Print this Article


නුවණ ලබන හැටි

නුවණ ලබන හැටි

මෙහි මුල් කොටස වප් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

බුරුම රට අන්තිම බෞද්ධ රජතුමාගේ කාලයෙහි මහලුව පැවිදි වූ නූගත් භික්‍ෂූවක් උත්සාහයෙන් ඉගෙනීම පටන්ගෙන තරමක පුහුණුවක් ලබා වැඩි දුර ඉගෙනීමට පොත් ලබා ගැනීමට රජවාසලට ගොස් මේ බව රජතුමාට දැන්වීලු. එතුමා එම භික්‍ෂුවගෙන් වයස් ආදිය විචාරා “නුඹ වහන්සේට ග්‍රන්ථ කර්තෘවරයකු විය හැකි නම් මෝල් ගස් වල මලුත් පිපිය හැකි’යි උපහාස වශයෙන් කියා, පොත් සපයා දෙන්නට භාණ්ඩාගාරිකයාට නියම කළේලු. එයින් වැඩියක් ධෛර්යයට පත් භික්‍ෂු නම අප්‍රමත්ත වැ වීර්යය වඩා නොබෝ කලකින් මහ උගතෙක් වැ අගනා ග්‍රන්ථයක් නිපදවා එයත් රැගෙන රජතුමා වෙත ගොස් මෝල් ගස්වල කෙසේ වෙතත්, මෝල් හිස්වල නම් නුවණ මල් පිපෙන සැටි දැක්වීය. අපට අසන්නට ලැබුණි. මේ කථාවෙන් ඉගෙනීමට වයසක් නියම ව නැති බවත් බාලවියෙහි සිට ජීවිතාන්තය දක්වාම ඉගෙනීමෙහි අප්‍රමත්ත විය යුතු බවත් හැඟේ. ඕනෑ කමක් සැලකිල්ලක් ඇතහොත් කවර වයසක වුවත් එක්තරා පමණක දැනීමක් දියුණු කර ගත හැකි බැවින් සියලු දෙනම අප්‍රමත්තතායෙන් නැණ දියුණුව ලබන්නට උනන්දු වෙත්වා.

(3) විචක්‍ෂණතා නම් – ඤානෙන විචාරෙත්වා අත්‍ථවිත්දන පුග්ගලො විචක්‍ඛණො නාම’ (ජා. අඪ.111 පි. 73) යනු අටුවා හෙයින් යමක්හූ කී පමණෙකින් හෝ යමක් දුටු පමණෙකින් හෝ මුඛ පරම්පරාගත කතා මාත්‍රයෙකින් හෝ ‘එසේම යැ’ යි නොපිළි ගෙන, තමාගේ බුද්ධියෙන් විචාරනා කොට කරුණු විමසා බලා අර්ථය ලබන හෙවත් තීරණයට පැමිණෙන තැනැත්තේ ‘විචක්‍ෂණ’ නැමයී ප්‍රකාශ වේ. එබන්දකු වන බව විචක්‍ෂණතාවයි. මෙයද මතු මතුයෙහි දියුණු තියුණු වැ නුවණ වැඩීමට අසහාය හේතුයෙකි.

මේ විචක්‍ෂණතාවයද මෙකල්හී මෙරට වැසියා අතර ඉතාම විරලය නොවිමසා නොපිරික්සා අමුත්තන් හෝ අමුතු දේවල් මුදුනෙන් පිළි ගැනීමෙහිත්, එසේම නොවිමසා තමන් සතු දේවල් අත් හැරීමෙහිත්, නොවිමසා ගුණ කියන්නන් වාගේ ගුණ කීමෙහිත්. දොස් කියන්නන් වාලේ දොස් කීමෙහිත්, නොවිමසා වැඩි දෙනා ගන්නා පැත්ත ගැනීමෙහිත්, නොවිමසා කතා කිරීමෙහිත්, එසේම ක්‍රියා කිරීමෙහිත් සිංහලයන් පමණ යුහුසුළු වන මනුෂ්‍ය ජාතියක් දැන් ලෝකයේ කවර රටකවත් නැතැයි කිව යුතු පමණට මේ අපගේ අවිචාරි භාවය ලොව පුරා ප්‍රසිද්ධය. සියක් වස් තෙවිස්සෙකැයි සිටම බෞද්ධ වූ අපට අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ නොවිමසා කිසිවක් නොපිළිගත යුතු බවය.

බුදුන් වහන්සේ ‘කාලාමසූත්‍රයේදී’ කාලාම නම් ක්‍ෂත්‍රියනට අනුන් කිවක් ඒ කී පමණින්ම අදහා ගත යුතු නොවන බව දක්වන්නට.

(1) ‘මා අනුසසවෙන’, (2) මා පාරම්පරාය, (3) මා ඉතිකිරාය, (4) මා පිටක සමපදානෙන, (5) මා තක්ක හෙතු (6) මා නයහෙතු, (7) මා අකාර පරිවිතකෙකන, (8) මා දිටඨිනිජඣානක්බන්තියා, (9) මා හබිබරූපතාය, (10) මා සමණො නො ගරූ ‘ති’’ යන ආදීන් පින්වත් කාලාමයෙනි. අනුන්ගේ කීමක් (1) අනුශ්‍රව මාත්‍රයෙන් වත් හෙවත් කුඩා කාලයෙහි සිට මුඛ පරම්පරාවෙන් අසා ගෙන එන ආරංචි මාත්‍රයක් මෙසේ බොහෝ පෙර සිට එන කීමක් කෙසේ නම් බොරු වේදැයි සිතා එතෙකින්ම විශ්වාස කොට ගැනීමෙන් වත්, (2) පරම්පරාගත මාත්‍රයෙන් වත් හෙවත් ‘මෙය අපගේ පියා, මුතුන් මිත්තන් ආදී වැඩිහිටියන්ගේ උපදේශ පරම්පරායෙන් ගෙන ආ කීමෙක, මෙසේ අප වැඩි සිටි පරම්පරාවෙන් ආවත් කෙසේ නම් බොරු වේ දැ යි සිතා එතෙකින් ම විශ්වාස කොට ගැනීමෙන්වත්, (3) යමකුª යමක් කී පමණින්ම මෙය මෙහෙම තමා යැයි එකෙනෙහිම නොවිමසා පිළිගැනීමෙන්වත්, (4) තමා උගත් පොතට ගැළපෙන (එකඟවන) පමණින් වත්, (5) තමා සෑහෙන කරුණු නැතිවැ සිතා ගත් ශුෂ්ක තර්ක මාත්‍රයකින් වත්, (6) නයග්‍රාහ මාත්‍රයෙන් වත්, හෙවත් යම් දෙයක් ගැන තමා සිතා ගත් එක යුක්තියකින් පමණක් අනුමාණයෙන් තීරණය කොට වෙනත් යුක්තීන් ගැන නොසොයා ඒත්තු ගැනීමෙන් වත්, (7) ආකාර පරිවිතර්‍කයෙන් වත් හෙවත්, යමක් ගැන මෙය මේ ආකාරයෙන් විය හැකි නොවේදැයි සාක්‍ෂය රහිත වැ සිතන්නකුට වැටැහුණු ස්ව පරිකල්පිත ආකාර මාත්‍රයකින් වත්, (8) යම් දෙයක් ගැන සිත සිතා කල් යැවීමෙන් මෙය මෙසේ යැයි ඇති වූ දෘෂ්ටියකට අනුවැ වැටැහුණු හැඟීමකින්වත්, (9) භව්‍යරූපතායෙන් වත්, හෙවත්, යමක් කියන තැනැත්තාගේ යහපත්කම ගැන සිතා කියන දෙයෙහි යුතු අයුතු නොවිමසා විශ්වාස කොට ගැනීමෙන් වත්, (10) මෙය කියන ශ්‍රමණයන් වහන්සේ අප විසින් ගරු කටයුතු කෙනෙක, අපගේ ගුරුවරයෙක, එබැවින් මේ කියන දේ පිළිගත යුතු යැයි සිතා යුක්ති අයුක්ති නොවිමසා විශ්වාස කොට ගැනීමෙන් වත් යමක් පිළිගත යුතු නොවන බවත්, තමන් විසින්ම නොයෙක් කරුණු වලින් විමසා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගෙනම හොඳ, නොහොඳ ගත යුතු හළ යුතු බවත් වදාළ සේක.

මේ දේශනයෙන් විචක්‍ෂණතාවගේ මහත්වය හා පර ප්‍රත්‍යය නෙය බුද්ධකත්වයාගේ (අනුන්ගේ උපකාරයෙන් මඟ පෙන්විය යුතු කල්පනා ඇති බවගේ) දිනත්වය ද ප්‍රකාශ වේ.

මෙසේ කවර නුවණක් වුවත් වවා වඩා ගැනීම ශුශ්‍රැෂා, අප්‍රමත්තනා, විචක්‍ෂණතා යන තුන් ගුණයන් සාධාරණ (පොදු) හේතු වන බව සලකා බාල, තරුණ, මහලු, ගැහැනු, පිරිමි, ගිහි, පැවිදි කවුරුන් විසිනුත් මේ තුන් ගුණයන් ස්ව සන්තානයන්හී නිතරම පැවැත්විය යුතු බවත්, විශේෂ ඥානයන් දියුණු කර ගනු කැමැත්තවුන් විසින් ඒ ඒ ඥාන විශේෂයාගේ වර්ධනයට හිත වූ විශේෂ ගුණයන්ද භාවිත කටයුතු බවත් සලකා ගත යුතු ය. ප්‍රඥාභිවෘද්ධියට හිත වූ සාධාරණ හේතු හුද මේ ආලවක සූත්‍රයෙහි වදාළ කරුණු තුන පමණක් නොවෙති. වෙනත් නොයෙක් තන්හී නොයෙක් ලෙසින් වදාළ සාධාරණ හේතුහුද විශේෂ හේතුහුද බොහෝ ය.

මිළිත්දපක්‍දහ පාලියෙහි
වයෙන යස - පුචඡාහි
තිත්‍ථවාසෙන යොනිසො
සාකචඡා සෙනහසංසෙවා
පතිරූපවසෙන ව,
එතානි අඨ ඨානාති – බුධිවිසදකාරකා
යෙසං එතානි සමෙහාන්‍ති
තෙසං බුඬි විසුජක්‍ඞති

යන මේ ගාථා දෙකින් වයස යැ, යසස යැ, ප්‍රශ්න කිරීම යැ, තිථිවාසය යැ යොනිසො මනසිකාරය යැ, සාකච්ඡා කිරීම යැ, සෙනෙහසංසෙවා යැ, ප්‍රතිරූපදෙශවාසය දැයි යන මේ අට නුවණ පහදන්නා වූ පිරිසුදු කරන්නා වූ මුහු කුරුවන්නා වූ (මෝරවන්නා වූ) දියුණු කරන්නා වූ කරුණු බව දක්වා තිබේ.

ඉතිරි කොටස නොවැම්බර් 03 වන දා පත්‍රයේ පළ වේ