Print this Article


හේතු ඵල දහම හඳුනා ගනිමු

 

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සො
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවො
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ
දොමනස්සුපායාසා සම්භවන්ති. එව මෙතස්ස කෙවලස්ස
දුක්ඛක්ඛන්ධස්ස සමුදයොහොති.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ඉහත සඳහන් කළේ පටිච්ච සමුප්පාදය නම් වූ හේතු ඵල දහමයි. අවිද්‍යාව ඇතිකල්හි සංඛාර ඇත. සංඛාර ඇති කල්හි විඤ්ඤාණය ඇත. විඤ්ඤාණය ඇති කල්හි නාම රූප ඇත. නාම රූප ඇති කල්හි ආයතන හය ඇත. ආයතන හය ඇති කල්හි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත. විඳීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්හි උපාදානය ඇත. උපාදානය ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්හි ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදී වූ සියලුම දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.

ගින්න නිසා දුම ඇතිවන්නාක් මෙන් ද, ගස නිසා ගෙඩිය ඇතිවන්නාක් මෙන්ද, තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇතිවන්නට හේතුවන්නාවූ මෙම හේතුඵල දහම පටිච්ච සමුප්පාදයයි.

දිනක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මෙම පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරු වූවත් මට එය පහසුවෙන් වටහා ගත හැකි දෙයක් ලෙස පෙනෙනවා. එය ඓශ්චර්යයක්.” යනුවෙන් ප්‍රකාශ කළ සේක. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ, “මා හෙවං ආනන්ද අවච, මාහෙවං ආනන්ද අවච” “ ආනන්ද එසේ කියන්න එපා. ආනන්ද එසේ කියන්න එපා.” යනුවෙන් දෙවරක්ම වළක්වා “ආනන්ද මේ පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරුයි. මේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි සත්වයෝ සසර පුරාම දුගතියේම සැරිසරනවා” යැයි දේශනා කොට වදාළ සේක.

පටිච්චසමුප්පාදය යනු හේතුඵල ධර්මයකි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනය හේතුඵල දහමකි. “යේ ධම්මා හේතුප්පභවා” යනුවෙන් අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළේ බුදුදහම මුළුමනින්ම කැටිකර දැක්වීමකි.

සත්ව ශරීර රුධිරයෙන් සමන්විත බව අපි දනිමු. එම රුධිරය නමැති ඵලය ඇතිවීමට හේතු කාරකයන් බොහෝ ගැබ්ව ඇත. රුධිරය සෑදීමට ආහාර අවශ්‍යයි. ආහාර සෑදීමට ශාක අවශ්‍යයි. ශාක සෑදීමට පස්, ජලය, හිරු එළිය සහ වාතාශ්‍රය අවශ්‍යයි. එසේනම් රුධිරය නම් වූ සතර මහා ධාතු සංකලනය තුළ ඇත්තේ පස්, ජලය, ගිනි, සුළංය. එසේනම් මෙම ශරීරය සෑදී ඇත්තේ සතර මහා ධාතූන්ගේ සංකලනයකින් බව අවබෝධ නොවන්නේ අවිද්‍යාව නිසාය. මරණයෙන් පසු පොළොවේ පස්ගොඩටම එකතුවන ශරීරය නමැති පස්ගොඩ ‘මම’ යනුවෙන් අල්ලා ගැනීම නිසා ජරා, ව්‍යාධි මරණ ආදියට හා ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සුපායාසා ආදියට පත්වේ. අවිද්‍යාව තිබෙනතුරු මෙය අවබෝධ කිරීම අපහසුයි. පටිච්ච සමුප්පාදය ඉතාම ගැඹුරු බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම නිසයි. පෘතග්ජන පුද්ගලයා අවිද්‍යාව නිසා රාග ද්වේශ, මෝහ, ගිනිදැල්වලින් වට වී සිටියි. බුදුරජාණන් වහන්සේ “සබ්බෙ පුථුජ්ජනා උන්මත්තකා” යනුවෙන් දේශනා කළේ එම නිසයි. උමතුවෙන් සිටින අයට මෙය තෝරා බේරා ගැනීම අපහසුයි.

සියලු සංසාරගත සත්වයෝ මහලුවීම, ලෙඩවීම, මරණය, ශෝක වීම, වැළැපීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් සමඟ එක්වීම ආදී අනේක දුක්ඛයන්ට පත්වෙති. මෙයට හේතුව නොදන්නා තැනැත්තා ලෙඩදුක් සෑදීම ආදිය හුදෙක් සෘතු විපර්යාසය සහ ආහාරයේ බලපෑම ආදිය නිසා සිදුවන බවට හේතුදක්වයි. තමන් දකින දෙය තුළින්ම නිගමනයට පැමිණෙන මෙම පුද්ගලයා මෝහයට නැතහොත් මුළාවට පත් වූ අයකු ලෙස හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සියලු දුකට හේතුව ඉපදීම බවයි. මෙම ඉපදීම නිසා ඇතිවන දුක නැතිකිරීමට යා යුතු නියම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව උන්වහන්සේ අවබෝධ කළ සේක.

ඉපදීම නමැති ඵලය ඇතිවීමට හේතුව සෙවීමේ දී බුදුන් වහන්සේ දුටුවේ ඉපදීමට හේතුව කර්ම එක් රැස් කරමින් භවය සකස් කිරීම බවයි. සත්වයන් උපදින ස්ථාන වශයෙන් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, සදෙව්ලොව, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක ආදිය උන්වහන්සේගේ බුදු ඇසට දර්ශනය විය. මෙසේ භවය සකස් වන්නේ කුමක් හේතු කොටගෙන දැයි සොයා බැලීමේ දී භවය සකස්වන්නේ දැඩිලෙස ඇලුම්කිරීම, නැතහොත් බැඳීම, ග්‍රහණය කර ගැනීම නිසා බව පෙනුණි. මෙය උපාදාන කරගැනීමයි.

ක්‍රම සතරකට උපාදානය හටගනී. කාමයන්ට ආශාවන්ට තදින් බැඳිම කාම උපාදානය වශයෙන් හඳුන්වයි. තෘෂ්ණාව මෙයට ප්‍රධානවශයෙන් හේතු වෙයි. නොයෙක් දෘෂ්ටිවලට තදින් බැඳීම දිට්ඨි උපාදානය ලෙස හැඳින්වෙයි. ‘අන්ඒවා හිස්ය, මෙයම පරම සත්‍යයයි’ දැඩිකොට ගන්නාවූ සකල දෘෂ්ටින් දිට්ඨි උපාදානයයි. නොයෙක් ව්‍රතයන්ට බැඳීම සීලබ්බත උපාදානයයි. සසර දුකින් අත්මිදීමට නිර්වාණය සඳහා සත්‍ය මාර්ගය පෙන්වා දුන් තථාගතයාණන් වහන්සේගේ ධර්මය නොදත් අය ගවයන්මෙන් සතර පයෙන් ඇවිදිමින් ගෝව්‍රතය රකිති. සුනඛයන් මෙන් කුක්කුර ව්‍රතය රකිති. මෙසේ ශරීරයට දුක් දෙමින් දිව්‍ය ආත්ම, බ්‍රහ්මආත්ම ලැබීමට නොයෙක් වැරැදි ව්‍රත රකිති. අවිද්‍යාව නිසා මේ පිරිස් දුගතිගාමි වෙති. මමය, මාගේය, මගේ ආත්මය වශයෙන් බැඳී සිටීම අත්තවාද උපාදානයයි. සිතීම, කතාකිරීම, ක්‍රියා කිරීම ආදියෙන් සිත කය දෙකට අධිපතිකම් කරමින් එක් එක් සන්තානයක් පාසා පවතින්නා වූ ආත්මයක් ඇතැයි දැඩිව ගැනීම අත්තවාද උපාදානයයි. යමක් ග්‍රහණය කළේ නම් එම ග්‍රහණයෙන් මිදීමට ග්‍රහණයට හේතුව සොයා එය නැති කළ යුතුයි. කාම, රූප, අරූප භවයන් ඇතිවීමට හේතුවන්නේ මෙම ග්‍රහණයයි. නැතහොත් උපාදානයයි.

මෙම උපාදානයට හේතුවන්නේ තෘෂ්ණාවයි.එනම් ආශාවයි. මෙය කාම, භව, විභව වශයෙන් ආකාර තුනකි. තෘෂ්ණාවට හේතුවන්නේ විඳීමයි. එය සැප, දුක් හා මධ්‍යස්ථ වශයෙන් තෙවැදෑරුම් වෙයි. ස්පර්ශයට හේතුවන්නේ ආයතනයි. ඇසෙන් රූපද, කනෙන් ශබ්දද, නාසයෙන් ගන්ධද, දිවෙන් රසද, ශරීරයෙන් ස්පර්ශයද, මනැසෙන් අරමුණු ද ස්පර්ශ කරයි. මෙම ආයතන හය ඇති කරන්නේ නාම – රූපයි. නාම රූපයන්ගේ එකතුවක් වන පංචස්කන්ධය යළි යළිත් හටගන්නේ අවිද්‍යාව නිසයි. එනම් මුළාව නිසයි. චතුරාර්ය සත්‍යය නොදැනීම, අතීත පංචස්කන්ධය නොදැනීම, අනාගත පංචස්කන්ධය නොදැනීම, අතීත අනාගත පංචස්කන්ධ දෙකම නොදැනීම, හේතුඵල දහම නොදැනීම යනු අවිද්‍යාවයි.

අවිද්‍යාව නිසා පංචස්කන්ධයට රැවටෙයි. එය මමය, මාගේ ය, මගේ ආත්මය වශයෙන් උපාදානකර ගනී. එම උපාදානය නිසා සංසාරයේ තෙරක් නොදැක ඇවිදියි. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ රූපය පෙනපිඬුවක් මෙන් මොහොතින් විනාශවන බවයි. වේදනාව දියබුබුලක් මෙනි. සංඥාව මිරිඟුවක් බඳුය. සංඛාර කෙසෙල් කඳක් මෙනි. අවසානයේ කිසිදු හරයක් සොයාගත නොහැකිය. විඤ්ඤාණය විජ්ජාකාරයකු වැනි ය. නැති දෙයක් ඇති හැටියට පෙන්වා මුළා කරයි.

සියුම්ව විග්‍රහකරන විට අපගේ සිත යථාපරිදි පාලනය කර ගැනීමට නොහැකිවන්නේ අවිද්‍යාව නිසා බව පෙනී යයි. විද්‍යාව පහළ කරගෙන පටිච්ච සමුප්පාදය හොඳින් හඳුනාගෙන නිවනේ දොරටු විවරකරගැනීමට අදිටන් කර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!