Print this Article


විහාරාධිපති ධූරය පූජා කිරීමෙන් වනවාසි රාහුල හිමියන් සසුනට ආදර්ශයක් දුන්නා - නාපාන පේමසිරි මහ නා හිමි

විහාරාධිපති ධූරය පූජා කිරීමෙන් වනවාසි රාහුල හිමියන් සසුනට ආදර්ශයක් දුන්නා - නාපාන පේමසිරි මහ නා හිමි

වර්තමානයේ සමහර භික්ෂූන් වහන්සේලා විහාරාධිපති ධුරය බෙදාගන්න බැරිව උසාවි යන මෙවැනි කාලයක ජාතික නාමල් උයන විහාරයේ විහාරාධිපති ධුරය තමන් වහන්සේ ඇසුරු කරන භික්ෂුන් වහන්සේ කෙනකුට ඉතා නිර්ලෝභිව නිත්‍යානුකූලව පිරිනැමීම තුළින් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් සිදුකළ මෙහෙය මුළු මහත් සංඝ සමාජයටම ආදර්ශයක් දුන් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියෝ පැවැසූහ.


ජාතික නාමල් උයන විහාරයේ විහාරාධිපති සමිමුති පත්‍රය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නා හිමියන් විසින් හාල්පන්විල පාලිත හිමියන් වෙත ප්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකම් මාතලේ ධම්මකුසල නා හිමියන් සමඟ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ ද ඡායාරූපයේ වෙති.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ කඩවත රම්මුතුගල මහා විහාරයේ දී පැවැති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභා අවස්ථාවේදී ජාතික නාමල් උයන විහාරයේ විහාරාධිපති සමිමුති පත්‍රය හලාවත කැබැල්ලෑවල සිරි රතනසිරි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නියෝජ්‍ය ලේකම් ශාස්ත්‍රපති හාල්පන්විල පාලිත හිමියන් වෙත ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වීමෙනි.

මහා නාහිමියෝ මෙසේද පැවැසූහ.

රාහුල හිමියන් දුක්මහන්සි වී ස්වඋත්සාහයෙන් ගොඩනගා ගත් තමන්ගේ සැබෑ අයිතිය වෙනත් භික්ෂුන් වහන්සේ නමකට පවරනවාය කියන විට මට අදහාගන්න බැරිවුණා. මෙවැනි දෙයක් අද සංඝ සමාජයේ කෙනෙක් කරයි ද? කියලා. මෙවැනි පරිත්‍යාග අද සමාජයේ ඉතා විරලයි. ඒ නිසා අපේ නිකායටත් විශාල ගෞරවයක් මෙන්ම විශාල ශක්තියක් බවත් අද ජාතික නාමල් උයන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් ඇති ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් කරන්න වනවාසි රාහුල හිමියන් ගත් උත්සාහය හා කැපකිරීම ඉතාම ප්‍රශංසනීය යි. මට වාසනාව ලැබුණා මීට වසර පහළොවකට ප්‍රථම එහි යන්න. ඒ වගේම අපවත් වී වදාළ අපේ වේවැල්දෙණියේ මහා නා හිමියන් වහන්සේද එහි උත්සවයකට වැඩමවන්න හැකියාව මට ලැබුණා. ඒ ගැන දැන් හිතනවිට මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා.

වනවාසී රාහුල හිමියන් දක්ෂයින් අතර හැබෑම දක්ෂයෙක්. ඒ වගේම අවංකව, එඩිතරව කිවයුතු දේ කියන කළයුතුදේ කරන කෙනෙක් බව මුළු රටම දන්නා කරුණක්. ඒනිසා මේ වගේ දක්ෂ භික්ෂුන් වහන්සේලාගේ සේවය රටට, ජාතියට, ආගමට අප ලබාගත යුතුයි. ඒ වගේම උන් වහන්සේලා අප ආරක්ෂා කළ යුතුයි. තව තවත් ඉස්සරහට යන්න සහය ලබාදිය යුතු කාලය දැන් එළඹ ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද, මඩිතියවෙල මේධංකර යන මා හිමියන් වහන්සේලා සමග විශේෂාධිකාරී මණ්ඩලයේ සභික ස්වාමින් වහන්සේලාද සියලුම කාරක මහා සංඝ සභාවේ සාමාජික ස්වාමින් වහන්සේලා සමඟ වනවාසී රාහුල හිමියන් ද සහභාගි වූහ.