Print this Article


චංචල වන නොවන අය කවුද?

චංචල වන නොවන අය කවුද?

ගැඹුරු මුහුදේ ස්වභාවය කැළඹීමක් නොමැතිකම, පිරිසුදු වතුර, තැන්පත් ජලය, සන්සුන් බව, ගැඹුරු මුහුදේ ස්වභාවයයි. එය දැණුම් තේරුම් තියෙන පණ්ඩිතයන්ට බුදුරජාණන් වහන්සේ ආරෝපණය කළා. පණ්ඩිතයොත් යමක් කිව්වහම, යමක් ඇසූ පමණින් කලබල වෙන්නේ නැතිව, දඟලන්නේ නැතිව ඒ දෙය තේරුම් ගන්නවා. තමන්ගේ වරදක් වුණත් එය වටහාගන්නවා. අඩුපාඩුවක් වූ විට එය හදාගන්නවා. පණ්ඩිතයොත් ගැඹුරු මුහුදේ නිශ්චල බව වගෙයි. මෝඩයන් වෙරළ පාමුල තියෙන මුහුදු වතුර වගෙයි. නිතරම කැලඹිලි සහිතව අවුල් වෙනවා. හැම මොහොතෙම චංචල වෙනවා

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි සැවැත්නුවර ඉතාම සමඟි සම්පන්නව ජීවත්වුණ අඹුවක් සහ සැමියෙක් වාසය කළා. එම අඹුසැමි යුවළ ආගම දහමට නතුව ආගම දහමට අනුකූලව දැහැමෙන් සිය විවාහ ජීවිතය ගත කරගෙන ගියා. ගෘහ ජීවිතයේ වැඩ කටයුතුත්, ආගමික අධ්‍යාත්මික ජීවිතයේ වැඩ කටයුතුත්, සමානව බෙදාගෙන මේ දෙදෙනා ජීවත් වුණා. ප්‍රදේශයේ අනෙකුත් පිරිසට ආදර්ශමත් වන ආකාරයට ගෘහ ජීවිතයත්, ආගමික ජීවිතයත් සැහැල්ලුවෙන් ගත කළා. මෙම අඹු සැමි යුවළ විශාල ධනයක් නොතිබුණ, සාමාන්‍ය පවුලක දෙදෙනකු වුවද, ඉතාමත් සතුටින් ජීවත් වුණා. ඒ දෙදෙනා ඒ දෙදෙනා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම එයට හේතු වුණා. බිරිඳ කියන දෙය ඉක්මවා සැමියා වැඩ කටයුතු කරන්නට ගියේ නැහැ. සැමියා කියන දෙය ඉක්මවා බිරිඳ වැඩ කටයුතු කළේ නැහැ. මුදල් යහමින් නොතිබුණාට දෙදෙනා අතර සතුට තිබුණා. ඒ වගේම ප්‍රශ්නයක්, ගැටලුවක් පැමිණි විට ඒ දෙන්නා වෙන වෙනම කලබල වුණේ නැහැ. ප්‍රශ්නය බලා ඊට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න ඒ දෙන්නටම පුළුවන් වුණා. ඒ නිසාම ගැටලුවලදී දෙදෙනා විරසක වුනේ නැහැ.

මෙලෙස කාලයත් ගත වන විට මෙම තරුණ අඹුසැමි යුවළට දියණියක් ලැබුණා. මෙම දරුවාට තිබුණ වැඩි ආදරය නිසා “කානා” යනුවෙන් ආමන්ත්‍රණය කළා. කාලයත් සමග “කානා” යන නමම දරුවාට ලියාපදිංචි වුණා. “කානා” දියණිය දෙමාපියන් වගේම අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගුණවත් දරුවෙක් ලෙස තරුණ වියට එළඹුණා. තරුණ දියණිය අසල ගමක තරුණ දරුවකු සරණ පාවා ගත්තා. දෙමාපියන්ගෙන් සමුගත් “කානා” ඒ ගමට ගොස් දෙමාපියන් දෙදෙනා මෙන් තමන්ගේ විවාහ ජීවිතය හොඳින් ගත කළා. සැමියත් හොඳින් පවුල් ජීවිතයට එකතු වුණා. කාලයත් සමඟ “කානා” ට තම දෙමාපියන් බැලීමට ආසාවක් ඇති වුණ නිසා, කානා ඒ බව තම ස්වාමියාට ප්‍රකාශ කළා. ඔහුට පැවරී තිබූ වැඩ කටයුතු දමා යාමට නොහැකි වූ නිසා, තම දෙමාපියන් බලා ඇප උපස්ථාන කිරීම සඳහා මහගෙදර යාමට ස්වාමියා කානාට අවසර ලබා දුන්නා. කානා ගෙදරට පැමිණ ටික කලක් ගතවන විට, කානාගේ මව කල්පනා කළා දියණිය ආපසු ස්වාමියාගේ ගෙදරට යැවිය යුතු බවත්, විවාහ දිවියට පත් දෙදෙනකු දෙතැනක ජීවත්වීම විවාහ ජීවිතයට එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් එලෙස සිතපු මව කානා යන විට ස්වාමියාගේ ගෙදර රැගෙන යාමට අවශ්‍ය රසකැවිලි පිළියෙල කළා. ගෙදරක සිට තවත් ගෙදරකට යන විට කැවිලි පෙවිලි රැගෙන යාම චාරිත්‍රයක්. එම චාරිත්‍රය බුද්ධ කාලයේදීත් පැවතුණා. මෙම කැවිලි පෙවිලි සූදානම් කරගෙන ස්වාමියාගේ නිවසට යාමට සිටින අවස්ථාවේ හාමුදුරුවරු පිරිසක් එම නිවසට පිණ්ඩපාතයේ වැඩියා. කානාගේ ගෙදරට ගෙනයාමට පිළියෙල කරන ලද එම රසකැවිලි ඉතාමත් ශ්‍රද්ධාවෙන්, සතුටෙන් කානාත්, කානාගේ මවත් එම භික්‍ෂුන් වහන්සේලාට පූජා කළා. එම කැවිලි සියල්ලම භික්‍ෂුන් වහන්සේලාට පූජා කළ නිසා කානාට ගෙදර යනවිට රැගෙන යාමට කිසිවක් නොතිබුණ නිසාම කානාගේ ගමන ප්‍රමාද වුණා. නැවතත් දින නියම කරගෙන ගෙදර යාම සඳහා රසකැවිලි සාදා තිබූ අවස්ථාවක භික්‍ෂුන් වහන්සේලා පිරිසක් නැවතත් පිණ්ඩපාතයේ වැඩියා. එදා දවසෙත් අම්මයි, දුවයි හරිම සන්තෝෂයෙන් භික්‍ෂුන් වහන්සේලාට කැවිලි පූජා කළා. මේ ආකාරයට දෙවන වතාවටත් කානාට ස්වාමියාගේ ගෙදරට යන ගමන ප්‍රමාද වුණා. තවත් දවසක් මේ ආකාරයට කැවිලි පෙවිලි සූදානම් කරගෙන හිටියත් එයත් ප්‍රමාද වුණා. තුන් වතාවක්ම ගමන ප්‍රමාද වූ නිසා කාලයත් වැඩියෙන් ගෙවිල ගියා. කානාගේ ස්වාමියා කල්පනා කරනවා. “අම්මලගෙ ගෙදර ගිහිල්ලා ඉක්මනට එන්නම් කියපු බිරිඳ තවමත් ආවේ නැහැ. දැන් මාස කිහිපයක්ම ගත වුණා. මට තනියම මේ ගෙදර ඉන්නත් බැහැ. අද එයි, හෙට එයි කියලා බල බලා හිටියත් එන හාන් කවිසියක් නැහැ. කිසිම වග විභාගයක් නැහැ. ගැහැනු කෙනෙක් ගෙදරින් පිටවෙලා වෙනත් දිහාවකට ගියාට පස්සේ කල්පනා කරන්නට ඕනෙ නැවතත් ඉක්මනට තමන්ගේ ගෙදරට එන්නේ කවදද? කියලා. මේ මනුෂ්‍යයාට එහෙම වැටහීමක්වත් නැතිවා වගෙයි. මේ වගේ ගැහැනියක් සමඟ මම කොහොමද කසාද ජීවිත ගත කරන්නේ? මේ ආකාරයට හිතපු කානාගේ ස්වාමි පුරුෂයා වෙනත් භාර්යාවක් සරණ පාවා ගත්තා. කානාගේ විවාහය කඩාකප්පල් වුණා. මෙම සිදුවීම දැනගත් කානා හොඳටම කේන්ති ගත්තා. තමා යන්නට හිටිය ගමන ප්‍රමාද වීමට හේතුව කල්පනා කර බලන විට කානාට හිතෙන්නෙම ගෙදරට පිණ්ඩපාතයේ වැඩපු හාමුදුරුවරු නිසා තමයි මෙම ගමන ප්‍රමාද වුණේ. උන්වහන්සේලා ගෙදරට පිණ්ඩපාතයේ වැඩියෙ නැත්නම් ගමට ගෙනියන්න හදල තිබුණ රසකැවිලි උන්වහන්සේලාට පූජා කරන්න වෙන්නේ නැහැ. උන්වහන්සේලාට පූජා නොකළා නම් කානාගේ ගම රට යන ගමන ප්‍රමාද වෙන්නේ නැහැ. ගමන ප්‍රමාද නොවුණා නම් විවාහය මේ ආකාරයට කැඩී යන්නේ නැහැ. විවාහ වූ ස්වාමියාත් හොඳයි. ඒත් එයා කරලා තිබෙන වැඩේ ගැන නරකක් හිතන්න බැහැ. කානාත් ගොඩාක් කාලයක් මහ ගෙදර හිටිය නිසා එයා එහෙම කරන්න ඇති. ඒත් මේකේ වැරැද්ද ස්වාමිපුරුෂයාගේත් නොවෙයි. මගේත් නොවෙයි. අපේ අම්මල තාත්තලගෙත් නොවෙයි. ඇත්තටම මගෙන් සැමියා වෙන්වීමට මූලික වශයෙන්ම වැරැද්ද හිමිවෙන්න ඕනෙ පිණ්ඩපාතයේ වැඩම කළ ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලා පිණ්ඩපාතයේ වැඩිය නිසා තමයි අද මට මෙහෙම වුණේ. මෙලෙස හිතෙන විට කානාගේ හිත කේන්තියෙන් පිරෙනවා. එම තරහව භික්‍ෂුන් වහන්සේලාගේ පිටින් යවන්න මේ තැනැත්තිය පුරුදු වුණා. දවසින් දවස භික්‍ෂුන් වහන්සේලාට දොස් කියන්න පටන් ගත්තා. මගේ කසාදෙ කැඩුවේ හාමුදුරුවරු. ඒ හින්ද මම වැන්දඹුවක් වුණා. දැන් මට කසාදයක් නෑ. මේ හාමුදුරුවරුන්ගෙන් නම් වැඩක් නැහැ. මේ විදිහට භික්‍ෂුන් වහන්සේලාට දොස් කිය කියා කානා ගම් දනව්වල ඇවිදිමින් කියවන්න පටන් ගත්ත. කානා භික්‍ෂුන් වහන්සේලාට අභූත චෝදනා කරන බව භික්‍ෂුන් වහන්සේලාටත් ආරංචි වුණා. මේ පිළිබඳව භික්‍ෂුන් වහන්සේලා අතර කතා බහ වුණා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේටත් ආරංචි වුණා.

බුදුරජාණන් වහන්සේ දිනක් කානා ජීවත් වුණ ගෙදරට වැඩම කළා. ඇත්තටම ඔබගේ විවාහය කැඩුනේ භික්‍ෂුන් වහන්සේලා නිසාදැයි බුදුරජාණන් වහන්සේ කානාගෙන් විචාළා. කානා එය සැබෑවක් බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, කානාවනි, මගේ ගෝලයන්, අපේ භික්‍ෂුන් වහන්සේලා කිසියම් ගෙදරට වැඩම කරල මට අහවල් දෙය දෙන්නය කියලා ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේලා තමන්ට ලැබෙන දෙය මොකක්ද ඒ දෙය හොඳ දෙයක් වුණත්, නරක දෙයක් වුණත් පින්දීලා පූජා කළ දෙය රැගෙන වඩින එක. ඔබ ගමට රැගෙන යන්න හදපු රසකැවිලි පූජා කළේ ඔබේ කැමැත්තට නේද? ඔබේ අම්මගේ කැමැත්තට නේද? භික්‍ෂුන් වහන්සේලා ඉල්ලපු නිසා නොවෙයි නේද? කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කානාට පැහැදිළි කළා. මෙම කාරණාව බුදුරජාණන් වහන්සේ කානාට පැහැදිලි කරන විට ලජ්ජාවක් ඇතිවුණා. “ඇත්තමයිනෙ මම හිතල පූජා කළා මිසක් ඒ ස්වාමීන් වහන්සේලා මගෙන් කිසිවක් ඉල්ලුවෙ නැහැනෙ. මමනෙ දුරදිග නොබලා මෙම වැඩය කළේ. මම ඉක්මනට ගමට ගියා නම් මගේ ස්වාමි පුරුෂයා වෙන බිරින්දෑ කෙනෙක් රැගෙන එන්නේ නැහැනෙ. මේකේ වැරැද්ද මගේ අතේ. මම ඒ වැරැද්ද මගේ පිට පටවගන්නේ නැතිව මම ඒ වැරැද්ද කරල එම වැරැද්ද වෙනත් කෙනකු අත පටවනවා. ඒක මා තුළ තිබෙන ලොකු වරදක්.” බොහෝ මිනිස්සු තුළත් මේ ගතිය තියෙනවා. තමන් වැරැද්දක් කළහම තමන් අතින් වරදක් වුණහම ඒ වරදේ චෝදනාව තමන්ගෙන් නිදොස් කරලා එම චෝදනාව වෙනත් කෙනකුට පවරනවා. වෙන අය තමයි එයට පලි. තමන්ගේ අඩු නුවණ නිසා කේන්තිය තරහව නිසා ඇති කරගන්න වැරැද්ද වෙන අය අතේ පටවන්න යනවා. මේක මිනිස්සු තුළ තිබෙන ලොකු දුර්වල කමක්. බරපතළ නොකට යුත්තක්. මිනිස්සු මේ දේවල් හදාගන්න ඕනේ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළ විට කානා සත්‍යය වටහාගෙන සෝවාන් භාවයට පත්වුණා.

මෙම සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයාගේ ස්වභාවය පැහැදිලි කරනු ලැබුවා. ඒ සඳහා ගැඹුරු මුහුද උපමාවක් සඳහා යොදා ගනු ලැබුවා. ගැඹුරු මුහුදේ ස්වභාවය කැළඹීමක් නොමැතිකම, පිරිසුදු වතුර, තැන්පත් ජලය, සන්සුන් බව, ගැඹුරු මුහුදේ ස්වභාවයයි. එය දැණුම් තේරුම් තියෙන පණ්ඩිතයන්ට බුදුරජාණන් වහන්සේ ආරෝපණය කළා. පණ්ඩිතයොත් යමක් කිව්වහම, යමක් ඇසූ පමණින් කලබල වෙන්නේ නැතිව, දඟලන්නේ නැතිව ඒ දෙය තේරුම් ගන්නවා. තමන්ගේ වරදක් වුණත් එය වටහාගන්නවා. අඩුපාඩුවක් වූ විට එය හදාගන්නවා. පණ්ඩිතයොත් ගැඹුරු මුහුදේ නිශ්චල බව වගෙයි. මෝඩයන් වෙරළ පාමුල තියෙන මුහුදු වතුර වගෙයි. නිතරම කැලඹිලි සහිතව අවුල් වෙනවා. හැම මොහොතෙම චංචල වෙනවා. පණ්ඩිතයෝ එහෙම නොවෙයි. හරියට කානා වගෙයි. කානාට කරුණු පැහැදිලි කර දුන් විට කරුණු සියල්ල වටහා ගත්තා. ඒ කරුණු කාරණා තේරුම් ගත්ත නිසා යහපත උදාවුණේ කානාටම තමයි.

සටහන - හේමමාලා රන්දුනු