Print this Article


උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර ජනවාරි 18 දින සවස 1.30 ට 29 වන වරටත් උඩුගම නගරයේ වීථි සංචාරය කෙරේ.

1976 දී එවකට පැවැති සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හා එවකට ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ් හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිතුමාගේ මූලිකත්වයෙන් ද, ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන සභාපතිවරයා වූ භාරත දේශයේ ප්‍රධාන සංඝනායක නෙළුවේ ශ්‍රී ජිනරතනාභිධාන නා හිමිපාණන්ගේ මැදිහත්වීමෙන් ද, ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරයා වූ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ‘ආනන්ද ධර්මකීර්ති ශ්‍රී’ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ඉන්දියාවේ සිට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රතු පලස මතින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් මෙරටට වැඩම කරවා උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාර භූමියට වැඩම කරවන ලදහ. ඒ 1976 ජනවාරි 10 දා ය. එවකට ගාල්ල මහ දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ සුරතින් එම බෝධි ශාඛාව 1976 ජුලි 11 වන ඇසළ පොහෝ දින විහාර භූමියේ රෝපණය කෙරිණි. ඊට උපහාර දක්වනු වස් නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණෝ උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර ආරම්භ කරන ලද්දේ 1977 ජනවාරි 10 දිනය. ගා/ උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමය වසර 111 කට අධික ඉතිහාසයකට නෑකම් කියන ප්‍රදේශයේ ඉපැරණිතම විහාරස්ථානයකි. මෙහි ආදි කර්තෘවරයාණන් වන්නේ පනංගල ශ්‍රී දේවරක්ඛිත මහා ස්වාමින් වහන්සේ ය.

වත්මන් පාලක විහාරාධිපති උඩුගම සාරානන්ද හිමිගේ අනුශාසනා පරිදි පවත්වන මෙම පෙරහරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන සුවිශේෂ පූජාවකින් හා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව ය.