Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150ක් සපිරීම සමරා 18 දා අනුරාධපුරයේ දී පුණ්‍ය මහෝත්සවයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150ක් සපිරීම සමරා 18 දා අනුරාධපුරයේ දී පුණ්‍ය මහෝත්සවයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර එකසිය පනහක් (150) පිරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය මෙම 18 වන දා ඓතිහාසික අනුරාධපුර පින්බිමේදී පැවැත්වේ.

රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය සංඝ සභාව මඟින් සංවිධානය කරන මෙම පුණ්‍යෝත්සවයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නා හිමි, ගිරාඹේ ආනන්ද අනු නා හිමි, උතුරු මැද පළාත් නායක පොතානේ ධම්මානන්ද, අධිකරණ ලේඛකාධිකාරි අත්තන්ගනේ රතනපාල, සම්බන්ධිකරණ ලේකම් උඩගබ්බල ඥාණාලෝක, දිසා පාලක ඉහලගම පවරකිත්ති යන නා හිමිවරුන්ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන මහත්වරු අතුළු පළාතේ මැති ඇමැතිවරුද සහභාගි වනු ඇතැයි ප්‍රාදේශීය සංඝ සභාව සඳහන් කරයි. මෙදින කුල දරුවන් එකසිය පනහක් සසුන්ගත කිරීම, දහසක් භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන් වීම, ගෞරවනාම සම්මුති ප්‍රධානය, විනය සජ්ඣායනා පැවැත්වීම ද සිදු කෙරේ. පස්වරු 3.00 ට නිකායේ ඉතිහාසය අනුස්මරණය කිරීම් උත්සව සභාව පැවැත්වේ.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150 වන සංවත්සරය නිමිත්තෙන් “රජරට රාමඤ්ඤ වංශය”

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික භික්‍ෂු වංශයේ ආදි සංඝ පීතෘන් වහන්සේලා අතර රාමඤ්ඤ මහා නිකායේ ව්‍යාප්තිය සඳහා අමිල මහත් සේවාවක් සිදු කළ සුපේෂල ශික්‍ෂාකාමී සංඝ පීතෘන් වහන්සේලා රැසක්ම එදා රජ රට ප්‍රදේශයේද වැඩ සිටියහ. අතිගරු ශාස්ත්‍රවෙල්ලියේ උපසේන, අතිගරු උලාංකුලමේ ශ්‍රී සරණංකර, අතිගරු වත්තේවැවේ ශ්‍රී සුමංගල, අතිගරු පුලියංකුලමේ ශ්‍රී දීපංකර යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉන් කිහිප නමකි. උන්වහන්සේලා නිසා “සරණංකරෝපසේන සඟ පරපුර” “හඳගල සග පරපුර” නමින් අතිසම්භාවනීය යතිවරුන් සසුනට දායාද කළ සඟ පරපුර දෙකක් රජරට බිහි විය. එම සඟ පරපුරට අයත් පිරිවෙන් විහාරස්ථාන සියගණනක් රජරට හා ලංකාව පුරා ඇති විය. මෑත භාගයේ අතිපූජ්‍ය සියඹලංගමුවේ ගුණරතනාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිසා අනුරාධපුරයේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් හා රජරට පුරා විහාරස්ථාන රැසක්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට එක් විය.

අද ප්‍රාදේශීය සංඝ සභා 4 කින් සමන්විත විහාරස්ථාන සිය ගණනකින් යුත් රජ රට එම විහාරස්ථාන ආරම්භ කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හා එම විහාරස්ථාන පිළිබඳ තොරතුරු අන්තර්ගත කරමින්, රජරට රාමඤ්ඤ වංශය” නමින් ග්‍රන්ථයක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150 වන සංවත්සරය නිමිත්තෙන් එළි දැක්වීම අතිශයින් අගය කළ යුතු වේ. අපේ නවක භික්‍ෂූන් වහන්සේලා තුළ නිකාය පිළිබඳව, තම පරපුරේ ආදි සංඝ පීතෘන් වහන්සේලා පිළිබඳව අභිමානයක් ඇති කිරීමටත්, රාමඤ්ඤ නිකායික භික්‍ෂූන් වහන්සේ නමක් තමන් සතු කාර්යභාරය පිළිබඳ දැනුවත්වීමටත් මෙම ග්‍රන්ථය ඉවහල් වනු ඇත. රජරට රාමඤ්ඤ වංශය සම්පාදනය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව පූජ්‍ය පණ්ඩිත ගෝනගල ඤාණාලෝක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරමි.


සියලු කටයුතු සාර්ථක වේවා

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික අපිස් සතොස් මහා තෙරවරුන් විසින් අපේ ජාතික දේශය සුගන්ධනය කරන්නට පටන් ගෙන දැන් වසර 150ක් ගතවී ඇත. බෞද්ධ සම්ප්‍රදායන් හා නවලොව යුග අවශ්‍යතාවයන් මනාව ගලපා ගනිමින් ගුණයෙන් නුවණින් සරුව රටට දැයට ධර්මාශ්වාද සැපයුන සපයන උන්වහන්සේලා බෞද්ධ ජනතාවගේ අභිමානය බව අකුටිලිවම පළකළ හැක. විසිඑක් වන සියවසේ දෙවන දශකයේ වැඩ වසමින් උන්වහන්සේලා අප හමුවේ සනාථ කරන්නේ බුදු සසුනෙහි නෛර්යානිකත්වය සහ බුදු දහමේ අකාලිකත්වයයි.

ලංකා බෞද්ධ ඉතිහාස කථාවෙහි රාමඤ්ඤ නිකායේ සමාරම්භය යුග නිර්මාණයක සිද්ධියක් වශයෙන් සටහන් විය යුතු යයි මා හගින්නේ හේතු කිහිපයක් නිසාය. මූලික වශයෙන් මෑත යුගයෙහි ලක් සඟසසුනෙහි නිම්වළලු පුළුල් කරමින් ශාසනික උරුමය ප්‍රජාතාන්ත්‍රිකරණයට පාත්‍ර කළේ රාමඤ්ඤ නිකාය විසිනි. මානව ප්‍රජාවෙහි ඒකත්වය හා සමාන්නාත්ම ධර්මය ඒ මගින් ප්‍රායෝගිකව මූර්තිමත් කරනු ලැබේ. එමෙන්ම සම්ප්‍රදාය ගරුකත්වය හා නවීකරණය අතර ප්‍රසන්න සමථයක් මගින් සිල්වත්, ගුණවත් වියත් සඟ පරපුරක් රාමඤ්ඤ නිකාය විසිනුත් රජරට උතුරු මැද පළාත හරහා රාමඤ්ඤ නිකායේ ව්‍යාප්තිය සඳහා 1966- 2 – 17 වැනි දින ගම්පොල මහවැලි නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැති සිව්වන උපසම්පදා උළෙලේදී උපසම්පදාව ලබාගත් කොස්සෝකන්ද ආරණ්‍යයේ වැඩසිටි උලන්කුලමේ සරණංකර, ශාස්ත්‍රවෙල්ලියේ උපසේන, වඳුරැස්සේ රතනජෝති යන ධීර වීර ගුණයෙන් යුතු උතුමන් ප්‍රධාන භික්‍ෂු පිරිස විසින් ජාතියට පිරිනමා ඇත.

එහෙයින් බෞද්ධ චින්තනය අගය කරන බෞද්ධ සාරධර්ම ගරුකරන සියලු දෙනාටම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉදිරි ගමන මහත් ආස්වාදයක් වනු ඇත. එහෙයින් ජාතියේ ප්‍රගතිය හුදු භෞතික සම්පත් සමූහය තුලින් පමණක් කළ නොහේ. සාරධර්ම පදනම් කරගත් උසස් ජාතික චරිතයන්ද එහිලා අත්‍යාවශ්‍යය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය විසින් මූර්තිමත් වන උදාර චරිතාදර්ශය හා සදාචාර පණිවිඩය මේ උතුම් කාර්ය අරභයා ඉමහත් දායකත්වයක් ප්‍රදානය කරනු ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150 ක් සපිරෙන මේ මොහොතේ උතුරු මැද පළාත් සංඝ සභා එකමුතුව සංවිධානය කරනු ලබන උතුරු මැද පළාත් ජාතික පුණ්‍ය මහෝත්සවයේ සියලු කටයුතු සාර්ථක වේවායි අශිංසනය කරමි.


සේවාව අතිවිශාලයි

1863 ජුලි මස 13 වැනි දී ගාල්ලේ මහාමෝදර ඤේ‍යයධම්ම මුනිවර මංගල සංඝරාජ නම් වූ සීමා මාලකයේදී ශාසනවංශ කවිධජ සිරි සද්ධම්මාචාරිය යතිසංඝපති අඹගහවත්තේ ඉන්ද්‍රාසභවර ඤණසාමි මහා නායක මාහිමිපාණන් වහන්සේ පූජ්‍යතර පුවක්දණ්ඩාවේ සිරි පඤ්ඤානන්ද මහාහිමිපාණන් වහන්සේ සහ වරාපිටියේ සිරි සුමිත්ත මාහි පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අතින් සාමණේර භික්‍ෂූන් වහන්සේලා සිව් නමකට උපසම්පදාව ලබා දීමෙන් ලංකාවේ රාමඤ්ඤ මහා නිකායේ ආරම්භය සිදු වූ බව අප සැම පිළිගන්නා කරුණකි.

වත්මන් ලාංකික ජන සමාජය මෙන්ම සංඝ සමාජය ද පරිහානියට පත්ව තිබූ යුගයක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරම්භය සිදුවීම එම සමාජ තත්ත්වය වෙනස් කරලීමට සෘජුවම බලපෑ සාධකයක් වූ බව මෙහිලා දක්වන්නට කැමෙත්තෙමි. වසර 150 ක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගමන් මග තුළ මුළු මහත් දේශයටම සිදු කළ හා සිදුකරමින් පවතින සේවාව අතිවිශාලය. වත්මන් ජන සමාජය තුළ සිදුවන සමාජ විෂමතා, දුරාචාර්ය වළක්වාලමින් යහපත් පුරවැසියන් වසන දේශයක් බවට පත්කරලන්නට සුපේෂල ශික්‍ෂාකාමී මහ සඟරුවනේ මග පෙන්වීම අත්‍යාවශ්‍ය වූවක් බව පෙනී යයි. එහෙයින් උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභා එකමුතුවෙන් අනු/ ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන මූලික කරගෙන ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියස මහා මළුවේදී උතුරු මැද පළාත් සැමරුම් උත්සවය ලබන 18 වැනිදා දවස පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජාතික මට්ටමින් පැවැත්වෙන මෙම උළෙලේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය රජරට පැමිණීම හා එහි ව්‍යාප්තියට නායකත්ව දුන් යතිවරයන් වහන්සේලා අගයමින් උත්සව සභාවක් , කුල දරුවන් 150 ක් පැවිදි කිරීම සහ දහස් නමකට පිරිනමන දානමය පින්කමත්, මහා සෑ රදුන් වන්දනා පින්කම සමඟ ත්‍රිපිටක සජ්ඣායනය මුල් තැනක් ගනී. මෙම උදාර ශාසනික පුණ්‍ය කර්මය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.