Print this Article


මානසික සුවය ගෙනෙන භාවනාව

මානසික සුවය ගෙනෙන භාවනාව

බුදුදහමට අනුව ලෝකය වශයෙන් සැලකෙන්නේ ඇස්,කන්, නාසය ආදියෙන් සැදුන අපේ සිරුර බව සංයුත්ත නිකායේ සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රයේ දැක්වෙයි. එම ලෝකය මෙහෙයවනු ලබන්නේ සිත විසිනි.(චිත්තේන නියතී ලෝකෝ) ඇස්, කන, නාසය ආදි ඉන්ද්‍රියයන් රූප,ශබ්ද, ගන්ධ ආදි අරමුණු සමග ගැටීමෙන් ක්‍රියාකාරි වන සිත විවිධ හැසිරීම් රටාවන්ට පුද්ගලයා යොමුකරයි. සිත එක්තැනක දිගු වෙලාවක් රැඳී නොපවතියි.

වඳුරකු අත්තෙන් අත්තට පනින්නාක් මෙන් එක් අරමුණක් අත්හැර තවත් අරමුණක සිත එල්බ ගනියි. එක් තැනක රැඳෙන්නේ නැත. දියෙන් ගොඩ දැමූ මාළුවකු මෙන් සිත නොසංසුන් ය. සිතේ පවතින රාගය, ද්වේෂය, වෛරය මසුරුබව, මාන්නය වැනි නපුරු කෙලෙස් නිසා අරමුණු ඔස්සේ හඹා යන පුද්ගලයා තමන්ට මෙන්ම අනුන්ටද අයහපත්, නපුරු දේවල් සිදුකරන්නට පෙළඹෙයි. අරමුණු නිසා සිතේ ඇතිවන නරක සිතිවිලි තුනී කරගෙන සිත යහපත් පැත්තට යොමුකර ගතහොත් ජීවිතයේ මුහුණපාන ගැටුම්කාරි ස්වභාවයන් සහ දුක් දොම්නස් නැතිකරගන්නට අපට පුලුවන.

සිතෙහි සංවරය

ඒ සඳහා අපේ සිත සංවර කරගත යුතුයි. සිත සංවර කරගැනීමේ මාර්ගය භාවනාවයි. බුදුදහමෙහි මූලික අරමුණ වන්නේ භාවනාව මගින් චිත්ත දමනය කරගන්නා අයුරු මිනිසුන්ට පෙන්වා දීමයි. සිත දමනය කිරීමෙන් සැපගෙනදෙයි. (චිත්තස්ස දමථෝ සාධු - චිත්තං දන්තං සුඛාවහං)

භාවනාව සිදුකරන අයුරු හොඳින් පැහැදිලි කරගත යුතුය. ඒ සඳහා නිවැරැදිව මග පෙන්වන්නට හැකියාව ඇති අත්දැකීම් සහිත ගුරුවරයකුගෙන් උපදෙස් ලබාගත යුතුය. එවැනි ගුරුවරුන් සොයාගැනීමට ඇති අපහසුතාව බොහෝ දෙනා මුහුණදෙන ගැටලුවකි. භාවනා ගුරුවරයකු නොමැතිව වුවත්, බුද්ධානුස්සති, මෛත්‍රිය, අසුභ, මරණානුස්සති,අනාපාන සති වැනි භාවනා ඕනෑම කෙනෙකුට වඩන්නට පුලුවන. පුද්ගලයන්ගේ සිත්වල බලපවත්වන රාගය, ද්වේෂය, ශ්‍රද්ධාව වැනි ගති ලක්ෂණවලට ගැළපෙන භාවනා ක්‍රම තිබේ. නිතර කෝපයෙන් පසුවන කෙනෙකුට මෛත්‍රී භාවනාව සුදුසුය. රූපය මුල්කරගෙන ආශාවක් ඇති කරගත් තැනැත්තාට ගැළපෙන්නේ අසුභ භාවනාවයි. ජනපද කල්‍යාණිය කෙරෙහි ආලයෙන් වෙලීම නිසා සිත සංවර කරගන්නට නොහැකිව සිටි නන්ද හිමියන්ට බුදුහාමුදුරුවන් නියම කළේ කය පිළිබඳ ආශාව දුරලන පිළිකුල් භාවනාවයි. සිරිමා නමැති කාන්තාවක කෙරෙහි රාගයෙන් වෙළුන භික්ෂුවකට එම කාන්තාව මිය ගිය පසු මළසිරුර දැකගන්නට සලස්වා සිත සංවර කරගැනීමට බුදුහාමුදුරුවන් කටයුතු කළ බව සඳහන් වෙයි. රූප නන්දාගේ රූපය පිළිබඳ ආශාව හා මාන්නය දුරුවුණේ ළදරු වියේ සිට ක්‍රමයෙන් ජරාවට පත්වන කාන්තා රුවක් දැකීමෙනි. බුදුමැදුරු, බෝමළු හා දාගැබ් අසල බුදුපිළිම තැන්පත් කර තිබෙන්නේ ඒවාට මල් පහන් පුදා ශාස්තෘවරයන් වහන්සේට ගරු බුහුමන් කිරීමෙන් පසු නව අරහාදී බුදුගුණ සිහියට නංවා ගනිමින් බුද්ධානුස්සති භාවනාවෙහි යෙදීම සඳහාය.

අරමුණු විවිධය

සිත ව්‍යාකූල තත්ත්වයකට පත්කෙනකුට භාවනාව මගින් එකවරම සිත එකඟකර ගැනීම අපහසුය. පුතුගේ මරණයෙන් වේදනාවට පත් කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ ඇට මිටක් සොයා ගෙන එන්න යැයි බුදුහාමුදුරුවන් පැවසුවේ ක්‍රමානුකූලව සිත සකස් කරලීමේ උපාය මාර්ගයක් වශයෙනි. කිසිවකු නොමළ පවුලක් සොයාගැනීමට නොහැකිවීම නිසා මරණය යනු කාටත් පොදු දෙයක් බව ඇයට වැටහුණි. දෙමව්පියන්, දරුවන් සහ සැමියා වියෝවීමෙන් වියරුව නිරුවතින් දිවූ පටාචාරා ජීවිතයේ අනිත්‍යතාව තේරුම් ගත්තේ පා දෙවු ජලය ගලා ගොස් පොළොවට උරාගන්න අයුරුබලා සිටීමෙනි. මුලින් වත්කළ ජලය එතැන දීම සිඳුනි. දෙවන වර වත්කළ ජලය මඳක් ගලා ගොස් සිඳී ගියේය. තුන්වන වර ද මඳ දුරක් ගලා ගිය ජලය පොළොවට උරාගන්නා හැටි ඇය බලා සිටියා. අපේ ජීවිතවල ස්වභාවයද එබඳුය. උපන් මොහොතේ සිට ඉදිරියට ගලා යන ජීවිතය කුමන මොහොතක දී වුවද කෙළවර වන්නට ඉඩ තිබෙන බව පටාචාරාට වැටහුනි. මේ අනුව සිත තැන්පත් කරගැනීමට සුදුසු අරමුණු විවිධය. සිත තණ්හාවෙන් බැඳෙන අරමුණුවල නිසරු බව යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් සිහිනුවණින් විමසා බලා ඒවායෙන් වෙන්විය යුතුය.

සමථ භාවනාව හා විදර්ශනා භාවනාව යනුවෙන් භාවනාවේ කොටස් දෙකක් තිබේ. එයින් සමථ භාවනාව බුදුහාමුදුරුවන් ලොව පහළවීමටත් පෙර පැවති එකකි. නරක සිතිවිලි යටපත් කර සිත දමනය කරගැනීමට එයින් අවස්ථාව උදාවෙයි. සමථ භාවනාවේ දී චිත්ත ශක්තීන් ඉස්මතු වීම සිදුවෙයි. සමථ භාවනා යෝගියකුට ධ්‍යාන බලය ලැබුන පසු නොයෙකුත් අද්භූ®ත හාස්කම් දක්වන්නට පුළුවන. නමුත් සසර දුක් කෙළවර කළ රහත් උතුමකු ලෙස සැලකිය නොහැකිය.

විදර්ශනා භාවනාව බුදුදහමට පමණක් අයත් වූවකි. සිත පිරිසුදු කරගෙන ප්‍රඥාව ලබාගැනීමට හා සසර සියලු දුක් කරදරවලින් සදහටම නිදහස්වීම සඳහා බුදුහාමුදුරුවන් සොයාගත් මාර්ගය එයයි. විදර්ශනා භාවනාවේ උසස් ප්‍රතිඵලය වන්නේ ලොව සෑම දෙයකටම පොදු සත්‍ය ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ,අනාත්ම බව පිරිසුදු නුවණින් තේරුම් ගැනීමට ශක්තිය ලැබීමයි. එවිට සියලු දුක්වේදනාවන්ට මුල් වන ලෝභයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් සිත මුළුමනින්ම නිදහස්වෙයි. එය හැඳින්වෙන්නේ රහත් බව යනුවෙනි. එය සදාකාලික සැනසීමකි. භාවනාවෙන් එවැනි උසස් ප්‍රතිඵලයක් ලබාගන්නට පුද්ගලයකු තුළ විශාල කැපවීමක් හා ඕනෑකමක් තිබිය යුතුය. සාර්ථකව භාවනාවේ ඉදිරියට යන මොහොතක් මොහොතක් පාසා එයින් ලැබෙන කායික හා මානසික සැනසීම අසීමිතය.

මනා සිහිය

එදිනෙදා ජීවිතයේ මතුවන මානසික ගැටලුවලින් මිදීම පිණිස ඕනෑම ආගමිකයකුට ආනාපානසති වැනි සරල භාවනාවක් උදව් කරගත හැක. චිත්ත ආතතිය, හෘද රෝග වැනි විවිධ කායික රෝගාබාධවලට පිළියම් වශයෙන් භාවනාවේ යෙදෙන ලෙස නවීන වෛද්‍යවරුද රෝගීන්ට උපදෙස් දෙති. දුක් කරදරවලින් නිදහස් වීම දුක් කරදරවලින් නිදහස් වීම පිණිස යම් යම් නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනවාට වඩා බුදුදහමේ ඉගැන්වෙන භාවනාවට යොමුවීමෙන් කායික හා මානසික සැනසීමක් ලැබෙන බව ලෝකයේ බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන තිබේ. එදිනෙදා ජීවිතයේ සෑම ක්‍රියාවක්ම එය කෙරෙහි මනාව සිහිය පිහිටුවාගෙන සිදුකිරීම සතිපට්ඨාන භාවනාවේ ස්වභාවයයි. එම නිසා, බාල, තරුණ, මහළු යන සැම කෙනෙකුටම භාවනාව තම ජීවිතයට බද්ධ කරගත හැක. ඉගෙනීම, රැකියාව,ආහාරපාන ගැනීම වැනි කවර ක්‍රියාවක් වුවද, මනා සිහියෙන් සිදුකළ යුතුය.

භාවනාවේ ආරම්භක අවස්ථාවේ දී සිත එකඟ කරගන්නට අපහසුකම බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුවකි. භාවනාවට සුදුසු අරමුණක් යොදාගෙන එහි නිරතවීමෙන් මිස සිත එක¼ග කරගන්නට වෙනත් ක්‍රමයක් නොමැත. මට භාවනා කරන්නට අමාරුයි කියා පසුබැසීම හෝ පසුතැවීම හොඳ නැත. දිනපතා සුළු මොහොතක් හෝ භාවනාව සඳහා යොමුවුණොත් කලක දී එම කාල සීමාව වැඩි දියුණු කරගත හැක. යමක් ඇරඹෙන්නේ සෙමින් හා කුඩා දෙයකිනි. සිත දමනය කරගෙන යහපත්’ සිතිවිලි පමණක් ඉස්මතු වන මානසික පරිසරයක් ඇතිකරගැනීම භාවනාවෙන් ලබන ජයග්‍රහණයකි.

මනස සකසමු

ඇතැමුන් භාවනාව කෙරෙහි යොමුවන්නේ තදබල මානසික ප්‍රශ්නයක් ඇතිවූ අවස්ථාවටයි. එම ගැටලුවේ ස්වභාවය අනුව ඒ සඳහා භාවනාව පිළියම් ලැබේ දැයි විමසිය යුතුය. හදිසි කෝපය, පි‍්‍රයයකුගේ වියෝවීම වැනි කාරණා මතු වූ විට මනසෙහි සන්සුන් බව ඇතිකරගැනීම සඳහා භාවනාව සුදුසුය. එහෙත් එය හැම කෙනෙකුටම, හැම අවස්ථාවකටම ගැළපේ දැයි තීරණය කළ යුත්තේ කෙනෙකුගේ මානසික තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් පසුවය. සමාජමය හෝ පෞද්ගලික හේතු නිසා පුද්ගලයන් තුළ ඇතිවන භින්නෝන්මාදය යැයි හඳුන්වන මානසික විකෘති හා හැසිරීම් රටා තිබේ. බාහිරව කෙනෙකුට නොපෙනෙන අන්දමේ මානසික ආබාධ සහිත පුද්ගලයන් ඒවාට ප්‍රතිකාර නොගෙන භාවනාවට යොමුවීමෙන් උමතු ලක්ෂණ මතු විය හැක. මනසට වධ දෙන ප්‍රශ්නයක් කෙනෙකුට තිබේ නම්, භාවනාවට පෙර සිත එයින් නිදහස් කරගත යුතුය. බුදුහාමුදුරුවන් පවා පළමුවෙන් කළේ එවැනි අයගේ මනස සැකසීමයි.

පටු අරමුණු

භාවනාව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන පිරිසක්ද අද සමාජයේ වෙති. එය හොඳ දෙයකි. නමුත් මුදල් උපයාගැනීමේ පටු අරමුණෙන් කටයුතු කරන හා බුදුදහම වැරැදියට කියා දෙමින් ඔවුන් මුලාකරන භාවනා උපදේශකයෝද සමාජයේ සිටිති. පැය ගණන් තුළදි ධ්‍යාන සහ සෝවාන් ආදි මාර්ග ඵලයන් ලබාදෙන බව සඳහන් වෙයි. සෝවාන් ආදි මාර්ග ඵල ලැබූ බව තහවුරු කිරීමට සහතිකද ලබාදෙයි. භාවනාව ද වාණිජ රැල්ලකට අසුවී තිබේ. තමන් ඇසුරු කරන පුද්ගලයන්ගේ විශේෂ ගරුත්වයක් ලබාගැනීමේ අදහසින් කටයුතු කරන සුළු පිරිසක්ද භාවනාවට යොමුවුන අය අතර දක්නට ලැබේ. මම අසුවල් තැනය, නැති නම් අසුවලා ළඟට භාවනාවට යනවා යැයි ප්‍රසිද්ධ ආගමික ස්ථානවල හා පුද්ගලයන්ගේ නම් සඳහන් කිරීමෙන් තමන්ට උසස් පිළිගැනීමක් ලැබේයැයි ඔවුහු සිතති. එසේ කීමෙන් ඔවුන් සිදුකරන්නේ මාන්නය වැඩීමකි. භාවනාව යනු විලාසිතාවක් නොවේ. භාවනාවට උනන්දුවක් දක්වන අය මේ සියලු කාරණා වටහා ගෙන සිටිය යුතුය. උතුම් අරමුණකට ළඟාවීම සඳහා බුදුහාමුදුරුවන් පෙන්වාදුන් භාවනාව පටු අරමුණූ සඳහා යොදාගැනීම එය හෑල්ලුවට පත් කිරීමකි. එපමණක් නොව පොත්පත් සඟරාවල නම් වශයෙන් භාවනා පාරමී, ධ්‍යාන වැනි බෞද්ධ වචන යොදන බව ද දක්නට ඇත. බුදුදහම සමග බැඳී පවතින භාවනා යන වචනයට හිතුමතයට අරුත්දැක්වීම වැරැදිය.

සමථ භාවනාවේ යෙදෙන විට පියවරෙන් පියවරට මනසේ ශක්තිය වැඩි දියුණු වී ධ්‍යාන බලයන් ලෙස සඳහන් වන පුද්ගලයන් තුළ සැඟවී තිබෙන සුවිශේෂ හැකියාවන් ඉස්මතු වෙයි. එවිට ඇතැම් කෙනෙක් මම රහත් බවට පත් වූවෙමි යැයි වැරැදි වැටහීමක් ඇතිකර ගනියි. කරුණු නිසි ලෙස තේරුම් නොගැනීම නිසා එසේ කළොත් ඔහු වරදකරුවකු වෙන්නේ නැත. නමුත් ලාභ ප්‍රයෝජන ලබාගැනීම, පිරිස් බලය ඇතිකරගැනීම වැනි පටු අරමුණු ඇතිව තමන් තුළ නැති සෝවාන් ආදි උසස් ගුණාංග ඇතැයි පැවසීම බරපතල පාපයකි. මාර්ග ඵල ලාභියා තමන් එවැනි තත්ත්වයකට පත්ව සිටින බව ප්‍රකාශ කරන්නේ නැත. තම හැකියාව ගැන අනුන්ට අභියෝග කරන්නේ නැත.අන් අය එය වටහා ගන්නේ ඒ තැනැත්තාගේ හැසිරීම තුළිනි. යම් භික්ෂුවක් තමන් තුළ නොමැති එවැනි උසස් තත්ත්වයක් ඇතැයි පැවසීම පැවිදි බව අහිමි කෙරෙන පාරාජිකාවකි.