Print this Article


භික්‍ෂූත්වයේ පරිපූර්ණත්වය

භික්‍ෂූත්වයේ පරිපූර්ණත්වය

ආර්ය ශ්‍රාවකයෙක් වුණාම එක පැත්තක් ක්‍රියාත්මක වෙලා මදි. ආධ්‍යාත්මික භෞතික අංශ දෙකම දියුණු වෙන්න ඕන. විශේෂයෙන් ධර්ම ඥාණය දියුණුවෙන්න ඕන. පරියප්තිය , ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය කියන අංග තුªනම යම් හිමිනමකගේ දියුණු වුවොත් උන්වහන්සේ තමා ධම්මවිහාරි භික්ෂුව කියන්නෙ

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඉපදුන සත්ත්වයාට වදාළේ දුකින් නිදහස් වීම පිණිස යි. උන්වහන්සේ වදාළ ආකාරයෙන්ම යම් කෙනෙක් එය අවබෝධ කළේ ද ඔහු මේ ජීවිතයේදීම දුකින් නිදහස් වෙයි.

අප අද සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති ‘’පඨම ධම්මවිහාරී’’ සූත්‍රය යි. ධම්මවිහාර නමින් සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා පඨම හා දුතිය ලෙස. එයින් පඨම ධම්මවිහාරි සූත්‍රය යි මේ.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී මේ දේශනාව වදාළා.

එක් දවසක් එක් ස්වාමින් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ධම්මවිහාරි, ධම්මවිහාරි කියලා වචනයක් කියනවා. ධම්මවිහාරි භික්ෂුවක් වන්නේ කොහොම ද? කියලා.

තථාගතයන් වහන්සේ මේ හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස වදාළා පින්වත් භික්ෂුව, මේ ශාසනය කොටස් තුනකට බෙදෙනවා. 1). පරියාප්ති ශාසනය, 2) ප්‍රතිපත්ති ශාසනය, 3) ප්‍රතිවේදී ශාසනය ලෙස.

පරියාප්ත ශාසනය කියන්නේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම්. එය බුද්ධ වචනය යි. සංඝායනා කාලයේ දී තමා ත්‍රිපිටකය ලෙස බුද්ධ වචනය යෙදුණේ. මුලදී මේ පරියාප්ත ශාසනය තිබුණේ නවාංග ශාස්තෘ ශාසනය කියන නමින්. උන්වහන්සේගේ බොහෝ සූත්‍රවල නවාංග ශාස්තෘ ශාසනය සඳහන් වෙනවා. 1. සුත්ත, 2. ගෙයි්‍ය, 3. වෛයියාකරණ, 4. ගාථා, 5. උදාන, 6. ඉතිවුත්තක, 7. ජාතක, 8. අද්භූතධම්ම, 9. වේදැල්ලයි. මේ නවාංග ශාස්තෘ ශාසනය ගැන කෙටි අවබෝධයක් හෝ අප තුළ තිබිය යුතුයි.

සුත්ත යනු තථාගතයන් වහන්සේ විසින් සූත්‍ර නාමයෙන් දේශනා කළ දේයි. කරණීය මෙත්ත, රතන, ධම්මචක්කපවත්වන ආදී සූත්‍ර මේ සුත්ත කොටසට අයත්. ගෙයි්‍යය ගද්‍ය හා පද්‍ය මිශ්‍රතව දේශනා කළ සූත්‍රයි. අප සාමාන්‍ය ලෙස කතා කරන ආකාරයට කතා කරලා අවධාරණාර්ථය සඳහා යම් යම් දේ කවියෙන් ගාථාවෙන් කියනවා. වෛයියාකරණ යනු විස්තර කථනය යි. සංෂිප්ත කාරණාවක් විස්තර වශයෙන් කිරීම මෙයට අයත්. දම්සක් පැවතුම් සූත්‍රය ගත්තොත් එහි චතුරාර්ය සත්‍යය ගැන කෙටි හැඳින්වීමක් කරනවා. චතුරාර්ය සත්‍ය හි දුක්ඛ සත්‍ය කුමක් ද කියා හැඳින්වීම වෛයියාකරණ ලක්ෂණයක්. ජාතිපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං කියා එතැන වෛයියාකරණ ලෙස සඳහන් වෙනවා. ගාථා යනු තථාගතයන් වහන්සේ හමුවීමට පැමිණි අය එක එක විස්තර කියනවා. ඒ වගේ අවස්ථාවක උන්වහන්සේ එකවිටම ගාථාවක් කියනවා. ධම්ම පදයේ අතීත හෝ වර්තමාන නිධාන කතාවක් අරභයා ගාථාවකින් උන්වහන්සේ දේශනාවක් වදාරණවා. එසේ ගාථා වලින් කරන දේශනාවලට තමා ‘ගාථා’ කියන්නේ. උදාන කියන්නේ තමාගේ හදවගේ ගැඹුරුම තැන තැන්පත් වූ දෙය උඩට ඉස්මතු කරලා ගැනීම. උද්+දාන කියන්නේ උදාන යි. සිතේ තිබෙන සතුට ප්‍රකාශ කරන්නේ වචනයෙන්. ඒ සතුට ප්‍රකාශ කිරීම උදාන යි. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවේ දී මේ උදාන තිබෙනවා. කොණ්ඩඤ්ඤ හිමියන් සෝවාන් වූ අවස්ථාවේ දී තථාගතයන් වහන්සේ ‘ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අක්ඤාකොණ්ඩඤ්ඤොත්මේව නාමං අහෝසි’ති ලෙස උදානයක් වදාළා. ථෙර ථෙරී ගාථාවල තිබෙන්නේ ඒ උදාන යි. ඊළඟට ඉතිවුත්තක කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ලෙස දේශනා කරන ලදැයි කියා එක එක භික්ෂූන් වහන්සේලා වදාළ දේයි. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට වදාළා, මට අසන්නට ලැබුණේ මේ ආකාරයට, බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ දැනගෙන තිබෙනවා කියා කීමයි. ජාතක යනු ජීවන චරිතය වටා ගෙතුනු කතායි. උන්වහන්සේගේ ජීවන චරිතයේ කතා ඒ වටා තිබෙනවා. උන්වහන්සේ දේශනා කරද්දී එකිනෙකාගේ ජීවන තොරතුරුත් කියනවා. මෙයා මේ වගේ කෙනෙක්. මෙහෙම කරපු නිසා දුප්පත්. මෙහෙම කළ නිසා පොහොසත් යැයි වදාරණවා. ඒවා සූත්‍ර දේශනා ඇතුලේ තිබෙන කතා ජාතක ලෙස හඳුන්වනවා. අද්භූ®තධම්ම යනු තථාගතයන් වහන්සේ හා මහරහතන් සම්බන්ධයෙන් සිදුවන ආශ්චර්ය අද්භූත දේවල්. විශේෂයෙන් මෙතැන දී බුදු කෙනෙක් ලෝකයේ පහළවනවිට බුදු වෙනවිට, පිරිනිවන් පානකොට, ආයු සංස්කරණය අතහරිනවිට සිදුවන අද්භූත දේවල්.

ඊළඟට වේදැල්ල යනු ප්‍රශ්නෝත්තර යි. කෙනෙක් තථාගතයන් වහන්සේ ළඟට ඇවිත් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අසනවා. අනෙක් අය උත්තර දෙනවා. “මහණෙනි මොකක්ද ඔබ හිතන්නේ? රූපය නිත්‍ය ද? අනිත්‍යය ද?” ‘ස්වාමිනි රූපය අනිත්‍යයි’ කියා උත්තර දෙනවා. ඒ වගේ ප්‍රශ්න උත්තර ස්වරූපයෙන් යන ඒවා මේ වේදැල්ල කියන්නේ. මේ නවාංග ශාස්තෘ ශාසනයට පොදුවේ පරියාප්ති ශාසනය ලෙස හඳුන්වනවා.

පරියාප්ති ශාසනය යනු ප්‍රතිපත්ති ශාසනයේ කියා දෙන දේ ප්‍රායෝගියක පුරුදු කිරීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රතිපදාවේ යෙදීමයි. ප්‍රතිවේද කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසාන ඵලය වූ නිවන ශාක්ෂාත් කිරීම. බුදු සසුන නගා සිටුවනවා කියන්නේ මේ කාරණා තුනම ආරක්ෂා කිරීම. එහෙමනම් ප්‍රතිපත්ති පුරන්න බැහැ පරියාප්තියක් නැත්නම්, පන්සිල් රකින්න දන්නේ නැති කෙනාට පන්සිල් රකින්න බැහැ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මොකක් ද කියා දන්නේ නැතිනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න බැහැ. එසේනම් මුලින්ම අවශ්‍ය දැනුම යි. ධර්මය බෙදා හැරීමෙන් සිදුවෙන්නේ ශාසනය රැකීම යි. එය ශාසනය චිරස්තායි කිරීමක්.

තථාගතයන් වහන්සේ වදාළා මේ ශාසනයේ ඉන්නවා සමහර ස්වාමින්වහන්සේලා නවාංග ශාස්තෘ ශාසනය හොඳින් ඉගෙන ගන්නවා. ධර්මය ඉගෙන ගැනීම සඳහාමයි දවස ගෙවන්නේ. හැබැයි කාය හා චිත්ත විවේකි බව කියන භාවනවා පුරුදුකරන්නේ නැහැ.මේ පිරිස පරියප්ත බහුලෝ ලෙස හැඳින්වූවා.

දෙවැනි හිමිවරුන් ධර්මය හොඳට ඉගෙනගෙන අනුන්ටත් ඒ ධර්මය කියා දුන්නා. ඒ වෙනුවෙන් කාලය යොමුකළා. නමුත් ඒ අයත් භාවනවාට සිත යොමුකළේ නැහැ. ඒ කොටස සංඤත්ති බහුල ලෙස හැඳින්වූවා.

තුන්වැනි කොටසට අයත් පිරිස ධර්මය ඉගෙනගෙන ඒ දේ සජ්ඣායනා කර කර සිටිනවා. භාවනවාට සිත යොමු කරන්නේ් නැහැ. ඒ කොටස සච්චාය බහුල ලෙස හැඳින්වූවා.

හතරවැනි කොටස ධර්මය ඉගෙන ගන්නවා. ඒ උගත් ධර්මය කල්පනා කරනවා. ඒ ගැන නුවණින් විමසනවා. භාවනාවට සිත යොමු කරන්නේ නැහැ. ඒ කොටස විතර්ක බහුල නමින් හඳුන්වනවා.

පස්වැනි හිමිවරු ධර්මය ඉගෙන ගන්නවා. නමුත් ඒ ඉගෙන ගත් ධර්මය කියා දෙන්නේ හෝ සජ්ක්‍ධායනා කරන්නේ නැහැ. ඉගෙනගත් දේ ප්‍රායෝගිකව පුරුදු කරන්න භාවනාවට යොමු වෙනවා. කායික මානසික විවේකය පුරුදු කරනවා. ඒ පිරිසට තමා ධම්මවිහාරි කියලා කියන්නේ. ධම්මවිහාරි හාමුදුරුවෝ තමා ධර්මය හොඳින් ඉගෙනගෙන එය තමාගේ ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කර ගන්නේ. පෙර කී හාමුදුරුවෝ හතර නමත් සමඟ බැලුවොත් ධම්මවිහාරි හිමි හොඳයි. නමුත් එයින් අදහස් කරන්නේ නැහැ අනෙක් හතරනම හොඳ නැහැ කියා. ඒ අය එක එක අංශවලින් හොඳයි. නමුත් ආධ්‍යාත්මික පරිපූර්ණබව නැහැ.

ඒවාගේ ආර්ය ශ්‍රාවකයෙක් වුණාම එක පැත්තක් ක්‍රියාත්මක වෙලා මදි. ආධ්‍යාත්මික භෞතික අංශ දෙකම දියුණු වෙන්න ඕන. විශේෂයෙන් ධර්ම ඥාණය දියුණුවෙන්න ඕන. පරියප්තිය , ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය කියන අංග තුªනම යම් හිමිනමකගේ දියුණු වුවොත් උන්වහන්සේ තමා ධම්මවිහාරි භික්ෂුව කියන්නේ.

සටහන: නයනා නිල්මිණි