Print this Article


තෙපුදෙණියේ ශ්‍රී බෝධිරාජ විහාරය

තෙපුදෙණියේ ශ්‍රී බෝධිරාජ විහාරය

අකුරැස්ස - ගාල්ල ප්‍රධාන මාර්ගයේ අකුරැස්ස සිට ගාල්ල දෙසට කිලෝමීටර් 06ක් දුර ගමන් කරද්දී හමුවන තෙපුදෙණිය ග්‍රාමයේ පිහිටි ශ්‍රී බෝධිරාජ විහාරය අදින් වසර සියයකට පෙර ප්‍රධාන මාවත සමීපයෙහි ආරම්භ කරන ලදී.

එකල ප්‍රදේශයේ දානපතියකු වූ දොන් හෙන්ද්‍රික් සිටුගේ (හේනෙගම අප්පුහාමි) මහතා විසින් සතර පේරුවේ දායක සැමගේ සහභාගීත්වයෙන් 1913 දී ඉදිකරවූ විහාරස්ථානයක් බව ඉතිහාස කරුණු වලින් සටහන් කළ හැකි ය. පුණ්‍යභූමිය ආරම්භයට හේතු පාදක වන්නේ හේනෙගම අප්පුහාමි නමින් හැඳින් වූ එතුමා 1912 දී, රුවන්වැලි මහ සෑරදුන් ප්‍රතිසංස්කරණ කටයුතු කරන එදවස, මුදලින් රු. දෙලක්‍ෂ පනස් දහසක් පරිත්‍යාග කළ අතර, ඒ වෙනුවෙන් එතුමාණන්ට තුටු පඬුරක් ලෙස එම වකවානුවේ ධර්ම දූත සේවාවේ යෙදී සිටි, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පරිත්‍යාග කළ අතර එම බෝධි අංකුරය පාත්‍ර ධාතුවක තැන්පත් කර අනුරාධපුර සිට මෙම පුණ්‍යභූමිය වෙත පෙරහරින් වැඩමවා ගෙනවිත් මෙහි රෝපණය කළ බවද විහාරස්ථාන ඉතිහාස පොතපතෙහි සඳහන් වේ.

එතැන් සිට විහාරස්ථානය තනවා ස්වාමීන් වහන්සේ නමක් නේවාසිකව වැඩ විසූ අතර උන්වහන්සේගෙන් පසුව කලක ජරාවාසවී ගොස් තිබියදී 1975 වසරදී නැවතත් ගම්වාසී දායක පින්වතුන්ගේ ආරාධනාවෙන් වැඩම කළ, ශාස්ත්‍රවේදී පණ්ඩිත කනංකේ මහානාම හිමිපාණන්ගේ නායකත්වය සමඟ ගොඩනැඟූ විහාරස්ථානය, චෛත්‍යය, බුදු මැදුර ජනතාවගේ පුද සත්කාරය ලබන අතර, ශාස්ත්‍රවේදී හේනෙගම මංගල හිමිපාණන්ගේ අසීමිත කැපකිරීම් තුළ ප්‍රදේශයේ ජනතාවට සමාජීය මෙහෙවර වෙනුවෙන් නිබඳව කැපවන අතර ප්‍රදේශයේ බෞද්ධ දූ දරුවන්ගේ දහම් දැනුම වෙනුවෙන් ඉරුදින දහම් පාසලක් ද පවත්වාගෙන යයි.

උන්වහන්සේගේ අනුශාසනා පරිදි සතරපේරුවේ දායක පින්වතුන් සමඟ එළැඹෙන වප්පුර පසළොස්වක පෝහෝදා සිට තෙදිනක් පුරා පින්කම්මාලාවක් පවත්වා මෙම දිනයන්ට සමගාමීව බෝධීන් වහන්සේට වසර සියයක් (100) පිරීම නිමිත්තෙන් දායක ගම්මාන දහයකින් පැන් කළ දහසක් ගෙනවිත් බෝධීන් වහන්සේ සුවඳ පැනින් නැහැවීම, විහාරවාසී නායක ස්වාමීන් වහන්සේගේ අසුවිය සම්පූර්ණ වීම වෙනුවෙන් දීර්ඝායුෂ හා සෙත් පැතීම සමඟ පින්කම් රාශියක් සිදු කෙරේ.