Print this Article


මහා පුරුෂ ලක්ෂණ හා බුද්ධකාය සංකල්පය

මහා පුරුෂ ලක්ෂණ හා බුද්ධකාය සංකල්පය

බෞද්ධයන් වූ අප බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නේ උන්වහන්සේ අපට විමුක්ති මාර්ගය පෙන්වා දුන් ශාස්තෘවරයා වශයෙනි. උන් වහන්සේ එකී විමුක්තිය හෙවත් නිවන් අවබෝධ කළේ උත්තරීතර මිනිසකු වශයෙන් ස්වකීය ඤාණය උපරිම තත්ත්වයට දියුණු කිරීමෙනි. එහෙත් වැඩි කලක් යන්ට පෙර, සමහර විට බුදුන් ජීවමාන කාලයේ දීම උන් වහන්සේ තුළ විද්‍යාමාන වූ අනුපම ගුණයන් හේතුකොට ගෙන අනුගාමිකයන් විසින් උන් වහන්සේ කෙරෙහි මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ස්වරූපයක් ආරෝපනය කරන ලදී. බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ක්‍රමයෙන් මෙම ආකල්පය කොතරම් වර්ධනය වූයේ ද යත් උන්වහන්සේ ගේ මනුෂ්‍යත්වය වැසී යන තරමට දිව්‍යමය ශාරීරික ලක්ෂණ ආරෝපනය වෙමින් මහායානයේ සම්භවයත් සමඟ බුදුන් වහන්සේට එක් ශරීරයක් නොව ශරීර තුනක් ඇත යන ත්‍රිකාය සිද්ධාන්තයක් පවා ගොඩනැඟිණි.

බුදුන් වහන්සේ ගේ ශරීරයෙහි විද්‍යාමාන වූයේ යයි සලකනු ලැබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසූවක් අනු ව්‍යාංජන මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. මෙකී මහා පුරුෂ ලක්ෂණ හැරුණු විට බුදුරජාණන් වහන්සේ ගේ තවත් ශාරීරික විශේෂතා ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල විස්තර වෙයි. දුටුවන් ප්‍රසාදය එළවන ඉතා පැහැපත් වර්ණ ශෝභාවකින් හෙබි උන්වහන්සේ ගේ ශරීරයෙන් හා හිස් මුදුනෙන් ෂඩ් වර්ණ රශ්මීන් විහිදෙන බව ප්‍රකාශ කෙරෙයි. විශේෂයෙන් බුදුන් වහන්සේ ගේ මහා පුරුෂ ලක්ෂණයන් උන් වහන්සේ මහා පුරුෂයෙකි යන සංකල්පය වටා නිර්මාණය වූ විවිධ අදහස් අතීතයේ නොයෙකුත් මත භේද වලට පාත්‍ර වුවක් මෙන්ම අදත් විවිධ විචාරකයන් ගේ විග්‍රහයන්ට යොමු වී ඇත. උන්වහන්සේ ජීවමාන කාලයේ ම බුද්ධ ශරීරයේ සත්‍ය වශයෙන් මෙකී ලක්ෂණ පැවතියේ දැයි සමහර දෙනා පරීක්ෂා කළ බව සුත්ත නිපාතයේ එන බාවරී බමුණාගේ කථා පුවතින් හෙළි වෙයි. එසේම උන්වහන්සේ ඇත්ත වශයෙන් බුදු බවට පත්ව සිටි සේක් දැයි යන්න තහවුරු කර ගැනීමට සමහර පුද්ගලයන් මෙම ලක්ෂණ කෙරෙහි විශ්වාසය තැබූ අවස්්ථා ද ත්‍රිපිටකයෙහි දැක්වෙයි.

මහා පුරුෂ ලක්ෂණ එකින් එක ගෙන බලන විට ඒවා ස්වාභාවික මනුෂ්‍ය ශරීරයක පිහිටිය හැකි දැයි කෙනෙකුට සැක පහළ විය හැකිය. බුදුන් වහන්සේගේ රූපකාය සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් විද්‍යා මාන වෙයි. එහෙත් බුදුන් වහන්සේ ගේ චරිතය හා සම්බන්ධ වාර්තා වලින් එබඳු ස්වරූපයක් කිසිසේත් ප්‍රකට නොවේ. එතෙකුදු නොව ස්වකීය ශ්‍රාවක භික්ෂූන් ගෙන් බුදුන් වහන්සේ වෙන්කොට හඳුනා ගත නොහැකි වූ අවස්ථා ද ත්‍රිපිටකයෙහි දැක්වෙයි. මේ අනුව අපට විශ්වාස කළ හැක්කේ මහා පුරුෂ ලක්ෂණ බුදුන් වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය අතිශයින් අස්වාභාවික ස්වරූපයක් මුර්තිමත් කළ සලකුණු නොවිය හැකිය යන්නය. මෙහිදී මූලික ගැටලුව ඇති වී ඇත්තේ මෙම ලක්ෂණ තේරුම් ගැනීමට ගත් උත්සාහයන් තුළ ය. ත්‍රිපිටකයේ බොහෝ තැන්වල මෙකී ලක්ෂණ නම් වශයෙන් ඉදිරිපත් කෙරෙනවා විනා ඒවායේ යථා ස්වරූපය හෝ සිරුරෙහි එය විද්‍යාමාන වන ආකාරය හෝ පැහැදිලි නොවෙයි. මහා පුරුෂ ලක්ෂණ විස්තර කර ඇත්තේ පශ්චාත් කාලින බෞද්ධ ග්‍රන්ථ වලය. ත්‍රිපිටකයේ ම එන සූත්‍රයක් වූ ලක්ඛණ සූත්‍රයෙහි සමහර ලක්ෂණ පිළිබඳ කෙටි සටහන් තිබුණද බොහෝ විචාරකයන් ගේ මතය වී ඇත්තේ එම සූත්‍රය පසු කාලීන සංස්කරණයන්ට භාජනය වී ඇති බවයි. දීඝනිකාය අට්ඨ කථාවේ මෙම ලක්ෂණ විග්‍රහ කිරීමට බුද්ධඝෝෂ හිමියන් උත්සාහ දරා ඇත. පසු කාලීන පාලි හා සිංහල පොත්පත් ප්‍රාමාණිකත්වයෙන් සලකා ඇත්තේ මෙකී අටුවා විස්තර යයි. එහෙත් අටුවාචාරීන් වහන්සේලා තුළ වුවද සමහර ලක්ෂණ පිළිබඳ විවිධ මත පැවති බවට උණ්හිස ලක්ෂණය පැහැදිලි කරන ආකාරයෙන් පෙනී යයි.

බුදුන් ගේ සිරුර දකුණු කන්සිළුවෙහි පටන් ගෙන මාංශ පටලයක් උඩ නැගී සියලු නළල වසා ගොස් වම් කන්සිළුවෙහි සිටියේය. රජකුගේ නළල් පටක් මෙනි.

බුදුන්ට හාත්පසින් පිරුණු දියබුබුළක් සෙයින් පිරුණු හිස් ඇත්තේය. මෙසේ නළල් පටින් බඳනා ලද්දක් වැනි වූ ද, දියබුබුළක් වැනි වූ ද, පරිමණ්ඩල වූ ද, හිස් ඇති බව උණහීසසීස නම් වෙයි.

මෙම අර්ථ කථනවලින් එක්තරා ප්‍රමාණයකට බුදුන් වහන්සේ ගේ රූප කායයෙහි මානුෂී ස්වරූපය වැසී යන අවස්ථා පෙනෙන නමුදු ථෙරවාද සම්ප්‍රදාය මහා පුරුෂ සංකල්පය තුලින් ‘බුදුන් වහන්සේ මනුෂ්‍යයෙකි.’ යන්න නිෂ්ප්‍රභා කොට නැත. බුදුන් වහන්සේ අධ්‍යාත්මික පාරිශුද්ධිය අතින් උත්තරීතර භාවයට පත් උතුමකු වීමත් උන්වහන්සේ ගේ පුරාතන පුණ්‍ය මහිමයත් නිසා සාමාන්‍ය පුද්ගලයකු නො ලබන සුවිශේෂ ශාරීරික පරිපූර්ණතාවක් ලබා සිටි බව විවාද කළ යුතු කරුණක් නොවේ.

එහෙත් උන්වහන්සේ කෙරෙහි භක්තියෙන් හා ගෞරවයෙන් හෙබි අනුගාමිකයෝ බුදුන් වහන්සේ ගේ ආධ්‍යාත්මික ගුණයන් පමණක් නොව, බාහිර වූ සියලු ලක්ෂණ ද අසමානතත්වයෙන් ම දැකීමට පි‍්‍රය කළහ. තමන් වහන්සේගේ ශරීරයෙහි සියලු පිළිකුල් කටයුතු දේ ඇතැයි (ඉමිනා පුතිකායෙන) බුදුන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත ද ලෝකෝත්තර වාදීන් බුදු සිරුරේ සියලු දෑ පවිත්‍රය ය, වැනි අදහස් ඉදිරිපත් කිරීම මෙයට හොඳ නිදසුනකි.

පැරණිම බුද්ධ චරිත සංග්‍රහයන් වූ මහා සාංඝිකයන් ගේ ලලිත විස්තර, මහා වස්තු යන සංස්කෘත ග්‍රන්ථවල එන අදහස් මුල් අවධියේ පාලි ග්‍රන්ථවලට බලපාන්නට ඇතැයි අපට සිතිය හැක. අනතුරුව මහායාන නමින් වෙනම සම්ප්‍රදායයක් බිහිවන විට බුද්ධ ශරීරය පිළිබඳ ආකල්පය අමුතුම තත්ත්වයකට පරිවර්තනය විය. ඔවුන් ඉදිරිපත් කළ ත්‍රිකාය සිද්ධාන්තය අනුව බුදුන් වහන්සේ සදාතනික වූ තත්ත්වයකි. නියම බුදුන් වහන්සේට ශරීරයක් නැත. එය ධර්ම කායයි. සත්වයා ගේ යහපත පිණිස සමභෝග කාය හා නිර්මාණ කායෙන් පෙනී සිටිති. මිනිස් ලොවට බුදු වෙසින් පැමිණෙන්නේ නිර්මාණ ශරීරයයි. දෙව්ලොව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිති අනුව්‍යංජන ප්‍රතිමණ්ඩිතව වැඩ සිටින්නේ මහායානයේ ප්‍රභවය තුළින් මහා පුරුෂ ලක්ෂණ දිව්‍යමය ශරීරයක විද්‍යාමාන වූ අංගයන්සේ සැලකූ බවය.

මෙහිදී අවසාන වශයෙන් බුදුන් වහන්සේ ගේ රූප විලාසය පිළිබඳව වැදගත් තැනක් ගන්නා මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ අපට මෙබඳු අදහසක් ඇති කර ගත හැකිය. එනම්, බුදුන් වහන්සේට හිමි වූයේ ද මෙලොව උපත ලබන අන් සැමට මෙන් මනුෂ්‍ය ශරීරයකි. එහෙත් උන් වහන්සේ පුරාකෘත කුසලයන් හේතුවෙන් අන්‍යයනට වඩා දුටුවන් ප්‍රසාද එළවන ආරෝහ පරිනාහ රූප සම්පත්තියකින් යුක්ත වූ බවට කොතෙකුත් සාක්ෂි ඇත. ඒ පුණ්‍ය මහිමයෙන් ප්‍රකට කෙරෙන විශේෂ ලක්ෂණ ශරීරයේ පැවති බව විශ්වාස කළ හැකිය. මෙම ලක්ෂණ තුළින් ප්‍රකට කෙරෙන්නට ඇත්තේ අස්වාභාවීකත්වයක් නොව සියලු අයුරින් පිරිපුන් බවකි. පොත් පත් වල ඇති ලක්ෂණ නාමාවලිය ගැන විවිධ මත පහළ වීමට හේතු වී ඇත්තේ ඒවායේ නියම ස්වරූපය ගැන අනවබෝධය හා විවිධ සංකල්ප සහ සිද්ධාන්ත පදනම් වූ අර්ථ කථනයක් නිසාය.