොත්වල ලීවේ නම් කොතරම් විශාල පොත් ගොඩක් ලැබේද?

තුන් මසක් මුළුල්ලේ නොනවත්වාම පවත්වන ලද මෙපමණ මහත් දේශනාවක් අහන්නට මිනිසුන් සමර්ථ වන්නේ නැහැ. ඒ නිසාම මේ ධර්මය දෙවියන්ට දේශනා කළා. දෙවියන්ට දහම් දෙසන අතර තථාගතයන් වහන්සේ දහම් දෙසීමට බුදුරුවක් නිර්මාණය කොට දිනපතාම ආහාර කෘත්‍ය සඳහා මිනිස් ලොවට වැඩම වූ බවත් සඳහන් වෙනවා. බුද්ධෝත්පස්ථානය සඳහා දම් සෙනෙවි ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැමිණියාම දෙවියන්ට දෙසූ මේ ධර්මය උන්වහන්සේට ඉතා සංක්ෂේපයෙන් දේශනා කරනවා. ශාරිපුත්‍ර හාමුදුරුවන් ඒ ධර්මය නය දහසින්, නය ලක්‍ෂයෙන් තේරුම් ගන්නවා. එහෙම දැනගත් අභිධර්මය උන්වහන්සේ තමන් වහන්සේගේ පන්සියයක් පමණ අතවැසි භික්ෂූන්ට උගන්වනවා. අද පවත්නා මේ අභිධර්මය තථාගතයන් වහන්සේ විසින් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට දේශනා කොට වදාළ, උන්වහන්සේ විසින් ස්වකීය අතවැසි පන්සියයක් භික්‍ෂූන්ට උගන්වා වදාළ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයයි. එය තථාගත දේශනාවක්මයි.

බුදු දහමෙයි ඉතා ගැඹුරු විෂයක් වූ අභිධර්ම පිටකයේ ඇති වටිනාකම කොතෙක්දැයි ‘රේරුකානේ චන්දවිමල නාහිමි’ චරිතාපදාන පොතේ ඇති ඉහත ලිපියෙන් ඉතා හොඳින් පැහැදිලි වෙයි.

නූතන යුගයේදී මෙවන් බහුශ්‍රැත ධර්මාවබෝධ යෙන් පූර්ණ වූ චන්දවිමල මහා නා හිමියන් නොවන්නට එවන් විෂයක් පොදු බොදු ජනතාවගේ විෂය පථයෙන් බොහෝ දුරකට ඈත් වන්නට ඉඩ තිබුණි. විශේෂයෙන් බොහෝ ආරණ්‍ය සේනාසනයන්හි සංසාර විමුක්තිය සොයා යන යෝගාවචර භික්‍ෂූන් වහන්සේ බහුතරයකට චන්දවිමල නා හිමියන්ගේ ධර්ම සන්නිවේදන කාර්ය විමුක්තිය සොයා යන ගමන් මඟට ආලෝකයක් වූ බව නොරහසකි.

එසේම අභිධර්මය වැනි ඉතා ගැඹුරු විෂයක් නිරවුල්ව තේරුම් බේරුම් කර ගනිමින් මෙන්ම ධර්මානුකූල පිවිතුරු පැවිදි ජීවිතයක් ගත කළ චන්දවිමල මහා නා හිමියන් වැනි උත්තම සංඝ පීතෘවරයකු පරම පිවිතුරු වූ නිර්වාණය සාක්ෂාත් කර ගන්නට ඇතැයි කෙනෙකු සිතන්නේ නම් ඒ සිතිවිල්ල අසාධාරණයක් නොවෙයි.

චන්දවිමල හිමියන් අභිධර්ම විෂය තේරුම් ගැනීම පිළිබඳව දක්වන ආකල්පය ඊට හොඳ නිදසුනකි.

උන්වහන්සේගේ වදනින්ම එය පැවසුවොත් මෙසේය.

“මං නිකං සිටින සැම වේලාවකම වාගේ ගැඹුරු ධර්ම කාරණා ගැන කල්පනා කරනවා. රාත්‍රී කාලයේදීත් බොහෝ විට මා එය කරනවා. මගේ දැනීම මා විසින් දියුණු කර ගත්ත එකක්. අභිධර්මයේ ඇත්තේ සත්‍යමයි. අභිධර්මය අවබෝධ වුණොත් තමයි සත්‍ය අවබෝධ වන්නේ “ සත්‍යාවබෝධය උන්වහන්සේ විසින්ම සාක්‍ෂාත් කරගත් බවක් එම ප්‍රකාශයෙන් සනාථ නොවන්නේද?

1994 පෙබරවාරි, මාසයේදී ආරම්භ කරන ලද රේරුකාන “චන්දවිමල මහා නාහිමි ‘පොත ලියා අවසන් කරන්නේ 1996 වසරේ මාර්තු මාසයේය.

මේ වන විට චන්දවිමල මහා නා හිමියන්ගේ වයස අවුරුදු 97 ක් පමණය. මේ යුගයේදි එවන් දීර්ඝායුෂ අත්විඳින්නට ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණය. එසේ දීර්ඝායුෂ විඳින්නට ලැබුණත් අවසන් කාලය බොහෝ ඇත්තන් ගත කරන්නේ දුර්වල වූ මානසිකත්වයකිනි. සිරුරද දුර්වල වන විට බොහෝ අයගේ කල්පනා ශක්තියද හීනවීම ස්වභාවිකය. එපමණක් ද නොවේ ඒ බොහෝ අයගේ සිතීමේ ශක්තිය දුර්වල වී ඔවුන් කටයුතු කරන්නේ අව සිහියෙන් මෙන්ය. එවන් වු වයසකදී චන්දවිමල හිමියන්ගේ මනස ක්‍රියා කළ ස්වභාවය පිළිබඳව හැඟීමක් ලබා ගැනීමට උන්වහන්සේ ඵලකළ අදහස් කීපයක් ඔබ හමුවේ තබමි.

“මම ඉතින් ලොකුවට ලෝකයට කියන්න කැමති නෑ. දැන් මගේ මුළු කාලයම භාවනාවට ගත කරනවා කියල. කවදත් සිහියෙන් කල්පනාවෙන් තමයි මා කටයුතු කරන්නේ. නිතර නිතර මා ත්‍රි ලක්‍ෂණය මෙනෙහි කරනව. අලුත් අලුත් භාවනා පටන් ගත්තටම වැඩක් නැහැ. ඒවා කරවන අයත් යම් කිසි ප්‍රමාණයකටවත් භාවනාවෙන් දියුණුව ලබා ගෙනයි ඒක පටන් ගන්නට ඕනෑ. අද නම් බැලුවාම ඒ තත්ත්වය හුඟක් අඩුයි. සමහර විට තමනුත් මුලාවී අනුනුත් ඒ තත්ත්වයට දැමීමක් වශයෙනුයි මට පෙනෙන්නේ. ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල මට නම් කියන්න බැහැ.”

“ මට බරක් නැහැ. මා විහාර පන්සල් පරිපාලන කටයුතු වල යෙදීමක් නැහැ. කවදාවත් කාගෙන්වත් කිසිම දෙයක් මා ඉල්ලුවෙත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. යමක් නැතිනම් ඒ නැතිකම මට යහපතක් කියලයි මං හිතන්නේ. නැති වුණාම නො ලැබුණාම තමයි හරියට ප්‍රතිපත්තිය පිරෙන්නේ. මට කියල මගේ කියල කිසිවක් මෙතන නැහැ. මේ කුටියේ තමයි මං ඉන්නේ. මේ කුටියේ ඇතුළු දොර අවුරුදු පහළොවකින්වත් වහපු බවක් මට මතක නැහැ. යතුර තියෙන්නේ හැමදාම දොරේමයි.”

තවත් කොටසක් පෙබරවාරි 06 වන දා පත්‍රයේ පළවේ


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 18 භාෂාවේ වචන හිඟකම නිසා අභිධර්මය පැහැදිලි කර ගැනීම අපහසුයි