UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්‍ෂුව පිළිබඳ වත්මන් සමාජයේ ආකල්ප

භික්‍ෂුව පිළිබඳ වත්මන් සමාජයේ ආකල්ප

මීට වර්ෂ 2600කට පෙරාතුව එනම් ක්‍රි.පූ. 6 වන සියවසේ ලෝකයේ පරමාදර්ශී පුද්ගලයා මෙන්ම උතුම්ම දාර්ශනිකයා පහළ විය. ඒ අන් කවරෙක්වත් නොව අපගේ දසබලධාරි සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේය.

ඒ තථාගතයන් වහන්සේ ලොව පහළවන විට සමස්ත ලෝකවාසී සත්ත්වයා මෝහය නමැති අන්ධකාරයෙන් වෙළී ඉන් ගැල වී එළියට ඒමට යත්න දරමින් ඒ සඳහා සුදුසු නිවැරැදි මාවතක් සොයමින් මං මුළාවූවන්සේ සැරිසැරුවේය. ඒ මෝහාන්ධකාරයෙන් ගොඩ ඒමට ආලෝකය දෙමින් මාවත පෙන්වන ලද්දේ බුද්ධ දිවාකරයාණෝය. බුදුන් වහන්සේ ලොව පහළ ව එකල ජනයා වෙත දහම් අමා ගඟ මුදා හැරියේ ධර්ම පිපාසයෙන් සිටි ජනයාගේ පිපාසය සන්සිඳුවීම උදෙසාය. ඒ අමා නදිය ඇසළ පොහෝදා බරණැස ඉසිපතන මිගදායේ දී කොණ්ඩඤ්ඤ තවුසා ප්‍රධාන පස්වග තවුසන්ගේ පිපාසය නිවමින් ඔවුනට අමා පැන් දීමෙන් ආරම්භ විය. ඒ උතුම් අමා දහම් දිය දහර නොනැවතී අද දක්වාම ගලා යයි. තථාගතයන් වහන්සේ තමන් විසින් අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය ශ්‍රාවකයින් හට දේශනා කොට එම දහම් පණිවුඩය ලෝකයා වෙත ප්‍රචාරය කිරීමට උන්වහන්සේලා වෙත පැවරූහ.ඒ යුතුකම හා වගකීම අවිච්ඡින්නව අතපසු නොකොට සිදු කරගෙන එනු ලැබේ.

මිනිස් සන්තානය තුළ ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීමට උපකාරි වන්නේ බුදුන් වහන්සේගේ දහමයි. එම ආධ්‍යාත්මික ගුණ දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් සපයන්නේ වර්තමාන ගෞරවණීය මහා සංඝ රත්නයයි. ඕනෑම සමාජයක් යහපත් වන්නේ එම සමාජය තුළ පවතින ධර්මානුකූ®ල බව මතයි. ගිහියාගේ මනස තුළ අනේක විධ දුක් ගැහැට දුරු කිරීමට අනුශාසනා කළ හැකි එකම හා සුදුසුම පුද්ගලයා භික්‍ෂූන් වහන්සේ යැයි කීමේ වරදක් නැත. එය උන් වහන්සේලාගේ කාර්යභාරය ද වේ. සමාජයක් යහපත් කිරීම උදෙසා පූජනීය මහා සංඝරත්නය කරනු ලබන උත්සාහය අමිලය. මිනිසාගේ සෑම කටයුත්තක දීම අනුශාසනා කරමින් ආශිර්වාද කරන්නේ භික්‍ෂූන් වහන්සේය. දරුවෙකුගේ් උපතේ සිට නම් තැබීම, මංගල කෙස් කැපීම, රන්කිරි කට ගෑම,ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, විවාහය ආදි ජීවිතේ වැදගත් අවස්ථාවලදී මෙන්ම ජීවිතයේ අවසාන මොහොත දක්වාම භික්‍ෂුව ගිහියා සමඟ බද්ධ වී සිටී. ඒ නිසාම උන්වහන්සේලා කුලදේවතාවුන් ලෙසද අපේ බෞද්ධ ජනයා ගෞරවයෙන් සලකති. ලක්දෙරණ ආරක්‍ෂා කර ගැනීමටද මහා සංඝ රත්නය දිවි හිමියෙන් ක්‍රියා කර ඇත. භික්‍ෂුව සිදුකරන සේවය කිසිදා මිල කළ නොහැක්කකි.

මෙතරම් සේවාවක් සිදුකරන අපේ ගරුතර මහ සඟරුවන පිළිබඳ අද සමාජය තුළ ඇතැම් විට වැරැදි ආකල්ප ව්‍යාප්ත වී ඇත. ඇතැම්දෙනා භික්‍ෂූන් වහන්සේ දෙස බලන්නේ වපර ඇසින් බව කිව යුතුය. සමහරු භික්‍ෂූත්වය මැනීමට වැරැදි මිනුම් දඬු භාවිත කර ගනිති. ඕනෑම සත්ත්වයෙක් සමාජානුරූපීව වෙනස් වීම වැළැක්විය නොහැකි කරුණකි. එසේ නොවන්නේ නම් සියයට දශමයක් පමණ වේ. වර්තමාන සමාජය තුළ භික්‍ෂුවට පැවරී ඇති කාර්යභාරය පෞරාණික භික්‍ෂුවට වඩා වැඩිය. එම වගකීම් වත්මන් භික්‍ෂුව අතින් ඉටුවිය යුතුම ඒවාය. එම කාර්යයන් අතපසු වුවහොත් සමාජය අන්ත පරිහානියකට පත් විය හැකිය. එම නිසාම අද භික්‍ෂුවට සිදු වී ඇත්තේ සමාජ සේවය කිරීමටයි. මේ නිසාම ගිහි ජනයා සිතනුයේ ඔවුන්ගේ කටයුතු ඉටු කිරීම භික්‍ෂුවගේ අනිවාර්ය දෙයක් ලෙසය. එම දැක්ම වැරැදි දැක්මක් ලෙසින් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. කුල දරුවෙක් පැවිදි දිවියට පත්වන දවසේ පොරොන්දු වනුයේ පංශුකූල පිරිත් පින්කම් ඉටුකිරීමට නොව තම සසර ගමනේ දුක් කෙළවර කොට නිවන් මඟ අවබෝධ කර ගැනීමටයි.

“සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡි කරණත්ථාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මං භන්තේ අනුකම්පං උපාදාය “

සියලු දුක් නැති කරනු පිණිසද, නිර්වාණය අවබෝධ කරගනු පිණිසද, මේ කසාවත ගෙන මට අනුකම්පා කොට ස්වාමීනි පැවිද්ද ලබා දුන මැනවි. මෙම අධිෂ්ඨානයෙන් පැවිදි වන භික්‍ෂුව ගිහි සමාජයේ සෑම අවශ්‍යතාවයක්ම ඉටුකරනුයේ ඔවුන් කෙරෙහි පවතින කරුණා පිරි අනුකම්පාව නිසාමය. එසේ ගිහි සමාජයේ කටයුතු කිරීමේදි උන්වහන්සේලා අතින් සුළු සුළු අඩුපාඩු සිදුවීම වැළැක්විය නොහැකිය. අද සමාජයේ ගිහියා ඇතැම් විට භික්‍ෂුවගේ සේවයට වඩා සොයනුයේ ශීලයයි. භික්‍ෂුවක් සිල්වත්ද නැද්ද? යන්න නිර්ණය කිරීමට යොදාගත් ක්‍රමවේදය පුදුම සහගතය. හිස කෙස් මදක් වැවී ඇති නම් පාවහන් පළඳීන්නේ නම් එවැනි භික්‍ෂුව දුශ්ශීලය. එසේ නොකරන භික්‍ෂුව සිල්වත් ලෙස විශ්වාස කරයි. භික්‍ෂුව දකින්නා තුළ ප්‍රසාදයක් ඇතිවන අයුරින් සිටිය යුතුය යන්න අප ද පිළිගන්නා කරුණකි. එහෙත් කිව යුතු කරුණක් ඇත. යමෙකුගේ ශීලය පවතින්නේ හිසකේ හෝ පාවහන් තුළද? සමහර භික්‍ෂූන් වහන්සේලා විවිධ රෝගී තත්ත්වයන් නිසා අපහසුතා ඇති බවද සඳහන් කළයුතුය.මේ පිළිබඳ සිතා බලන්න. මෙවැනි බාල ක්‍රමවේද මගින් භික්‍ෂුව පිළිබඳ වැරැදි ආකල්ප ගොඩනැගීම හාස්‍යජනක නොවන්නේද?

වත්මන් සමාජයේ තරුණ භික්‍ෂුවගෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර අගේ නොකොට උන් වහන්සේලාගේ වැරැදි පමණක් සොයමින් සිටීම නිවැරැදිද? සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට බුදු පිළිම පන්සල් ගෙවල් පමණක් තිබීම ප්‍රමාණවත් යැයි යමෙකු සිතන්නේ නම් එය ඉතා වැරැදිය. ඒවා ආරක්‍ෂා කරන්නේ භික්‍ෂූන් වහන්සේලාය. එහි වැඩි කාර්යභාරයක් කරන්නේ තරුණ භික්‍ෂූන් විසිනි. මේ තරුණ හාමුදුරුවරු තම දෙමාපියන්ගේ සෙනෙහස අතැර බුදු සසුන රැකීමට පිවිසෙන පුංචි හාමුදුරුවන්ට දායකයන්ගේ සෙනෙහස ලැබිය යුතුයි නේද? එම සෙනෙහස උන්වහන්සේලා බලාපොරොත්තු වෙති. ඇතැම් විට තරුණ භික්‍ෂුවගෙන් සිදුවන සුළු අඩුපාඩු ආදරයෙන් පෙන්වා දිය යුතු යි නේද? ගමේ පන්සලේ පුංචි හාමුදුරුවරුන්ගේ අම්මා, තාත්තා ගමේ දායක දායිකාවන්ය. එබැවින් උන් වහන්සේලාටද කරුණාව, දයාව අනුකම්පාව දැක්විය යුතුයි නේද? එසේ නොමැතිව වැරැදි අඩුපාඩු පමණක් සෙවීම තුළින් භික්‍ෂූන් ආරක්‍ෂා කරගත හැකිද?

ගිහි සමාජය තුළ ගත් කල විවිධ වර්ගයේ මිනිස්සු ජීවත්වෙති. ඔවුහු අතර හොඳ නරක යන දෙපිරිසම සිටිති. එසේම භික්‍ෂු සමාජය තුළද විවිධ අදහස් ඇති භික්‍ෂූහු වෙති. ඒ අතර හොඳ නරක දෙපක්‍ෂයම වේ. බුදුන් වහන්සේගේ සමයේ දී පවා වැරැදි කළ ශ්‍රමණයන් සිටිය බවට ශාසන ඉතිහාසයෙහි දී ඕනෑ තරම් තොරතුරු අපට හමුවේ. එමගින් සමස්ත සංඝ සමාජයටම එම වැරැදි, ආරෝපණය කිරීම සර්ව සාධාරණ නොවන්නේය. මක් නිසාද යත් සිවුරු පොරවා ගත් ශ්‍රමණ වේශධාරින් ද ඇතැම්විට සිටින බැවිනි. එබඳු සිවුරු ඇඟලා ගත් චීවරධාරින් සිදුකරන පහත් අසභ්‍ය වැරැදි සංඝ සමාජයට බැර කිරීම කොතරම් යුක්ති සහගත වන්නේ දැයි මදකට සිතා බලන්න. තවද සංඝ සමාජය තුළ ජීවත් වන්නේ මිනිස් සමාජයේ තවත් වැදගත් කොට්ඨාසයකි. ඔවුන් අතින්ද වැරැදි සිදුවිය හැකිය. එය ස්වභාවික කරුණක් වේ. කුමක් නිසාද යත් උන්වහන්සේලා තුළ කෙලෙස් පැවතීමයි. එහෙත් උන් වහන්සේලා ගිහියන්ට වඩා බොහෝ සෙයින් ආධ්‍යාත්මිකව දියුණු අතර සිතන්නේද ආධ්‍යාත්මිකවය. භික්‍ෂුව මේ සමාජය වෙනුවෙන් මෙන්ම රට ජාතිය හා සම්බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස ජීවිතය පවා පරිත්‍යාග කළ බවද සිහියේ තබා ගත යුතු අතර අතීතයේ එසේම ජීවිත පරිත්‍යාග කර ඇති පැවිදි උතුමන් පිළිබඳ සඳහන් වේ.

භික්‍ෂුවගෙන් මේ සමාජයට සිදුවන සේවාව අතිමහත් වූවකි. එවැනි උතුමන් පිළිබඳ සමාජයේ ඇති විවිධ ආකල්ප නිසා අද භික්‍ෂුවට බස් රථයේ හිමි අසුන පවා දීමට මැලිකමක් දක්වති. එහෙත් ඒ තුළින් සිදුවන්නේ බෞද්ධ අපට නිගාවකි. එම නිසා අප කළ යුත්තේ භික්‍ෂුව ආරක්‍ෂා කිරීම නොවේද? එසේ නොමැතිව එක්කෙනෙක් දෙන්නෙක් කරන අයහපත් ක්‍රියා නිසා මේ වටිනා සම්පතට දොස් නැගිය යුතුද? අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් මේ සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරයි. ඒවා අතර නිකමුන් හට සිවුරු පොරවා මහ සංඝරත්නය අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරීම මූලික පදනමක් වේ.ඒ තුළින් සංඝ රත්නය මෙන්ම සම්බුද්ධ ශාසනය විනාශ කිරීම ඔවුන්ගේ උත්සාහය විය හැකිය. ඒ බව සිහි බුද්ධියෙන් වටහාගෙන කටයුතු කිරීම මේ යුගයේ ඉතා වැදගත් අවශ්‍යතාවයයි. එසේ නොමැතිව සිහි බුද්ධියෙන් තොරව ක්‍රියා කිරීමෙන් අපේ කුලදෙටුවන් අපෙන් ඈත් කිරීමට උත්සාහ දරන අයට සහය දිය යුතුද? නැත. අප කළ යුත්තේ උතුම් වු මහා සංඝ රත්නයෙහි වටිනාකම සමාජය තුළ ව්‍යාප්ත කිරීමයි. එය මහත් පුණ්‍යකර්මයකි.

තෙරුවන් සරණයි

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]