Print this Article


පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සංස්කෘතික වටිනාකම

මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ද ඔවුන්ගේ පිරිවරද විවිධ භාෂා කථා කරන අය බව ඉතා පැහැදිලිය. එමෙන්ම එම පිරිස් තම තමාගේ රුචි අරුචිකම අනුව සංස්කෘතික උරුමයන් අනුව විවිධ විචිත්‍ර ජාතික ඇඳුම ප්‍රදර්ශනය කරන බවටද සැකයක් නැත. පොදු රාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමද ඒ හා සමගාමී නියෝජිතයන්ගේ රැස්වීම්ද ජාත්‍යන්තර භාෂා කිහිපයකින් පැවැත්වෙන බව නොරහසකි. එබඳු තැනක සිංහල භාෂාවේ දෝංකාරය නැංවීම අප රටට මහත් ආඩම්බරයක් වන බවට සැකයක් නැත.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය නායකයින්ගේ රැස්වීම ලබන මස කොළඹදී පැවැත්වීමට නියමිත බව ප්‍රකට කරුණකි. රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල විවිධ නියෝජිතයන්ගේ රැස්වීම්ද ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. ඒ අතර පොදු රාජ්‍ය මණ්ඩළයට අයත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමද ව්‍යාපාරිකයන්ගේ රැස්වීම්ද මුල්තැනක් ගනී. ඊටත් අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ක්‍රීඩක කී‍්‍රඩිකාවන් සහභාගි වන ක්‍රීඩා උත්සවයක් ද තරුණ නායක නායිකාවන් සහභාගි වන තාරුණ්‍යයේ අලංකාරය පිළිබිඹු වන රැස්වීමක්ද ශ්‍රී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිතය. මා මේ විස්තරය ඉදිරිපත් කළේ ලබන මස සිදුවන්නේ එක් කාර්යයක් නොව කාර්ය දාමයක් බව කියා පෑමටයි. ඒ කාර්යදාමය අශයින්ම විවිධය. විචිත්‍රය.

පොදු රාජ්‍ය මණ්ඩලය යනු ලොව පවතින ජාත්‍යන්තර සංවිධානවලින් එකකි. එය දෙවැනි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණකි. බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පවතින රටවල් නිදහස ලැබීමෙන් පසු එකට බැඳ තබන සංවිධානය පොදු රාජ්‍ය මණ්ඩලය යනුවෙන් අදහස් කෙරේ. මේ මණ්ඩලය තුළ පෘථිවි ගෝලයේ සියලු මහාද්වීප වලට අයත් රාජ්‍ය නියෝජනය වේ. එම මණ්ඩලයේ නායකත්වය දරන්නේ එංගලන්තයේ දෙවන එලිසබත් මහරැජිනය.මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල නායකත්ව සමුළුවේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී‍්‍ර ලංකා ජන රජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක් පැවැත්වෙන විට එම රටට විවිධ රටවලින් ඇදී එන ජන සංඛ්‍යාව අති මහත්ය. අප බොහෝ දෙනා සිතා සිටින්නේ පුද්ගලයන් කිහිප දෙනකුටම සීමාවන අතිශයින්ම පුද්ගලික වූ කාර්යයක් බවය. එහෙත් සහභාගි වන ජන සංඛ්‍යාව සහ ක්‍රියාත්මක වන සිද්ධිමාලාව වෙත විවෘතව බලන විට පෙනී යන්නේ ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ජාත්‍යන්තර සංස්කෘතික සන්දර්ශනයක් බවය. මා මෙසේ කියන්නේ පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගෙනය.

ශ්‍රී ලංකාවට මේ වර්ෂයේ නොවැම්බර් මාසය වැදගත් වන්නේ කලාතුරකින් රටක සිදුවන සංස්කෘතික සන්දර්ශනයක් එම මාසයේදී සිදුවීම හේතුකොට ගෙනය. මේ ගනයේ සන්දර්ශන ඉතිහාසයේ සන්ධිස්ථාන හැටියට සැලකෙන බව ඉතා ප්‍රකට උදාහරණ වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, එකොළොස්වන සියවසේදී චෝල අධිරාජ්‍යයට ලංකාව යටත්වීම සහ පහළොස්වන සියවසේදි පෘතුගීසින් ලංකාවට පැමිණීම මතක් කළ හැකිය. ඒ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ සංස්කෘතික දෙකක් එකට මුණගැසීමය එහෙත් ලබන මාසයේදී සිදුවන්නේ ලොව පවතින සංස්කෘතික උරුම සියල්ල ශ්‍රී ලංකාවේදී මුණ ගැසීමය. එම නිසා පොදු රාජ්‍ය මණ්ඩල නායකයන්ගේ රැස්වීම අප සිතනවාට වඩා සමාජ සම්පර්කයක් ඇති කරන සිද්ධියක් හැටියට හඳුනාගත යුතුය.

මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ද ඔවුන්ගේ පිරිවරද විවිධ භාෂා කථා කරන අය බව ඉතා පැහැදිලිය. එමෙන්ම එම පිරිස් තම තමාගේ රුචි අරුචිකම අනුව සංස්කෘතික උරුමයන් අනුව විවිධ විචිත්‍ර ජාතික ඇඳුම ප්‍රදර්ශනය කරන බවටද සැකයක් නැත. පොදු රාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමද ඒ හා සමගාමී නියෝජිතයන්ගේ රැස්වීම්ද ජාත්‍යන්තර භාෂා කිහිපයකින් පැවැත්වෙන බව නොරහසකි. එබඳු තැනක සිංහල භාෂාවේ දෝංකාරය නැංවීම අප රටට මහත් ආඩම්බරයක් වන බවට සැකයක් නැත. ඊට අමතරව ශ්‍රී ලාංකික යෞවන යෞවනියන්ට ජාත්‍යන්තර භාෂා අධ්‍යායනය කිරීමේ මහත් රුචියක් ඇතිකිරීම එම ක්‍රියාදාමයේ අතුරුඵලයක් හැටියට හඳුනාගත හැකිය. පොදු රාජ්‍ය මණ්ඩලය යනු රාජ්‍ය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවක එකමුතුවකි. ඒ කිසිදු රාජ්‍යයක් තමාගේ බස රජ කරවීම පිණිසම මෙහි පැමිණෙන්නේ නැත. ලෝකයේ පවතින ප්‍රශ්න වලට විසදුම් සොයා ගැනීමටත් සාමය හා සාමාදානය සියලු ජාතීන් අතර පැතිරවීමටත් ඒ අය උත්සාහ දරනවා ඇත. මෙහිදී භාෂාව උපකරණමය වටිනාකමක් ඇති දෙයක් බවට පැමිණේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන අපට එක් එක් භාෂා අල්ලා ගෙන කුලල් කෑමට අවස්ථාවක් නැති බවත් භාෂාව අදහස් ප්‍රකාශ කිරීමේ අවියක් හැටියට පමණක් යොදාගත යුතු බවත් ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව අපට මතක්කර දෙනවා ඇත.

ලෝකය බෙදන පරිබාහිර කරුණුවල උපයෝගීතාව දිනෙන් දින අඩුවෙමින් පවතී. ඒවා අතර භාෂාව ඇඳුම,ඡවි වර්ණය මුල්තැනක් ගත් බව අපි දනිමු. වර්තමාන ලෝකය මේවා ගැන අවධානය යොමු කරන්නේ පැරණි ලෝකයේ අය අවධානය යොමු කළ ආකාරයට නොවේ.දිනෙන් දිනම මිනිසාගේ ඒ තත්වය පිළිබඳ අදහස අපගේ සන්තානයට ඇතුළු වෙමින් පවතී. පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති විවිධ ආයතනවල රැස්වීම් සමුදායක් දින කීපයක් තිස්සේ මෙරට පැවැත්වෙන විට අප රටේ ජනතාවට මේ කියන මානව ඒකත්වය පිළිබඳ අදහස ක්‍රමයෙන් ඇතුළුවන බවට සැකයක් නැත.

මෙබඳු ජාත්‍යන්තර සිද්ධි මාලාවක් අවසානයේ සංස්කෘතික සන්දර්ශන පැවැත්වීම සාමාන්‍ය සිද්ධියකි. ශ්‍රී ලංකාවේ වසන අපි අපට සමීප රටවල විවිධ සංස්කෘතික අංග අත්දැක ඇත්තෙමු.එහෙත් අපි‍්‍රකා මහාද්වීපයට අයිති රටවල සංස්කෘතිය අපේ දැනුම අතිශයින්ම අල්පය. අපි‍්‍රකා මහාද්වීපයේ රාජ්‍යවල වාසය කරන ගෝත්‍රික ජනතාවන්ට ඔවුන්ටම ආවේණික නර්තන හා ගායනා ඇත.අප බොහෝ දෙනෙක් මේවා දැක අසා නැත. ශ්‍රී ලාංකික ජනතාවට එබඳු අත්දැකීමක් ලබා ගැනීමට ලබන මාසය තුළ අවස්ථාව සැලසෙන බව හොඳටම විශ්වාසය. අපි‍්‍රකා මහාද්වීපයට මීට කලකට පෙර අප කියා සිටියේ අඳුරු මහාද්වීපය කියාය. දැන් එම මහාද්වීපයට අයත් රාජ්‍ය අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ ඇත. ලෝකයේ දියණු රටවල් සමග ගණුදෙනු කරන ලෝක සංස්කෘතියකට හිමිකම් කියන රාජ්‍ය බවට පැමිණ ඇත. අපි‍්‍රකා මහාද්වීපයට අයත් රාජ්‍ය දෙක තුනකම දැන් ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. එම මධ්‍යස්ථාන පිහිටුවීමට නායකත්වය දැරුවේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලාය. අපි‍්‍රකාවේ එම නව පිබිදීම සියැසින්ම දැක ගැනීමට ලබන මාසයේ දී අපට අවස්ථාව උදාවෙනවා ඇත.

සංස්කෘතිය යන පදය තුළ රටක ජාතියක ප්‍රතිසංස්කරණය උදෙසා සිදුවන අලුත් අත්දැකීම් අර්ථවත් වේ. පරණ, වෙනස්නොවන,ජීවන රටාවක ගැලී සිටීම සංස්කෘතිය නොවේ. ඒ වනාහි වෙනස් වෙමින් ඉදිරියට යන ප්‍රවාහයකි. ඒ ප්‍රවාහයේ අක්මුල් සෑම රටකම ඉතිහාසය සහ ආගම ධර්මය සමග බැඳී පවතී.ඕනෑම රටක සංස්කෘතිය දියුණුවන්නේත් ඉදිරියට යන්නේත් ලෝකයේ අන් රටවල සංස්කෘති සමග එක්වුන විටය. එම නිසා ශ්‍රී ලංකාව දැනට පවතින ප්‍රමාණයටත් වඩා ජාත්‍යන්තරයට විවෘත කොට එහි පවතින හොඳ දේ උකහා ගැනීමට අප දැනුවත් කිරීමේ ව්‍යායාමයක් හැටියට ලබන මස පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල උත්සව මාලාව හැඳීන්විය හැකිය.

මේ උත්සව මාලාව තුළ සිදුවන කරුණු දෙකක් ගැන කෙටි හැඳීන්වීමක් කිරීමට මම කැමැත්තෙමි. ඉන් එකක් නම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවයයි. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල තරුණ තරුණියන් විවිධ ක්‍රීඩා විෂයෙහි දක්වන කුසලතා මෙහිදී අගය කරනු ලැබේ. අද පෙරට වඩා ක්‍රීඩා ගැන අතිමහත් උනන්දුවක් දැක්වීම සෑම රටකම සිරිතය. රට රාජ්‍ය සහ ජනතාව එක්තැන් කරන මාධ්‍යයක් බවට කී‍්‍රඩාව පැමිණ තිබේ. ක්‍රීඩා තරගකාරි ලෙස ඉදිරියට පැමිණියද එයින් සිදුවන අන්‍යෝන්‍ය සම්බන්ධය කිසිසේත් අමතක කළ නොහැකිය. අද්‍යතන ලෝකයේ ජනපි‍්‍රය සංස්කෘතික අංගයක් බවට ක්‍රීඩාව පැමිණ තිබේ. රටවල් පනහකට වැඩි සංඛාවක ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදීමට අවස්ථාවන් ලැබීම ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඔපමට්ටමක් කිරීමට පමණක් නොව ජාත්‍යන්තරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන්නට ද හේතුවක් වනවා ඇත.අපේ රටේ විවිධ ගම් දනව් වලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව ලෝක දැක්මක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා ඇත.

මා මෙහිදී මතක් කිරීමට කැමති දෙවැනි කාරණය නම් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල තරුණයන්ගේ හමුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමය. ලෝකයේ ජීවත්වන වැඩිමහලු අයගේ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. ඊට ප්‍රධාන හේතුව වෛද්‍ය විද්‍යාවේ දියුණුවය. එහෙත් වැඩිහිටියන්ට තවදුරටත් ලෝකයට නායකත්වය දීමේ අයිතියක් නැත. එය තරුණ පරපුරට භාරදිය යුතුය. ඊට පෙර වැඩිහිටියන් කළ යුතු යුතුකමක් ඇත. එය නම් ලෝකයේ අනාගත නායකත්වය භාරගැනීමට සුදුසු තත්ත්වයකට අද ලොව ජීවත්වන තරුණ තරුණියන් පත්කිරීමය. පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ් පරම යුතුකමක් හැටියට මෙය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකාවේදී තරුණ සමුළුවක් පැවැත්වීමට විධි විධාන යෙදීමෙන් පෙනේ.

මෙබඳු ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීමට විරුද්ධ පිරිසක් අපේ ලංකාවේ වසන බව අපි දනිමු.මෙය සෑම රටකටම පොදු ප්‍රවණතාවක් බැවින් ඒ ගැන සැලකිල්ල යොමු කිරීමට හේතුවක් නැත. එසේ විරුද්ධ වන අය ඉදිරිපත් කරන එක් තර්කයක් නම් අපගේ සුපිරිසුදු සංස්කෘතිය මෙබඳු කරුණු වලින් දූෂණය වීමට ඉඩ ඇත යන්නය. ඒ අය ගැන කල්පනා කරන විට මගේ සිහියට නැගෙන්නේ මහත්මා ගාන්ධිතුමා වරෙක කළ ප්‍රකාශයකි. “සුළඟ නිසිසේ හමායාමට අප කවුළු පියන්පත් මනාව විවෘත කරමු. එම සුළඟට අප ගසාගෙන යෑමට අවස්ථාව නොසලසමු.

අප අපේ සංස්කෘතියේ තරව පිහිටා සිටින්නෙ නම් අන් සංස්කෘතික ප්‍රවණතාවන්ට බියවීමට කරුණක් නැත.