Print this Article


දැහැමි සමාජයකට මඟ

දැහැමි සමාජයකට මඟ

ඔවුන් එදා දුර දිග බලා ක්‍රියා කළෝ අනාගත දැහැමි ජන සමාජයකට රට යොමු කරවනු පිණිස ය . දේවානම්පියතිස්ස රජුගේ සිට මේ දක්වා එම උත්කෘෂ්ට බලාපොරොත්තුව බොහෝ දුරට සාර්ථක වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. එයට හේතුව? දකුණු ඉන්දියාවේ සහ පෘතුගීසි ලන්දේසි ඉංගී‍්‍රසි ආදීන්ගෙන් ලැබුණ දහසකුත් එකක් තාඩන පීඩනවලට මුහුණ දෙමින් වුව ද මේ දක්වා මේ රට මෙතරමින්වත් දැහැමි තත්ත්වයකින් පැවතීම ප්‍රමුඛ සාක්‍ෂියක් වන නිසා ය

බුදුදහම ලක්දිව ආරම්භවීමට පෙරත්, ඉන් පසුවත් අතිදීර්ඝ කාලයක් පුරා මේ කුඩා රට සදාචාර සම්පන්න දේශයක් වශයෙන් පැවති බව පැරණි දේශාටකයන්ගේ වාර්තාවලින් පැහැදිලි වන්නේ ය. එයට ප්‍රධාන හේතුව වූයේ පෙර අපර දෙදිග සමුද්‍ර ගමන් මාර්ගයක් වූ ස්වේද මාවත ලංකාව හරහා පිහිටීම ය. පෙර අපර දෙදිග රට රාජ්‍යවල ගවේෂකයන්, වෙළෙඳ ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයන් සහ ආගමික ධර්ම දූතයන් ලංකාවට යාම ඊම එයට හේතුව යි. මේ අය අතුරෙන් බොහෝ දෙනා ලක්දිවට ගොඩබැස වෙහෙස මහන්සිය නිවා කියාගෙන ආගන්තුක සත්කාර ද ලබා ගොඩවැදී ගිය පසු අපේ පුංචි රට ගැන ද යමක් ලියා තැබීමට අමතක නොකළහ. එය අපි ලද භාග්‍යයක් සේ සැලකිය හැකි ය. මේ නිසා ම අපටත් පුරාතනයේ සිට පැවත එන සාර්ථක ඉතිහාසයක් ඇතැයි ආඩම්බර විය හැකි ය.

බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වසරක් ඉක්මෙත් ම ධර්මාශෝක පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ වැඩමකරවීමෙන් පසු තරුණ දේවානම්පියතිස්ස රජුගේ ද බුද්ධිමත් චින්තනයට අනුව මෙරට ඇති වු ජාතික, ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් සිදුවූ පරිවර්තනය නම් අතිශය චමත්කාර ජනකය. ධර්මාශෝක පුත්‍ර මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයාණ කෙනෙකුන් වූ, තක්‍ෂිලා නුවර අධ්‍යාපනය නිමකළ පසුව පැවිද්දට පත් මිහිඳු මහරහතන් වහන්සේ සහ පණ්ඩුල බ්‍රාහ්මණ පරපුරෙන් පැවත ආ බමුණු ආචාර්යවරුන් යටතේ රාජ්‍ය ධර්මය හා නීති ශාස්ත්‍රය හදාරා නිම කොට සිටිය තිස්ස නවක රජතුමා ද සමාන අදහස් ඇත්තෝ වූහ. පසුව දේවානම්පියතිස්ස බවට පත් මෙතුමා ඇතුළු එදා මෙරට විසූ ඉහළ ම පෙළේ රාජකීය පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන ලද්දේ - විජය රජතුමාගේ අවසාන කාල පරිච්ඡේදයෙහි දී ලක්දිව පැමිණි නේවාසිකව සිටි – පණ්ඩුල බ්‍රාහ්මණ ආචාර්යවරයාගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පෙළපතට අයත් ඇඳුරන්ගෙනි. දේවානම්පියතිස්ස රජතුමා ද දැන උගත් පුද්ගලයෙක් බවට පත්ව සිටියේ මේ නිසා ය.

භද්දකච්චානා කුමරිය ලක්දිව පැමිණි පඬුවස් දෙව් රජුගේ මෙහෙසිය බවට පත්වීමෙන් පසු ඇගේ සහෝදරවරුන් වූ රාමගෝණ, දීඝායු, අනුරාධ, විජිත , උදේනි,රෝහණ යන සය දෙනා ද මෙහි පැමිණ රට නංවාලීමට ස්වදේශිකයන් සමඟ මිශ්‍ර වූහ. භද්දකච්චානා කුමරියත් මෙකී කුමාරවරු සය දෙනාත් ශුද්ධෝදන මහරජතුමාගේ එක කුස උපත ලද අමිතෝදන රජුගේ පුත්‍ර පණ්ඩුශාක්‍ය රජුගේ ම දරුවෝ වීම ද අසිරිමත් සිද්ධියකි. මේ කුමාරවරුද ඉහත සඳහන් කළ පණ්ඩුල බමුණු පඩිවරයාගේ ශිෂ්‍ය ගණයට වැටෙන රාජකීය ආචාර්යවරයෝ ම වූහ.

නූතන ලංකාවෙහි පැරණි පළාත්වල නම් ගම් ද ඒ ශාක්‍ය කුමරුවන් පාලනය කළ ප්‍රදේශ අනුව ඔවුන්ගේ නමින් ම පැවතගෙන ඒම වටිනා ම සිද්ධියකි. උරුවේල මෙරට උතුරු පළාත ද රාමගෝන කන්තලේ තිරිකුණාමල ප්‍රදේශය ද අනුරාධ කුමරු අනුරාධපුර ප්‍රදේශය ද, විජිත කුමරු විජිතපුරය ප්‍රධාන දඹුලු පුත්තලම් ප්‍රදේශය ද, දිගාමඩුල්ල නොහොත් අම්පාර නැඟෙනහිර ප්‍රදේශය ද, අමිතෝදන රජුගේ බාල ම පුතණුවන් වූ රෝහණ කුමරු - හම්බන්තොට ඇතුළු නූතන රෝහණ ප්‍රදේශයට අයත් දකුණු පළාත ද පාලනය කළහ.

මෙහි දී සිදුවූ පුදුම වාසනාවක් සේ දක්වාලිය හැක්කේ භද්දකච්චායනාව සහ ඉහත සඳහන් පවුලේ ශාක්‍ය කුමාරවරුන් හයදෙනා ද ශාක්‍ය දේශයෙන් පැමිණ ස්වකීය අතිවිශාල ඤාති පිරිසක් සමඟ මෙහි නිත්‍ය පදිංචිකරුවන් වූ යක්‍ෂ ගෝත්‍රික – නාග ගෝත්‍රික - දේව ගෝත්‍රික – විජය සමඟ පැමිණි සිංහ ගෝත්‍රික පිරිසක් සමඟ සහසම්බන්ධතාවයන් තහවුරු කරගෙන - ශක්තිමත් කරගෙන ඔවුනොවුන් පි‍්‍රය මනාප අයුරින් වාසය කිරීමට හුරු පුරුදු වීම යි. එය පැහැදිලි වන්නේ දෙතුන්සිය වසරක් පමණ වූ කාලය පුරා මෙරට ගෝත්‍රික සටන් ඇතිවුණ බවට ලකුණක් ද නැති බැවිනි. එහෙත් කුවේණියගේ උපදෙස් පරිදි යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ ලංකාපුර පැවති මංගල සාදයක දී විජය ඇතුළු පිරිස රාජ්‍ය අල්ලා ගැනීමේ දී සිදුවූ ඝාතනය නම් සඳහන් නොකරම බැරි ය.

මෙයින් පැහැදිලි වන්නේ මහියංගණ ප්‍රදේශයෙහි සහ උතුරුමැද ප්‍රදේශයෙහි පිහිටි ඉපැරණි රාවණා රජුගේ පළාතට අයත්වන යක්‍ෂ ගෝත්‍රික ජනතාවත් ලක්දිව බටහිර මුහුද ඇසුරු කරගෙන නාගදීපය සහ කැලණිය රාජධානි වශයෙන් පිහිටුවාගෙන විසූ - චූලෝදර මහෝදර රජවරුන්ට අයත් වන නාග ගෝත්‍රික ජනතාවත් කඳුකරයේ විසූ සුමන දේව ආදී ගෝත්‍රිකයන් ප්‍රධාන කොට ගත් දේව වාර්ගික ජනතාවත් විජය කුමරු සමඟ පැමිණි රාජ්‍ය බලය අල්ලාගත් සිංහ ගෝත්‍රික ජනතාවත්, ශාක්‍ය වංශික ජනතාවත්, මෙහි එකමුතුව රටේ සංවර්ධනයට සහ සදාචාරයට යොමුකරවමින් මිහිඳු මහරහතන් වහන්සේත් දේවානම්පියතිස්ස මහ රජතුමාත් සාමුහිකව ජීවත්වීමට කරුණු කාරණා නිසි පරිදි යෙදූ බව ය.

මේ සමඟ ම ධර්මාශෝක මහ රජතුමන් විසින් ජය ශ්‍රී මහා බෝධියත් සමඟ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් – කර්මාන්ත පරපුරවලට අයත් ජනතාවත් මෙරටට එවන ලද බව අමතක නො කළ යුතුය. බෝධි ගත්ත වංශයට අයත් ජය ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරනු පිණිස විවිධ තරාතිරමේ රාජකාරි පවුල්වලට අයත් ඇත්තෝ ද මේ ජන කොටස් සමඟ මිශ්‍ර වූහ. වාද විවාද ඇතිකර නොගත්හ. එවැනි කිසිම ගැටුමක් නොවන පරිදි මිහිඳු මහරහතන් වහන්සේත්, දේවානම්පියතිස්ස මහා රාජයාත් – ඒ දෙපළගේ ප්‍රමුඛ අනුගාමික පිරිසත් කෙතරම් බුද්ධිමත්ව රාජ්‍ය විචාරණ ලදදැයි යන්න මෙයින් පැහැදිලි වන්නේ ය.

ඔවුන් එදා දුර දිග බලා ක්‍රියා කළෝ අනාගත දැහැමි ජන සමාජයකට රට යොමු කරවනු පිණිස ය .දේවානම්පියතිස්ස රජුගේ සිට මේ දක්වා එම උත්කෘෂ්ට බලාපොරොත්තුව බොහෝ දුරට සාර්ථක වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. එයට හේතුව? දකුණු ඉන්දියාවේ සහ පෘතුගීසි - ලන්දේසි ඉංගී‍්‍රසි ආදීන්ගෙන් ලැබුණ දහසකුත් එකක් තාඩන පීඩනවලට මුහුණ දෙමින් වුවද මේ දක්වා මේ රට මෙතරමින්වත් දැහැමි තත්ත්වයකින් පැවතීම ප්‍රමුඛ සාක්‍ෂියක් වන නිසා ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළ දුරුතු පුර පසළොස්වක් පොහොය යෙදෙන මේ වකවානුවේ දී සිංහල ජාතිය සහ බුදුදහම එකට බැඳී පැවතීමේ සවිමත් බව දැකිය හැකි කරුණක් වශයෙන් අද ද පෙනෙන බැවිනි. විද්‍යාත්මක ලෝකයත් සමඟ ඉදිරියට යන අපි එදා සහ අද සංසන්දනය කර බලන විට බොහෝ දුරට දියුණුවට පත්වී ඇත ද සදාචාර වර්ධනය ගැන නම් කිසිසේත් ම සෑහීමකට පත්විය නොහේ. ඒ අඩුව සපුරා ගැනීමට යත්න දැරීම බුදුරදුන් මහියංගණයට වැඩම කළ දුරුතු මාසය වඩාත්ම වටනේ ය.