Print this Article


99 වැනි වියට පා තබන දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි

99 වැනි වියට පා තබන දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි

අධ්‍යාපන ක්‍රියාවලියෙහි නිරතවෙමින් අනතුරුව දවුල්දෙන ඤාණිස්සර හාමුදුරුවෝ විද්‍යෝදය මහ පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්ව ස්වකීය අධ්‍යාපනයෙන් තමන් වහන්සේ ලත් දැනුම් සම්භාරය ප්‍රදානය කිරීමට එක්වූහ. ඒ අනුව විද්‍යෝදය පිරිවෙනෙහි සංස්කෘත, භාෂාව පිළිබඳ ආචාර්ය ධූරයට පත් වූ දවුල්දෙන ඤාණිස්සර හාමුදුරුවෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය ආයතනය ආරම්භ කිරීමේදී එහි කථිකාචාර්ය ධූරයකින් ද පිදුම් ලැබූහ

සම්බුදු සසුනේ චිරස්තිථිය පතා ජීවිතය කැප කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකු වන නුගේගොඩ පාගොඩ විද්‍යා විජයාරාමාධිපති සංස්කෘත චක්‍රවර්ති, භාෂාන්තර විශාරද ජිනසාසන කීර්ති ශ්‍රී දෛවිභාෂා විශාරද, ග්‍රන්ථ විශාරද ,රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 99 වන ජන්ම දිනය 2013 දෙසැම්බර් 31 වනදාට යෙදී තිබිණි.

අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයක් හිමිකර ගත් සංඝශෝභන ගුණයෙන්, අනූන දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අති උදාර ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක යෙදෙන සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.

ඌව පරණගම දවුල්දෙන ග්‍රාමයේදී ආලෝක මුදියන්සේලාගේ කෞරාල හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ දම්පතීන් වෙත 1915 දෙසැම්බර් 31 වනදා පින්වත් පුත්රුවනක් ලැබිණ.

එම පින්බර පුත්රුවන වෙත නිසි වියේදී මූලික අකුරු කරවූහ.

සපුගොල්ල තපෝධනාරාම මූල මහා විහාරාධිපති ඌමැලේ පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ඌමැලේ සිරි පඤ්ඤානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් එම කුමරුවා 1930 මාර්තු 30 වනදා සම්බුදු සසුන් කෙතට ඇතුළත් වූයේ දවුල්දෙන ඤාණිස්සර හිමි නාමයෙනි.

සසුන් වත් පුරමින් පැවිදි අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ අතර ඒ සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් විය.

විද්‍යෝදය මහ පිරිවෙනේ දීප්තිමත් ආදිශිෂ්‍යයෙකු වන දවුල්දෙන ඤාණිස්සර හාමුදුරුවෝ සිංහල, පාලි, සංස්කෘත, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා ශාස්ත්‍රයන්හි මෙන්ම ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් පෘථුල ඤාණ සම්භාරයක් උන්වහන්සේ එහිදී හිමිකර ගනු ලැබූහ.

විද්‍යෝදය පිරිවෙනෙහි දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ස්‍යාමරාජ ත්‍යාගයද ලබාගත් උන්වහන්සේ එහිදී තවත් ත්‍යාග රැසක් හිමිකර ගැනීමෙන් උන්වහනසේගේ පාණ්ඩිත්‍ය ප්‍රකට කළහ. රාජකීය පණ්ඩිත උපාධියද හිමිකර ගත් උන්වහන්සේ මෙරට වැඩ සිටින අග්‍රගණ්‍ය පඬිරුවනකි. විද්‍යෝදය මහ පිරිවෙනේ දී අධ්‍යාපනය ලබන ලද කාලය තුළ දී උන්වහන්සේට මෙරට වැඩ සිටි ධර්ම විනයධර මහ පඬිවරුන් වහන්සේ රැසක් යටතේ ධර්ම ශාස්ත්‍ර හැදෑරීමේ වාසනාවද උදාවූහ.

අධ්‍යාපන ක්‍රියාවලියෙහි නිරතවෙමින් අනතුරුව දවුල්දෙන ඤාණිස්සර හාමුදුරුවෝ විද්‍යෝදය මහ පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්ව ස්වකීය අධ්‍යාපනයෙන් තමන් වහන්සේ ලත් දැනුම් සම්භාරය ප්‍රදානය කිරීමට එක්වූහ. ඒ අනුව විද්‍යෝදය පිරිවෙනෙහි සංස්කෘත, භාෂාව පිළිබඳ ආචාර්ය ධූරයට පත් වූ දවුල්දෙන ඤාණිස්සර හාමුදුරුවෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය ආයතනය ආරම්භ කිරීමේදී එහි කථිකාචාර්ය ධූරයකින් ද පිදුම් ලැබූහ.

තායිවානයේ ලිං සොං සහ චුන්හුවා යන විශ්ව විද්‍යාලයන් හිද දිගුකලක් කථිකාචාර්යවරයෙකු ලෙස අධ්‍යාපන සේවාවෙහි අනුග්‍රහය දැක්වූ දවුල්දෙන ඤාණිස්සර හාමුදුරුවෝ හැම විට කාරුණික වූහ.ඇසුරු කරන සියලු දෙනා උන්වහන්සේට දක්වනුයේ මහත් ගෞරවයකි. නිහතමානි ගුණයෙන් හෙබි උන්වහන්සේ හැම විට ආදර්ශවත් පැවිදි දිවියක් ගත කරති.

ථෙරවාදී සම්බුදු දහම ව්‍යාප්ත කරනු වස් ලොව රටවල් රැසකට වැඩම කරවා ඇති දවුල්දෙන ඤාණිස්සර නායක හාමුදුරුවෝ ශාසනික සහ සාමාජික සේවාවන් රැසකද ඉතා නිහඬව නිරත වූහ.

ත්‍රිපිටක දහම පිළිබඳවත් ශබ්ද ශාස්ත්‍ර ආදිය සඳහාත් උන්වහන්සේ ලබා ඇති නිපුණත්වයට දේශීය හා විදේශීය වශයෙන් විවිධ උපහාරවලින් උන්වහන්සේ පිදුම් ලැබූහ.

මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනින් සුමංගල විද්‍යාවතංස උපාධියත්, ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් ග්‍රන්ථ විශාරද උපාධියත් අමරපුර මහා සංඝ සභාවෙන් භාෂාන්තර විශාරද ජින ශාසන කීර්ති ශ්‍රීනාමයද ශ්‍රී රෝහණ සංඝ සභාවෙන් දෛවිභාෂා විශාරද නාමයද උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවෙන් ත්‍රිපිටකාචාර්ය හා මහෝපාධ්‍යාය යන ගෞරව සම්මානයන්ගෙන් හා උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක ධූරයෙන්ද දවුල්දෙන ඤාණිස්සර නායක හාමුදුරුවෝ පිදුම් ලැබූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයද හෙබවූ උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන්ද දවුල්දෙන ඤාණිස්සර මහානායක හාමුදුරුවෝ පිදුම් ලැබූහ. මියෙන්මාර් රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන්ද පිදුම් ලැබූහ.

අධ්‍යාපනික ශාස්ත්‍රිය ආගමික ,ශාසනික සාමාජික සුවිසල් මෙහෙවරක නිරතව වැඩ සිටින දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 99වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා දෙසැම්බර් 30වන දා සහ 31 වන දා පින්කම් මාලාවක් නුගේගොඩ පාගොඩ පාරේ ශ්‍රී විද්‍යා විජයාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

සියලු පින් බෙලෙන් දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ වඩන්නට තෙරුවන් බෙලෙන් කායික මානසික ශක්තිය උදාවේවායි පතමින් බුදුසරණ’ ආශිර්වාදය ද පළකරමු.