Print this Article


බෝධි මඟ සපුරා ගැනීම

බෝධි මඟ සපුරා ගැනීම

”ඉධාවුසො භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති කල්‍යාණසහායෝ කල්‍යාණ සම්පවංකො. සම්බෝධිපක්ඛියානං ආවුසො ධම්මානං අයං පඨමා උපනිසා භාවනාය.”

”ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ කල්‍යාණ යහළුවන් ඈතතතියේ කල්‍යාණ මිතුරන් කෙරෙහි නැමුණේ වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව පිණිස මේ ප්‍රථම හේතු ප්‍රත්‍යයි.”

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ සම්බෝධි වර්ගයට අයත් සම්බෝධි පක්ඛීය සූත්‍ර දේශනාවේ ධර්ම කොට්ඨාසයකුයි. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන් අමතා මෙසේ වදාරති. ‘ඇවැත්නි, සම්බෝධි පාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව සඳහා කවර හේතු ප්‍රත්‍යයක් වේදැයි, අන්‍ය දෘෂ්ටික පිරිවැජියන් විසින් ප්‍රශ්න කරන්නේ නම් ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරන්න. ඇවැත්ති, මේ ශාසනයෙහි කළණ මිතුරන් ඇතියේ කළණ යහළුවන් ඇතියේ කළණ මිතුරන් කෙරෙහි නැමුණේ වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව පිණිස මේ ප්‍රථම හේතු ප්‍රත්‍යයයි.

තවද ඇවැත්නි, භික්‍ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් රැකුණේ වෙයි. ආචාර ගෝචර සම්පන්නව වාසය කරයි. කුඩා අණුකුඩා වරදෙහි පවා බිය දක්නා සුළුව ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. ඇවැත්නි, සම්බෝධි පාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව පිණිස මේ දෙවෙනි හේතු ප්‍රත්‍යයයි.

තවද ඇවැන්නි, යම් මේ කථාවක් කෙලෙස් ප්‍රහාණයට හිත පිණිසවේ ද සමථ විදර්ශනා පහළකරගැනීමට මහත්සේ උපකාරීවේද එනම් අප්පිච්ඡකථාය (අල්පේච්ඡතාව) සන්තුට්ඨීකථාය (විශේෂයෙන් ලද දෙයින් සතුටට පත්වීම, ලද චීවරය, ආහාර, සෙනසුන හෝ වාසස්ථානය, ගිලන්පස හෝ බෙහෙත් වලින් සෑහීමට පත්වීම), අසංසග්ග කථා (එක්ව නොවීම, වෙන්ව සිටීම) පිරියාරම්භකථාය (තමා හා එක්ව උපදින සම්ප්‍රයුක්ත ධර්ම වඩාත් උත්සාහවත් කිරීම, ආරම්භ ධාතු, නික්මධාතු, පරක්කම ධාතු) සීල කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුත්ති ඤාණ දස්සන කථා යනුවෙන් එබඳු කැමැති කැමැති පරිදි ලබන සුළු වූයේ, සුවසේ ලබන සුළු මහත්ව ලබන්නේ වෙයි. ඇවැත්ති සම්බෝධි පාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව පිණිස මේ තුන්වෙනි හේතු ප්‍රත්‍යය යි.

4. තවද ඇවැත්නි, භික්‍ෂුව අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්මයන්ගේ ලබාගැනීම පිණිස ආරම්භ කළ වීර්ය ඇත්තේ , දැඩි හා දැඩි උත්සාහයෙන් යුතු වූයේ කුශල ධර්මයන්හි බහා නොතබන ලද වීර්ය ඇතිව වාසය කරයි. ඇවැත්නි, සම්බෝධි පාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව පිණිස මේ සිවුවන හේතු ප්‍රත්‍යයයි.

5. තවද, ඇවැත්නි, භික්‍ෂුව පඤ්ච ස්කන්ධයන්ගේ හටගැනීම සහ නැතිවීම දැනගැනීමේ සමත් වූ පිරිසුදු වූ, කෙලෙස් නැතිකිරීමට සමත් වූ මොනවට දුක් නැතිකිරීමට හේතුවන ප්‍රඥාවෙන් සමන්වාගත වුයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, මේ සම්බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ භාවනාව පිණිස හේතුවන පස් වන ප්‍රත්‍යයයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මෙම කරුණු සහ උතුම් වූ සිව්සස් දහම් අවබෝධය පිණිසම හේතුවන අයුරු නුවණින් මෙනෙහි කරන්න. මෙම ජීවිතයේම ලද පීති, සුඛ, ඒකගත්තා ආදී සමාධිමය අනුසස් ඇතිව සුවසේ විසීමට අවස්ථාව සැලසෙයි. මෙහි පෙන්වා දෙන කළණ මිතුරා නම් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා නම් වූ ඉන්ද්‍රිය ධර්ම හා බලධර්මවලින් සමන්වාගත සහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මඟ සලසන පිල්වත් වූ පුද්ගලයාම ය. මෙම උතුම් බුදුසසුන මුළුමනින්ම පවත්නේ එවැනි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාම බව වරක් භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්ද තෙරණුවන්ට දේශනා කරන ලදහ. ආශ්‍රයට එවැනි අයෙක් නොමැති නම් ඒකචාරීව විසීම යහපත්ය. හේතුව නම් අකුසල් රැස්වීමට ඇති අවස්ථාව ඇහිරීම ය.

සීලය, බෝධිපාක්‍ෂික ධර්ම සකස්වීමේ භාවනාවෙහි පදනමයි. කුඩා අනු කුඩා වරදෙහි පවා බියදක්නා සුළු ස්වභාවයෙන් යුතු වන්නට යැයි වදාළේ එහෙයිනි.

අණුමත්තේසු වජ්ජේසු භය දස්සාමි) භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් භික්‍ෂුවක් සතර සංවර සීලයෙන් සමන්වාගත ආර්ය සීලස්කන්ධයෙන් සමන්වාගත වූ විට කිසිඳු කරුණක් නිසා බියක් ඇති නොවන බවය. සියලු සතුරන් පරදවා ඔටුනු පළන් රජකෙනෙකුට රාජ්‍ය කෙරේ කිසිඳු බියක් ඇති නොවන්නා සේම, සිල්වත්වූ තැනැත්තාට ආධ්‍යාත්මික වශයෙන් කිසිඳු බියක් නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ සීහනාද සූත්‍රයෙහි මෙසේ දේශනා කරති. භික්ඛු ඒවං සීලසම්පනනෝ න කුතෝචි භයං සමනුපස්සති යදිදං සීලසංරතෝ” “සිල්වත් භික්‍ෂුව මෙසේ සීලසම්පන්නව සිටින විට ඒ සීල සංවරය හේතුකොටගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නැහැ.

එමෙන්ම, කථා කරන්නේ නම් බ්‍රහ්මචර්යා මාර්ගයට උපකාරීවන කථාවක්ම කරන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ධම්මීවා කථා අරියෝවා තුණ්භිභාවෝ “ කථා කළ යතු වන්නේ නම් ධර්මානුකූ®ල කථාවක්ම කරන්නේය. එසේ නොමැති නම් ආර්ය නිශ්ශබ්දතාවයෙන් යුතු වන්නේ ය යනුවෙනි. ඉහත සඳහන් දස කථාවන්ගෙන් අදහස් කරන්නේ ඒවා ගැන කථා කරමින් සිටීමම නොවේ. කථා කරන්නේ නම් එවැනි යමක් කථා කොට එහි සඳහන් අයුරින් පිළිවෙත් මාර්ගයෙහි ගමන් කළ යුතු බව ය.

එමෙන්ම සත්ත බොජ්ක්‍ධංගයන්හිදී පෙන්වා දුන් ආකාරයෙන්ම වීර්ය පවත්වා ගැනීම අවශ්‍යය. නිවන් මග ඇතුළත වීර්යයට ප්‍රධාන තැනක් ලැබේ. වීර්ය පාරමිතාවේ පටන්, චතුරංග වීර්ය, සම්මා වායාමය, විරිය සෘද්ධිතදය ද මෙහි ඇතුළත් කොටගත යුතුය.

එමෙන්ම ස්කන්ධ පඤ්චකය, විදර්ශනාව නුවණින් බැලීමේ හැකියාවයි. උප්පාද, භංග වශයෙන්ද, අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන්ද, අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානු පස්සනා වශයෙන් ද, අවසානයේ නවමහා විදර්ශනාවට යටත්කොට දැකීමයි. එසේ දැකීම යනු කෙලෙසුන් ගේ ප්‍රහාණයයි. භාග්‍යවතුන් වහන්සේ මෙහි එය වදාළේ “භික්ඛු පඤ්ඤාවා හෝති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛය ගැමිනියා) යනුවෙනි.

ඉහත සඳහන් කළ පඤ්ච ධර්මයන්හි පිහිටා ඉන් අනතුරුව ධර්ම සතරක් වැඩිය යුතුය. රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභය වැඩිය යුතුය. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩියයුතුය. විතර්කය නැසීම පිණිස ආනාපාන සතිය වැඩිය යුතුය. “මම, මාගේ නම් වූ මද මාන යුක්ත වූ අස්මිමානය මුලින් උපුටා දැමීම පිණිධ් අනිත්‍ය සංඥාව වැඩිය යුතුය. අනත්‍ය සංඥා පුරුදු කරන විට අනාත්ම සංඥාව පහළ වෙයි. අනාත්ම සංඥාව පහළ වූයේ අස්මි මානය මුලින් උපුටා බැහැර වෙයි. මෙලෙවදීම නිවන් අවබෝධයට පැමිණෙයි.