Print this Article


බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය

උන්වහන්සේ ආදියෙහි සුන්දරවූ ද මධ්‍යයෙහි සුන්දර වූ ද, අවසානයෙහි සුන්දර වූ ද, අර්ථ සහිත වූ, විස්තර සහිත වූ, හැම අයුරින්ම පරිපූර්ණ වූ පිරිසුදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන සේක

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි උන්වහන්සේගේ දේශනා ශ්‍රාවකයන් අතර විශ්වසනීයත්වයට පත්වීමට හේතු සාධක වූ විවිධ කරුණු අතර ධර්ම දේශනා විලාසයෙහි දක්නට ලැබෙන සුවිශේෂත්වය ප්‍රමුඛත්වයක් ගනී. ත්‍රිපිටකයේ විවිධ තැන්වල නිතර නිතර දක්වා ඇති උන්වහන්සේගේ ධර්ම දේශනා ශෛලීන් අතර පරිපූර්ණ දේශනා ක්‍රමය විශේෂත්වයක් ගනී. එම ධර්ම දේශනා ක්‍රමය පෙළෙහි සඳහන් වන්නේ මේ ආකාරයටය.

“සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං, මජෙඣකල්‍යාණ, පරියෝසානකල්‍යාණං, සාත්ථං සව්‍යංජනං කේවලපරිපූණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති”

උන්වහන්සේ ආදියෙහි සුන්දරවූ ද මධ්‍යයෙහි සුන්දර වූ ද, අවසානයෙහි සුන්දර වූ ද, අර්ථ සහිත වූ, විස්තර සහිත වූ, හැම අයුරින්ම පරිපූර්ණ වූ පිරිසුදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන සේක.

මෙහිදී අටුවාචාර්යයන් වහන්සේලා බුදුන් වහන්සේගේ දේශනා ශෛලියෙහි ඇති මෙම සුවිශේෂ ලක්ෂණ විවිධ අර්ථගැන්වීම් තුළින් විස්තර කර ඇත.

ප්‍රථමයෙන්ම ආදිකල්‍යාණං මජෙඣකල්‍යාණං පරියෝසාන කල්‍යාණං “ මුල මැද අග යහපත් බව ” යන මෙම ලක්ෂණ තුන විස්තර වශයෙන් දක්වන්නේ මෙසේය. දහම් අගයෙන් යුත් එක ගාථාවක මුල් පදයම යහපත් ය. දෙවන තෙවන පදවල මධ්‍යයය යහපත්ය. අවසාන පදයෙන් අග යහපත්ය. යන අර්ථ ගත හැක.

තවද එක් කරුණක් ගලපා දක්වන සූත්‍ර දේශනාවක හේතු දැක්වීම ම මුල යහපත්වීමයි. කරුණු පහදා දීමෙන් පසු නිගමනය අවසානයෙහි යහපත් වීමයි. මේ අතර දේශනා කරන ඉතිරි සියල්ල එක වචනයක හෝ දෝෂයක් නැතිවම පැවසීම මැද යහපත් වන අයුරුයි.

මුළු තථාගත සසුනෙහි තමන් වහන්සේම නිදසුන් වනසේ අරුත් දැක්වීමේදි සීලයෙන් පිරිසුදුවීම මුලදීම ඇතිවන යහපත් බවයි. මැද යහපත් වන්නේ සමථ විදසුන් මගින් ලබන ඵලයයි. අවසාන යහපත් බව නිවන සාක්ෂාත් කරගැනීමයි. මේ ආදි වශයෙන් බුදුන් වහන්සේ දහම් දෙසන විට මුල, මැද, අග අනුපිළිවෙලින් කිසිදු පරස්පරයක් නොවී අදාළ කරුණු එකිනෙකට ගැලපෙන අයුරින් සැසඳීම මෙහිදී අටුවාචාරයයන් වහන්සේලා දීර්ඝ වශයෙන් තවදුරටත් විස්තර කර ඇත.

බුදුන් වහන්සේගේ දේශනා ක්‍රමයෙහි මීළඟ ලක්ෂණය වන “සාත්ථං” යන්නෙන් අදහස් කරන්නේ එය සාකල්‍යයෙන්ම අරුත් පිරුණු බවයි. ගැලපෙන අකුරු යෙදීම සව්‍යංජන බවයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භාවිතා කරන හැම වචනයක්ම නිසි පරිදි අක්ෂර යෙදු දහමෙහි උසස් බව හා දේශනයෙහි උසස් බව අරුත වැටහීම සහ කරුණු වෙන්කොට දත හැකි බව මෙහි අර්ථයයි. නොවැදගත් යැයි ඉවතලිය හැකි කිසිදු වචනයක් උන්වහන්සේගේ දේශනාවෙහි නැත.

නුවණැතියන් විසින් දතයුතු විමසීමට ඇති නිදහස නිසා ජනතාවගේ සතුට ලබන බැවින් ගැඹුරු අදහස් ලබාදෙන බැවින් සාත්ථං සව්‍යංජන යන මෙම ලක්ෂණ දෙක ඉතා වැදගත්ය.

කේවල පරිපුණ්ණං යනු අතහැර දැමිය යුතු දෙයක් නොමැති බැවින් හා හැම අයුරින්ම පිරිපුන් බැවින් යුක්ත වීමයි. උන්වහන්සේ කිසියම් තැනක කිසියම් අවස්ථාවක ධර්ම දේශනාවක් පවත්වන්නේ නම් සමස්ත දේශනාවම විස්තර කිරීම, විවරණය කිරීම, විභජනය කිරීම වශයෙන් පරිපූර්ණ වූයේ වෙයි. “පරිසුද්ධං” යනු බුද්ධ දේශනා අතිපරිසුද්ධ වූවක් බවයි.

එනම් උන්වහන්සේ ගේ දේශනාවන් තුළ කිසිදු මිථ්‍යාවක් , අභූතයක් , රැවටීමක් , මුසාවක් නොමැති බවයි. ප්‍රත්‍යක්ෂයෙන්ම දත යුතු සත්‍ය ඇතුළත් බවයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසති. බඹසර පහදා දෙතියි ද කියනු ලැබේ.

අටුවාචාර්යයන් වහන්සේලාගේ විවරණයන්ද ඇසුරෙන් මෙහි කෙටියෙන් පැහැදිලි කරන්නට යෙදුණේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අනුගමනය කරන ලද එක් ක්‍රමවේදයකි.

වර්තමානයේ පුද්ගලාන්තර සන්නිවේදන මූලධර්ම පිළිබඳ විග්‍රහයන් හා සසඳා බලන විට මෙයට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර වැඩසිටි බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනය සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේදය අදටත් යථාර්ථයක් ලෙස හඳුන්වාදිය හැකිය.