UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිත් විරිත් මඟ දිගේම ගමන් කරමු නිවන වෙතට

සිරිත් විරිත් මඟ දිගේම ගමන් කරමු නිවන වෙතට

හුදෙක් පිටින් පමණක් නො කළ යුත්ත නො කරන ව්‍යාජ වූ වංචනික වූ ශීලයක් බුදුදහම නූගන්වයි. පිටින් පමණක් සිල්වත් වන්නෝ, ඇතුළතින් අපිරිසුදු සිත් හදවත් ඇත්තෝ කුහකයෝය. මොවුන්ගේ ඒ පිටතින් පමණක් ආරෝපිත වූ ශීලය මැට්ටෙන් තනා පිටින් රන් පාට තැවරූ අභරණ වැන්න. යකඩින් තනා පිටින් පමණක් රන් පාට උළා ඇති බොරු කාසි බඳු යැයි බුදුන් වහන්සේ වදාළ සේක

සිරිත් හා විරිත් සමාජය තුළ බොහෝ විට හඳුනාගෙන ඇත්තේ එදිනෙදා ජීවිතයට අදාළ ඇවතුම් පැවතුම් ලෙසය. උත්සව සමයකට පමණක් අදාළ වන සමාජ ඇසුර හා පමණක් බැඳී ඇති, පාරම්පරික ව පැවැත එන, ජාතිකත්වය හෝ ආගමිකත්වය ආශි‍්‍රත මානව චර්යාවන් ආදිය බොහෝ විට සිරිත් විරිත් ලෙස සැලකෙයි. එබඳු විවිධාකාර වූ සන්දර්භයන් තුළ සාමාජික වශයෙන් අගැයෙන සිරිත් විරිත් පැහැදිලිව ම සංස්කෘතික හැඩතලයක් ගනියි. ඒවා නිවන් මඟ සමඟ ඍජු සබඳතාවක් නැති බව බෞද්ධයෝ දනිති.

චාරිත්‍රය, නොවේ නම් සිරිත යනු කළ යුත්තයි. පිළිපැදිය යුත්තයි. අනුගමනය කළ යුත්තයි. පුරුදු පුහුණු විය යුත්තයි. වාරිත්‍රය නොවේ නම් විරිත යනු නො කළ යුත්තයි. නො වැඩිය යුත්තයි. මිනිසුන් විසින් වැඩි දියුණු කළ යුතු චර්යාවන් හෙවත් චාරිත්‍රයන් බුද්ධ වචනයෙහි කුසල, පුඤ්ඤ, සාර සම්මා, සාධු, කල්‍යාණ, සෙවිතබ්බ භාවෙතබ්බ යනාදී විවිධ පද යෝජනයන්ගෙන් දක්වා තිබේ. මිනිසුන් විසින් නො කළ යුතු නො වැඩිය යුතු අත්හළ යුතු චර්යාවන් බුදු දහම හඳුන්වන්නේ අකුසල, පාප අසාර, අසාධු, නසෙවිතබ්බ, පහාතබ්බ, යනාදි ව්‍යවහාරයන්ගෙනි. නො කළ යුත්ත නොකිරීම හා කළ යුත්ත කිරීම නොවේ නම් චාරිත්‍රය මෙන්ම වාරිත්‍රය ද පුද්ගලයාගේ චරිත සංවර්ධනයත් ඔහුගේ සමාජානුයෝගී පැවැත්මත් මෙලොව පරලොව යහපත මෙන්ම අවසාන වශයෙන් විමුක්ති ප්‍රතිලාභ සංඛ්‍යාත නිවනත් සදාලන්නේය. ඒ අනුව චාරිත්‍රය මෙන්ම වාරිත්‍රය ද පුද්ගල ජීවිතයක සමබරව පැවැතිය යුතුය යනු බෞද්ධ ඉගැන්වීමයි. වාරිත්‍රයෙන් එනම් අකුසල් දහමින්, පවින් වැළකීමෙන් තොර වූ චාරිත්‍රය එනම් කුසලය පින ඵලදායක නො වන්නාක් මෙන් ම කුසලින් පිනෙන් තොර වූ සැබෑ චරිත සංවර්ධනය උදෙසා නො කළ යුත්ත නො කිරීම පමණක් ප්‍රමාණවත් නැත. කළ යුත්ත ද කළ යුතුය.

වෛද්‍යවරයෙකු හමුවට රෝගියෙකු යොමු කළ තැන මුලින්ම විමසා දැනගන්නේද ඒ රෝගියා නිසි කලට නිසිලෙසට ආහාර පාන ගැනීම, ව්‍යායාම කිරීම ආදි කළ යුතු දේ කර තිබේද? නිරෝගි බව උදෙසා අවශ්‍ය දේ කළ යුතු දේ කර තිබේද? එසේම රෝගියාට පිළියම් කිරීම ඔහු සුවපත් කිරීම වෛද්‍යවරයාගේ මෙහෙවරයි. එබැවින් හෙතෙම නොකළ යුතු දේ නො කරන්නටද, කළ යුතු දේ කරන්නටද උපදෙස් දෙයි. බුදුරජාණන් වහන්සේ ද වෛද්‍යවරයෙකු බඳු යැයි සඳහන් වේ. (වෙජ්ජුපමො ජිනවරො) උන්වහන්සේ සත්වයාට වැළැඳී ඇති බව දුක නම් මහා රෝගයට පිළියම් කරති’ යි ලෝවැඩ සඟරාව කියයි. (සත්හට වන බව දුකට වෙදාණන්) එබැවින් උන්වහන්සේ විසින් ද කළ යුතු දේ කිරීම මෙන්ම නො කළ යුතු දේ නො කිරීම ද උගන්වා ඇත්තේය. බුදුදහමෙහි කළ යුතු දේ එනම් සසර සැපවත් පැවැත්මට කළ යුතු දේ පුඤ්ඤ නාමයෙන් දක්වා ඇත. සසරින් අත් මිදීමට නිවන් දැක්වීමට කළ යුත්ත කුසල යන්නෙන් දක්වා තිබේ. ඒ දෙකම සුසිරිත්ය. වාරිත්‍රය. හොඳය. සසර පැවැත්මට මෙන්ම නැවැත්මට ද හානිකර ක්‍රියාවන් පාප අකුසල යනුවෙන් උගන්වනු ලැබේ. ඒ දෙක සුසිිරිත්ය. චාරිත්‍රය .නරක ය. බුදුදහමෙහි උගන්වන ශීලය ද චාරිත්‍ර වාරිත්‍ර යැයි දෙයාකාර වෙයි. එනම් කළ යුත්ත කරන, නො කළ යුත්ත නො කරන තැනැත්තා ම සැබෑ සිල්වතා ය. බුදුරජාණන් වහන්සේ ශීලය තේරුම් කරන්නේ මෙලෙසිනි.

“පර පණ නැසීම හැර දමයි. එයින් වැළකුණේය.පව පිළිකුල් කරන්නේය. (මේ විරිතයි නොකළ යුත්ත නොකිරීමයි) මෙත් සිතින් යුක්ත වන්නේය. සියලු සතුන් කෙරේ හිතවත්ය. සානුකම්පික ය. (මේ සිරිත යි කළ යුත්ත කිරීම යි) සොරකම, නුදුන්දේ ගැනීම හැර දමයි. ඉන් වළකියි.(මේ විරිතයි) නොසර වු සිත් ඇත්තේය, (මේ සිරිතය) මෙලෙසින්ම අබ්‍රහ්මචරියාවෙන් වැළකීම ය. බ්‍රහ්මචරියාව රැකීම ය. බොරුවෙන් අනුන් රැවටීමෙන් වැළකීමය. ඇදහිය හැකි පිළිගත හැකි වචන ඇති බව ය. අනුන් බිඳවන කේලමින් වැළකුණේ ය. අනුන් එකිනෙකා සමඟි කරවන වදන් කියන්නේය. සමඟිය දැක සතුටු වන්නේය. පලදායක වූ අර්ථවත් වූ වදන්ම කියන්නේය. රළු වදනින් පරුෂ වචනයෙන් වැළකුණේය. කනට මිහිරි වූ බොහෝ දෙනා කැමැති පි‍්‍රයමනාප මිහිරි වචනම කියන්නේය. (දී.නි. සාමඤ්ඤඵල සූත්‍රය) මෙසේ ශීලය යනු අයහපත සලසන වරදින් පවින් වැළකීම පමණක් නොවේ. විරති මාත්‍රයක් පමණක් නොවේ. යහපත සලසන හොඳ පිළිපැදීම , සිරිත අනුගමනය කිරීමද, එහි මැ ඇතුළත් වෙයි. සැකවින් කිවහොත් නො කළ යුත්ත නො කරනු සමඟම කළ යුත්ත ද කළ යුතුය. වාරිත්‍රයෙන් තොර වු චාරිත්‍රයද චාරිත්‍රයෙන් තොර වු වාරිත්‍රය ද නිෂ්ඵලය. වත් නොපිරුණු කල්හි සිල් නො පිරෙයි. මෙහි වත් යනු කළ යුතු දේ ය. චාරිත්‍රයන්ය.

බුදුදහමේ ඉගැන්වෙන සමාධියද මෙලෙසින්ම නො වැඩිය යුතු අකුසල් සිත් නො වැඩීමත් වැඩිය යුතු කුසල් සිත් වැඩීමත් උගන්වයි. කාම චිත්තය අකුසල් පක්‍ෂයට ඇතුළත්ය. කාමය අල්පාස්වාද ඇත්තේය. අහිත පිණිස දුක් පිණිස වන්නේ යැයි දැන දැක එයින් වැළකිය යුතු ය. සිත් සතන්හිලා එය නො වැඩිය යුතුය. නිෂ්කාමය,නෙක්ඛම්ම ය, සිත සුව පිණිස ම වේ යැයි සලකා එය වැඩිය යුතුය. නෙක්ඛම්මය කුසල් සිතකි. ව්‍යාපාදය අහිත දුක් පිණිස ම වේ යැයි දැක ඉන් වැළකිය යුතුය. අව්‍යාපාදය එනම් මෙත් කරුණාදිය වැඩිය යුතුය.

වරදින්,නො කළ යුත්තේ වැළකීම, එය නො කර සිටීම පමණක් ම ශීලය සේ සලකා හැඩගැසුණු මිනිස්සු ද හැඩ ගසන දරුවෝ ද කුහකයෝ ම වෙති. ඔවුහු සතුන් නො මරති. එහෙත් සතුන් මරණ සිත් ඇත්තෝ වෙති. මෙත් කරුණාවෙන් තොර වෙති. ඔවුහු සොරකම් නො කරති. එහෙත් සොරසිත් ඇත්තෝ වෙති. අනුන් සතු සම්පත්හි ආශා ඇත්තෝ වෙති. අනුන් සතු සම්පතහි ආශා ඇත්තෝය. බොරු නො කියති. එහෙත් බොරුවෙන් අනුන් රවටන අදහස ඇත්තෝ වෙති. කේලාම් නො කියති. එහෙත් අනුන් බිඳුවන වචන ඇත්තෝ වෙති. මෙසේ හුදෙක් පිටින් පමණක් නො කළ යුත්ත නො කරන ව්‍යාජ වූ වංචනික වූ ශීලයක් බුදුදහම නූගන්වයි. පිටින් පමණක් සිල්වත් වන්නෝ, ඇතුළතින් අපිරිසුදු සිත් හදවත් ඇත්තෝ කුහකයෝය. මොවුන්ගේ ඒ පිටතින් පමණක් ආරෝපිත වූ ශීලය මැට්ටෙන් තනා පිටින් රන් පාට තැවරූ අභරණ වැන්න. යකඩින් තනා පිටින් පමණක් රන් පාට උළා ඇති බොරු කාසි බඳු යැයි බුදුන් වහන්සේ වදාළ සේක. (ස.නි. සත්තජටිල සූත්‍රය) ඔවුන් බුදු බණෙහි හඳුන්වා ඇත්තේ ඇතුළත අපිරිසුදුව සිටිමින් පිටතින් පමණක් සෝභන සිල් රක්නවුන් ලෙසය. බුදුදහමට අනුව මූලික වශයෙන්ම අගය කරනුයේ ඇතුළතින් පිරිසුදු පුද්ගලයාය. පිරිසුදු අව්‍යාජ සිතුම් පැතුම් ඇත්තාය. ආධ්‍යාත්මික වශයෙන් ඇතිකර ගත් දියුණුව ඇත්තාය. බාහිර වශයෙන් ප්‍රකට ව කායික වාචසික චර්යාවන්ට පදනම වන්නේ පුද්ගලයාගේ ඇතුළු හදවතයි. සිත යි. ඒ බැවින්ම සාවද්‍ය වු පාපී අකුසල කර්මයන්ට මෙන්ම නිරවද්‍ය වූ පුණ්‍ය කර්ම කුසල කර්මාදීන්ටද චේතනාව ම ප්‍රධාන යැයි ද බුදු දහම නිබඳව ම පෙන්වා දෙයි. මනස සියලු ක්‍රියාකාරකම්හි ප්‍රධානියාය. නියමුවා ය. ජ්‍යෙෂ්ඨයා ය. ඉදින් පවිටු මනසින් යුතුව කරන සියල්ල අකුසල්ය. පව් ය. එම ක්‍රියාවන් පසුපස දුකම ඇදී එයි. ඉදින් ප්‍රසන්න වු පිරිසුදු සිතින් යුතුව කරන කියන ක්‍රියාවෝ කුසලයෝය. ඒවා පසු පස සැපත ම ඇදී එයි. (මනෝ පුබ්බංගමා ධම්මා) මේ අනුව කායික හා වාචසික ශීලයට ද පදනම විය යුත්තේ මනසයි. සිතයි. අකුසල් සිත් හැර දැමීමෙන් ම ඇති සමාධිය ඇති නොවේ. එහිලා කුසල් සිත් ද වැඩිය යුත්තේය. අකුසල සිත් හැර දැමීම වාරිත්‍රයයි. කුසල් සිත් වැඩීම චාරිත්‍රයයි.

භික්‍ෂු සමාජය වූ කලී පෙළ දහමෙහි එන පරමාදර්ශී සමාජයයි. භික්‍ෂුවගේ පරම ආදර්ශය ප්‍රකට වන්නේ වෙසෙසින්ම විනයෙනි. භික්‍ෂු විනය එක් අතෙකින් විරිත, නො කළ යුත්තද අනෙක් අතින් සිරිත, කළ යුත්තද අවධාරණය කරන්නේය. ගුරු දෙගුරු වැඩිහිටියෝ බාලයන්ට නොකළ යුතුදේ උගන්වති. එහෙත් කළ යුතුදේ නූගන්වති. ඒ සඳහා ඔවුන් දිරිමත් නො කරති. මෙය විටෙක නොයෙකුත් සමාජ ගැටලුවලටද මඟ පාදා ඇති එක් පැත්තකින් පමණක් මිනිස්සු හැඩගැස්වීමට යාමේ අනිසි ක්‍රියාවලියක් වෙයි. නොකළ යුත්ත වාරිත්‍රය නොකිරීමත් සමඟම කළ යුත්ත චාරිත්‍රයද කළ යුතුය. පුද්ගලයෙකුගේ සමබර වූ ඵලදායක වූ නිසි චරිත සංවර්ධනය සිදුවන්නේ චාරිත්‍රය මෙන්ම වාරිත්‍රය ද එක් වීමනි. බුදුදහම තුළ මැනවින් මෙකී චාරිත්‍රය මෙන්ම වාරිත්‍රය ද එක හා සමානව උගන්වා ඇත්තේය. එකී සමබර හැඩගැස්ම සසර සැපවත් වීමට මෙන්ම නිවන් සලසා ගැන්මට ද තුබුව මනාය. සමාජ ජීවිතයේ යහ පැවැත්මට මෙන්ම ආධ්‍යාත්මික හැඩගැස්මට ද අවශ්‍යය.

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]