Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ තරුණ යුවළක් විඩාපත් ව, කුඹුරු ගොවිතැනින් හා විවාහ ජීවිතයෙන් ද සමුගෙන බුදුරදුන් වෙතින් පැවිදි බව ලැබූහ. පසුකලෙක රහත් ඵලයට පත්ව ධෘතවාදී ශ්‍රාවකවරුන් අතර අග තනතුරු ලත් ශ්‍රාවකයාණෝ කවරෙක්ද?

පිළිතුර :- මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

ප්‍රශ්නය :- මේ ප්‍රකාශය කවුරුන් විසින් කාහට කියන ලද්දක් ද? “මේ ශ්‍රමණයා ඍද්ධි සම්පන්නයෙකි. එහෙත් මා මෙන් රහතෙක් නම් නොවේ”

පිළිතුර - උරුවෙල කාශ්‍යප ගේ නිවහනේ දී උරුවෙල කාශ්‍යප විසින් බුදුරජාණන් වහන්සේට කළ ප්‍රකාශයකි.

ප්‍රශ්නය :- උග්ග නම් තැනැත්තකු විසින් පතිකුලයට යන දූවරුන්ට ඔහුගේ අයැදීමෙන් බුදුරජාණන් වහන්සේ විසින් දුන් අවවාද 05 ක් බෞද්ධ පොත්පත්වල එයි. ඒ මොනවාද? පැහැදිලි කරන්න.

පිළිතුර – පුබ්බට්ඨායිනි සැමට පළමු අලුයම නැගී සිටිය යුතුය. පච්ඡානිපාතිනි සියල්ල සොයාබලා සැමට පසුව නින්දට යා යුතුය. කිංකාර පටිස්සාවිනී කටයුතු සියල්ල ස්වාමියා ගේ අනුමැතියෙන් ම සිදුවිය යුතුය. මනාපවාරිණී සිය හිමි ඇතුළු සියල්ලන්ගේම පි‍්‍රයශීලි බවට පත්විය යුතුය. පියාවාදිනී ජනපි‍්‍රයතාවය දනවන සුළු වචනයෙන් සියල්ලට කථා කළ යුතුය.

ප්‍රශ්නය :- බෞද්ධයකුගේ පරම නිෂ්ඨාව නිවන සාක්‍ෂාත් කිරීමයි. එම උපරිම ඉලක්කය සපුරා ගැනීම සඳහා මූලික සුදුසුකම් රැසක් සහිතව අනුපූර්ව ශික්‍ෂා මාර්ගයක් අනුපූර්ණ ප්‍රතිපදාව නමින්ද සඳහන්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර :- ශීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාවයි. එයම ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වෙන්කොට ඇත.

ප්‍රශ්නය :- උතුම් හැසිරීම , සාධුචර්යා, දිව්‍යමය ගුණාංග යන විවිධ අරුතින්ද පාලියෙන් බ්‍රහ්ම විහාර (බ්‍රහ්ම විහරණ) වශයෙන්ද හඳුන්වන උතුම් මිනිසෙකු තුළ පැවැතිය යුතු සිව්ගුණ මොනවාද?

පිළිතුර– මෙත්තා, ද්වේෂය, දුර්ගුණය පරදවන සත් ගුණය, කරුණා, හිංසාව දුර්ගුණය පරදවන සද්ගුණය, මුදිතා, ඊර්ෂ්‍යාව නම් දුර්ගුණය පරදවන සද්ගුණය ,උපේක්ඛා (උපේක්‍ෂාව) අභිරතියත් ,ව්‍යාපාදයත් පිටුදකින සද්ගුණය.

ප්‍රශ්නය :- පරමාර්ථ සත්‍යාධිගමය සඳහා ශ්‍රාවකයා ගේ රුචිය පරිදි ;තීරා ගත හැකි බෝධි තුනක් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත.මේ බෝධි තුන කුමක්ද?

පිළිතුර :- සාවක බෝධි, පච්චේක බෝධි, සම්මා සම්බෝධි, සාවක බෝධි නම්, බුද්ධ ශ්‍රාවකයකු ලබන සත්‍යාවබෝධයයි. පටාචාරාව ඇයගේ සියලුම ආදරණීයයන් අහිමිව ශෝකාතුරව සිටිය දී පා සේදූ ජලය ගලා යනු බලා සිට රහත් වූවාය. කිසාගෝතමී පහනක් නිවී යනු බලා රහත් වූවාය.

පච්චෙක බෝධිය නම් (පසේ බුදු බව) ඉතා දියුණූ මනසක් ඇති පුද්ගලයා විසින් කිසිවෙකුගේ උපදේශයක් අපේක්‍ෂා නොකර ස්වශක්තියෙන් බුද්ධත්වය ලබා ගැනීමයි. පච්චෙක යන විශේෂ නාමයකින් හඳුන්වනු ලබන්නේ තමන් අවබෝධ කරගත් ගැඹුරු දර්ශනය අන් අයට අවබෝධ කරලීමේ ශක්තිය නැති නිසාය. එහෙත් උන්වහන්සේ සදාචාරාත්මක උපදේශ උගන්වති.

සම්මා සම්බෝධිය නම් උසස්ම ආධ්‍යාත්මික දියුණුවක් ලත් බුද්ධත්වයයි. සම්මා සම්බුද්ධ යන්නෙහි අර්ථය අතපත්ත පරිපූර්ණ බුද්ධත්වයයි.

ප්‍රශ්නය:- විමුක්තිකාමී යෝගාවචරයා නිර්වාණය මුලින්ම සාක්‍ෂාත් කරන විට ඔහු ධර්මයෙහි හඳුන්වන්නේ සොතාපන්න හෙවත් නිවන වෙත යොමු වූ දිය දහරට ප්‍රථම වරට පිවිසි තැනැත්තකු ලෙසිනි. ඒ හා සමඟම ඔහු සසරට බැඳ තබන සංයෝජන හෙවත් බන්ධන තුනක් සිඳ දමයි. ඒ මොනවාද?

පිළිතුර :- සක්කාය දිට්ඨි සදාකාලික ආත්මයක් ඇතැයි යන දෘෂ්ඨිය විචිකිච්චා , සැකය බුද්ධාදී අටතැන්හි පවත්නා සැකය, සීලබ්බත පරාමාස වැරැදි චාරිත්‍රවිධි හා වත් පිළිවෙත් ආදිය වෙත යොමුවීම

ප්‍රශ්නය :- පංච නීවරණ ධර්මයන්ගෙන් එකකි. ථීනමිද්ධය, ධර්මානුකූල ව විවරණයක් කරන්න.

පිළිතුර – ථීන මිද්ධ, ථීනය අලස බව කියවේ. මනසෙහි ගිලන් දුබල උදාසීන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මිද්ධය චෛතසිකයන්හි ගිලන් දුබල උදාසීන අවස්ථාවක් ලෙස සැලකේ.

ප්‍රශ්නය :- ‘නිබ්බාණ’ යන පාලි වචනයෙහි අර්ථය ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර :- මෙම වචනය සකස් වී ඇතතේ නි පූර්ව වාණ යන්න එකතුවෙනි. නියනු නිෂේධාර්ය (වැළැක්වීම,වෙන්වීම) උපසර්ග පදයෙකි. ‘වාණ’ යන්නෙහ අර්ථය ගෙතීම හෙවත් තෘෂ්ණාව යන්නය. මෙම තෘෂ්ණාව එක් ජන්මයක් හා තවත් ජන්මයක් අතර බන්ධනයක් සේ ක්‍රියා කරයි. ‘වාණ’ නම් වූ තෘෂ්ණාවෙන් වෙන්වීම ඉවත්වීම යන අර්ථයෙන් එයට නිබ්බාණ යැයි කියනු ලැබේ.

ප්‍රශ්නය – අපරාපරිය වෙදනීය කර්මය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර :- මෙම කර්මවලින් වළකින්නට කිසිවෙකුට නොහැකිය. බුදුපාමොක් රහතන් වහන්සේට පවා මෙම කර්මයෙන් විපාක විඳීමට සිදුවෙයි. මුගලන් මහ රහතන් වහන්සේ සොරුන්ගේ පහරට ලක්වීම හා නිගන්ඨ ශ්‍රාවිකාව ඝාතනය කළේ යැයි බුදුරජාණන් වහන්සේ සැක කිරීම නිදසුන්ය.

ප්‍රශ්නය :- තෘෂ්ණාව හේතු කොට ගෙන උපාදාන හෙවත් දැඩිව අල්වා ගැනීම ඇතිවෙයි. මෙබඳු උපාදාන 04 ක් ධර්මයෙහි සඳහන්වෙයි. ඒ මොනවාද? පැහැදිලි කරන්න.

පිළිතුර – කාම උපාදාන කාමවස්තුන් කෙරෙහි දැඩිව අල්වා ගැනීම, දිට්ඨි උපාදාන, වැරැදි විශ්වාස කෙරෙහි දැඩිව අල්වා ගැනීම, සීලබ්බත උපාදාන , ශීල හා ව්‍රත කොටස කෙරෙහි දැඩිව අල්වා ගැනීම,අන්තවාද උපාදාන ,ආත්ම දෘෂ්ඨිය කෙරෙහි දැඩිව අල්වා ගැනීම

ප්‍රශ්නය :- බුදු දහමට අනුව මරණය පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර :- මරණය බුදුදහමට අනුව එක් පුද්ගල පැවැත්මක නාම රූපී පැවැත්ම නැවැත්මයි. ආයු හෙවත් ජීවිතින්ද්‍රිය උස්මාඋෂ්ණය විඤ්ඤාණ සිත යන මේවා නැතිව යාමය.

ප්‍රශ්නය - සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක මේ ධර්මදූත කණ්ඩායමක දෙදෙනෙකි. පැහැදිලි කරන්න.

පිළිතුර :- දඹදිව ආශෝක යුගයේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පිටත් කළ ධර්මදූත පිරිස් නවයෙකි.

ශ්‍රී‍්‍ර ලංකාවේ දේවානම්පියතිස්ස යුගයේ මහින්ද මහරහතන් වහන්සේ සමඟ සපැමිණි ධර්මදූත පිරිසේ ඇතුළත් වූ එකම සාමණේර නම සුමන සාමණේරයන් වහන්සේ වන අතර භණ්ඩුක උපාසක එකම ගෘහස්ථයා විය. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල , අනෙක් සිව් නමයි.