Print this Article


වනවාසී රාහුල හිමියන්ගේ කැපවීමෙන් ජාතික නාමල් උයන රටම හඳුනා ගත්තා

වනවාසී රාහුල හිමියන්ගේ කැපවීමෙන් ජාතික නාමල් උයන රටම හඳුනා ගත්තා

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්

ජාතික නාමල් උයන සහිත රෝස තිරුවානා කඳුවැටිය ජාතියට හඳුන්වා දී මතුර පරපුර සඳහා රැක දුන් නිසා අප කොයි කාටත් මෙහි ඇති ස්වභාව සෞන්දර්ය දැක ගන්නත් විඳගන්නත් සුළු මොහොතකට හෝ තමන් තුළ කිසියම් ආධ්‍යාත්මික ශක්තියක් මෙන්ම ගතට සිතට සැනසීමක් ලබාගන්න හැකි වී ඇත්තේ මෙහි නිර්මාතෘ අපේ වනවාසී රාහුල හිමියන්ගේ උත්සාහය, කැපවීම, හා අධිෂ්ඨානයත් විශේෂයෙන් අවංකව, එඩිතරව ක්‍රියා කිරීමේ හැකියාව නිසා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා පැවසීය.


ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත් මහතා ජාතික නාමල් උයනේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසින් ඒ මහතා පිළිගෙන නිරික්ෂණය සඳහා කැඳවාගෙන ගිය අයුරු. එම අවස්ථාවට නියෝජ්‍ය මහා භාරකාරතුමා ඇතුළු රජයේ උසස් නිලධාරිහු කිහිප පළක්ද සහභාගි වූහ.

ඒ මහතා එසේ පැවසුවේ ජාතික නාමල් උයනේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සදහා පැමිණි නිරීක්‍ෂණ චාරිකාවේ දීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මම මීට වසර විස්සකට ප්‍රථම රාහුල හාමුදුරුවෝ පිළිබඳවත්, නාමල් උයන පිළිබඳවත් දැනගෙන හිටියා. නමුත් අවිවේකී බව නිසාවෙන් මේ සුන්දර පින් බිමට එන්නට හැකියාවක් ලැබුණේ නෑ. අද මෙහි පැමිණ මෙය සියැසින් දැකගත්විට මට කනගාටුවක් දැනුණ මෙතනට එන්න මම ප්‍රමාද වුණා වැඩියි කියලා.

වනවාසී රාහුල හාමුදුරුවෝ කියන්නේ මේ පුංචි ලස්සන රටේ සුවිශේෂී භික්ෂු චරිතයක්. උන් වහන්සේ අන් අය සතුටු කරන්නට කටයුතු කරනවාට වඩා තමන් හරි දේ කරලා සතුටු වෙන කෙනෙක් හැටියටයි මම දකින්නේ. මාගේ පෞද්ගලික විශ්වාසයත්, ලෝකයේ සියලු දෙනා සතුටු කරන්නට නොහැකි බවත් තමන් කරන දේ නිවැරදිව කළහොත් හැමදෙනාම සතුටු කරන්නට හැකිවේවි කියලා මා විශ්වාස කරන සනාථන දහමත් එයයි.

මට පුදුම හිතුණා මේ අක්කර දෙදහස් පන්සියයක් පමණ වූ මේ භූමිය තුළ ඇති ගහකොළ , සතා සිව්පාවා නිරුපද්‍රිතව ආරක්‍ෂා වී තිබීම ගැන. එයට ප්‍රධානම හේතුව තමයි වනවාසී රාහුල හාමුදුරුවෝ මේ වනස්පෙතියට නොපැමිණියා නම් කිසිවෙකුටත් අද මෙය දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම මේ රටේ සියලු දෙනා කිසිදු ජාති,ආගම් භේදයකින් තොරව මෙම ස්ථානයට දරු මල්ලන් සමග පැමිණ දැක බලා ගත යුතු ස්ථානයක් මෙන්ම මම අද දැක්කා .මේ පාසල් නිවාඩු සමයේ සිංහල, දෙමළ හා මුස්ලිම් සහෝදර ජනතාව මේ ස්ථානයට විශාල වශයෙන් නරඹන්නට එන බව. ඒ ඉතා හොඳ සිදුවීමක්. නාමල් උයන තුළින් අපේ රටේ සංචාරක ව්‍යාපාරයටද විශාල වශයෙන් පිටුවහලක් වෙනවා. එයත් වැදගත්.

විවිධ පුද්ගලයින් අද කරන යම් යම් ක්‍රියා දෙස බැලීමේදී බොහෝ අය තමන් ජනපි‍්‍රයත්වයට පත්වීම අරමුණු කරගෙන කරන වැඩසටහන් තමයි සමාජයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ. එහි වෙනසක් මම නාමල් උයනේ දී දැක්කා. අද වන විට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හොඳ ප්‍රසිද්ධියක් නාමල් උයනට ලැබිලා තියෙනවා. එය රාහුල හාමුදුරුවෝ ප්‍රායෝගිකව රටට යමක් කරලයි ඒ තත්ත්වයට පත් වී තිබෙන්නේ. ඒ සඳහා දායක වන මේ රටේ සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සිදු කරන තවත් එක් වැදගත් ජාතික මෙහෙවරක් හැටියටත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

අප නිතරම කාර්ය බහුලව ජීවත්වන මිනිසුන්, නමුත් මෙතනට ආ විට ඇතිවුන මානසික සතුට හා සැනසිල්ල කෙනෙකුගේ මුදල් වලින් මිල කරන්න බැහැ. මේ ස්ථානයේ අධ්‍යාපනික වශයෙන් ගොඩක් දේ දරුවන්ට හා වැඩිමහල් අයට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මේ ජාතික සම්පත මේ ආකාරයෙන්ම මතු පරපුර සඳහා ආරක්ෂා කර තැබීම අප කාගේත් වගකීමක් සේ සලකනවා.එම අවස්ථාවට නියෝජ්‍ය මහාභාරකාරතුමා සමග රජයේ උසස් නිලධාරිහු කීප පළක්ද සහභාගි වූහ.