Print this Article


අප්‍රමාදයට හේතු වන මරණානුස්සති භාවනාව

අප්‍රමාදයට හේතු වන මරණානුස්සති භාවනාව

“එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො එකන්ත නිබ්බදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො එකධම්මො ? මරණසති”

“එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ බහුල වශයෙන් නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, කෙලෙස් දුරුවීම පිණිස සන්සිඳීම පිණිස, විශිෂ්ට ඥාන ලැබීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් සුවය අත්පත් කරගැනීම පිණිස පවතින්නේය. කවර එක් දහමක්ද යත්, මරණ සතිය වැඩීමයි.”

මැරෙන බව සිහිනුවණින් මෙනෙහි කිරීම අප්‍රමාදිභාවයට පමුණුවන්නේය. ප්‍රමාද වීම සිත තුළ නීවරණ හටගැනීමයි. අපවිත්‍ර වූ සිතෙහි සත්‍ය දහම අවබෝධ කරගැනීමට හැකියාවක් ඇත්තේම නැත. දහම් ඇස පහළ නොවන්නේය. මෙලොව පරලොව දෙලොව පිරිහීමට පත්වන්නේය. සසර දීර්ඝ වන්නේය. මරණ සතිය වැඩීමෙන් තරුණ මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදයෙන් මත් නොවී සංවේගය බහුල කොට ප්‍රකට කරමින්, සසර බියකරු බව ප්‍රත්‍යක්‍ෂ කර දෙමින් , සියලු දුකින් මිදීමට මඟ විවෘත කර අමෘත මහ නිවනට සිත පත්කර වන්නේය.

ජරා ධර්මය කරා ඇදී යන සිත අජර ධර්මය කරා පරිවර්තනය කර ගැනීමටත් ව්‍යාධි ධර්මය කරා නිරන්තරයෙන් ගිලන් වන සිත නොගිලන් භාවයට වහා පමුණුවා ගැනීමටත් ජාති ධර්මය කරා කර්ම රැස්කරවන සිත කර්ම රැස් නොකොට අජාතිභාවයට පත්කරදීමට මරණය කරාම ඇදී යන අවිද්‍යා සහගත සිත අමරණීයත්වයට පත්කරගැනීමටත් මරණ සතිය බහුල කොට වැඩීම බෙහෙවින් උපකාරි වන්නේය. අතීතයෙහි ද ලොව්තුරු සුවය අත්පත් කර නොගත් එහෙත් කාමයන්හි විෂ්කම්භන වශයෙන් වීතරාගි වූ අරක නම් ශාස්තෘතුමා තම ශ්‍රාවකයන්ට ජීවිතයේ අස්ථිර බව වටහා දෙමින් මරණ සතිය වඩන ආකාරය පිළිබඳ අවවාද අනුශාසනා කළ ආකාරය විමසා බලමු.

“බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය අස්ථීරය. ස්වල්පය, දීර්ඝකොට නොවෙයි. බොහෝ දුක් සහගතය. උපායාස බහුල වන්නේය. නුවණින් අවබෝධ කරගත යුතුය. කුසල් දහම් අප්‍රමාදව වැඩිය යුතුය. බ්‍රහ්මචරිය හැසිරිය යුතුය. උපන්නහුට අමරණයෙක් නැත. මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේය.

බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය තණපත අගැ පිනි බිඳ වැන්නය. හිරු උදාවත්ම පිනිබිඳ පතිත වී වහා නොපෙනී යන්නේ යම්සේද චිරස්ථායි නොවේද මිනිසුන්ගේ ජීවිතය එයට උපමා කොට ඇත.

* වැසි පොද වැටෙන විට හටගන්නා දියබුබුළු වහා නොපෙනී යන්නා සේද

* දණ්ඩක් ගෙන දියෙහි ඇඳි ඉරක් සේද

* කඳු මුදුනෙන් හටගත් වේගවත් ජලපහර නොනැවතී ගලා බසින්නේ යම්සේද

* බලවත් පුරුෂයකු දිවගට ගත් කෙළ පිඩක් සේද

* දවසක් රත්කළ යකඩ කබලකට දැමූ මස් ටිකක් ලෙසද

* මරණයට නියම වු ගවදෙනක වධකාගාරයට පියවරක් පියවරක් පාසා සමීපවන්නා සේද උපන්නාවු සත්වයාට (මිනිසුන්ට ) මරණය උරුම වන්නේය. ජීවිතය ස්වල්ප වන්නේය. අස්ථිර වන්නේය.”

අරක ශාස්තෘතුමා මිනිසුන්ට එසේ අවවාද කරන කාලවකවානුව තුළදි ආයුෂ වර්ෂ සැට දහසක් පමණ විය. වයස අවුරුදු පන්සියය එළැඹෙන විට කුල කුමරියන් විවාහයට පත්වන්නේය. එතැන් පටන් ස්වාමි, දු දරුවන් සමඟ වයස වර්ෂ සැටදහස දක්වා ආයුෂ විඳින්නේය. ආබාධයන් සයක් පමණක් වන්නේය. ශීතය, උෂ්ණය, බඩගින්න, පිපාසය, මළපහ කිරීම සහ මුත්‍රා කිරීම ය යන්නයි.

මෙම අනුශාසනාව කරනු ලබන්නේ දීර්ඝායුෂ ඇති, අල්ප ආබාධ ඇති තම ශ්‍රාවක පිරිසටය. එබැවින් මේ සමයෙහි පරමායුෂ වසර අසූවක් පමණැති කාල පරිච්ඡේදය තුළ කෙතරම් උනන්දුවෙන් මරණ සති භාවනාවන් වැඩිය යුතුද යන්න සලකා බැලිය යුතුය. අප ලොව්තුරා බුදුන් වහන්සේ අරක ශාස්තෘතුමාගේ ඉහත ප්‍රකාශනය මනාකොට මතු කර දක්වමින් තමන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂුපිරිසට මරණ සතිය වැඩීමෙන් අප්‍රමාදි වන අයුරු දේශනා කළ සේක.

“මහණෙනි,අරක ශාස්තෘතුමා කියන ලද්දේ සත්‍යයක්මය. මනුෂ්‍යයාගේ ජීවිතය ස්වල්පය. දීර්ඝ කාලයක් නොවේය. බොහෝ දුක් ගැහැට විඳිය යුතුය. උපායාස බහුලව ඇතිවෙයි. මනා නුවණින් විමසිය යුතුය. අප්‍රමාදව කුසල් දහම් ඇතිව ආර්ය මාර්ගය (බ්‍රහ්මචරිය) වැඩිය යුතුය. උපන්නාහුට අමරණයක් නැත. මරණය ඒකාන්ත කොට ඇත්තේය. මහණෙනි, මෙකල්හි යමකු දීර්ඝායුෂ විඳින්නේ නම් සියක් වසරක් හෝ ඊට ස්වල්පයක් වන්නේය. සැටදහසක් ආයුෂ ඇතිකල ආබාධයන් සයක් පමණක් තිබියදීත් ජීවිතයේ අස්ථාවර බව මෙනෙහි කොට අප්‍රමාදව කුසල් සිත වැඩුවේ නම්, සියක් වසර දක්වා ආයුෂ අඩු වූ කල ආබාධද බොහෝ වන හෙයින් කුසල් සිත (මරණ සතිය) නිරන්තරයෙන් මෙනෙහි කටයුතුය.

මහණෙනි, සියක් වසරක් ජීවත්වන කෙනෙකු ඍතු විපර්යාසයටද දුකසේ මුහුණ දිය යුතුය. කායික, මානසික දුක් ගැහැට බොහෝ වන්නේය. සියක් අවුරුදු හේමන්ත ඍතුවද සියක් වසක් ගී‍්‍රෂ්ම ඍතුවද සියක් වසක් වර්ෂා ඍතුවද මෙසේ ඍතු තුන්සියයක්ම ගෙවිය යුතු වන්නේය. මෙසේ දුකසේ ජීවත්වන හෙතෙම කොපමණ ආහාර ලබාගන්නේද ආහාරය කරණකොටගෙන ඇතිවෙන ආබාධ බහුල වන්නේය. (ගිරිමානන්ද සූත්‍රයේ, ශාරීරික රෝග වැළැඳීම පිළිබද කරුණු අන්තර්ගත කොට ඇත. කියවා කයේ අස්ථිර බව වටහා ගන්න) වයස්ගතව මරණාසන්න වූ විට ආහාර නොගෙන ද්වාරයන් ගේ් පිරිහීම ඇතිව, අපමණ දුක් විඳින්නේය. ඉපැදීම කරණ කොටගෙන ජරා, ව්‍යාධි, මරණ දුක් සමුදාය ඇතිවන්නේය.

මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂි වූ, අනුකම්පා ඇති ශාස්තෘන් විසින් යමක් කටයුතු සඳහා දේශනා කරන ලද්දේද ඒ හැම සංවේගයෙන් යුතුව මා විසින් ඔබට ප්‍රකාශ කරන ලදී. තෙල රුක්මුල් ඇත. ශූ®න්‍යාගාර ඇත. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් සිත මුදවාගෙන ධ්‍යාන වඩවු. විදසුන් වඩවු. අප්‍රමාදව වාසය කරවු. පසුව විපිළිසර නොවවු. මේ තොපට මාගේ අනුශාසනාවයි.”

‘නාදික’ නම් ගමෙහි වැඩ වසන ලොව්තුරා බුදුන්වහන්සේ දිනක් මහණෙනි’යි භික්‍ෂූන් වහන්සේ ඇමතූ සේක.

“මරණ සති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමත පරියොසානා. භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ මරණ සතින්ති”

“මහණෙනි, භාවිතයෙන් බහුල කොට වඩන මරණසතිය මහත්ඵල මහානිසංස වෙයි. නිවන් පිහිට කොට ඇතියේ වෙයි. නිවන පරම කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහුදැ” යි මෙසේ වදාළ කල්හි පළමුවැනි භික්ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ හ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට මේ බඳු, සිතක්වෙයි, මමද මෙසේ මරණ සතිය වඩන්නෙමි”

“මහණ , ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහිද? ”

“මම එක් රෑ දවාල ජීවත්වෙන්නේ වේයැයි සිතා ඒතාක් කල් සෝවාන් ආදි ආර්ය මඟ ඵල නුවණින් ප්‍රතිවේධය පිණිස වීර්යයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි යෙදෙමි. මා විසින් ආත්ම හිත පිණිස මහණ කිස කරමි”

දෙවනුව අන්‍යතර භික්‍ෂුවක විසින් මරණ සතිය වඩන ආකාරය ප්‍රකාශ කරන ලදී. කෙසේද යත්,

“මට මෙබඳු සිතක් වෙයි. මම දවසක් ජීවත්වන්නේ යැයි සිතා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය ඵලය ලැබීම පිණිස ආත්ම හිත සුව පිණිස මරණ සතිය වඩමින් මහණ කිස කරමි.”

තෙවැනි භික්‍ෂූන් වහන්සේ විසින් මෙසේ සැල කරන ලදී

“මම ද භාග්‍යවතුන් වහන්ස, මරණ සතිය වඩමි”

“මහණ, තෙපි කෙසේ මරණ සතිය වඩන්නෙහිද?”

“මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළඳන කල්ජීවත් වන්නේ යැයි සිතා එම කෙටිකාලය තුළ ආර්ය ඵලය ලැබීමට වීර්යය කරමි.”

තවත් භික්‍ෂුවක් විසින් මෙසේ සැලකරන ලදී.

“භාග්‍යවතුන් වහන්ස මමද මරණ සතිය වඩමි. ”

“ මහණ කෙසේ මරණ සතිය වඩහිද ?”

“ මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් සතර බත් පිඬක් වළඳයිද ඒ තාක් ජීවත් වන්නේ වේ යැයි සිතා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ආර්යඵලය ලැබීමට ආත්ම හිත පිණිස මරණ සතිය වඩමින් මහණ කිස කරමි.”

තවත් භික්‍ෂුවක මෙසේ සැළ කළේය.

“මම ද භාග්‍යවතුන් වහන්ස මරණ සතිය වඩමි”

“මහණ තෙපි කෙසේ මරණ සතිය වඩහිද?”

“මට මෙබඳු සිතක්වෙයි. යම් පමණ කලකින් එක් ආහාර පිඩක් වළදම්ද, එතෙක් ජීවත් වන්නේ යැයි සිතා ඒ සුළු කාලය තුළ ශාස්තෘ ශාසනය තුළ ආර්ය ඵලය ලැබීමට උත්සාහවත් වෙමින් මහණ කිස ඉටු කරමින් මරණ සතිය වඩමි.”

අන්‍යතර භික්‍ෂුවක විසින් මෙසේ සැල කරන ලදී.

“භාග්‍යවතුන් වහන්ස, මම ද මරණ සතිය වඩමි.”

“මහණ, තොප කෙසේ මරණ සතිය වඩහිද?”

“භාග්‍යවතුන් වහන්ස, ආශ්වාස කොට ප්‍රාශ්වාස කරයිද, ප්‍රාශ්වාස කොට ආශ්වාස කරයිද, එතෙක් කල් ජීවත්වන්නේ වේයැයි සිතා ශාස්තෘ ශාසනය තුළ ආර්ය ඵලය ලැබීමට ආත්මහිත පිණිස මරණසතිය වඩමින් මහණ කිස කරමි.”

මෙසේ කී කල්හි මුලින් සඳහන් කරන ලද පළමුවැනි, දෙවැනි, තෙවැනි හා සිවුවැනි, භික්‍ෂූහු ප්‍රමාද විහරණයෙන් යුතුව වෙසෙති’යිද ලිහිල් කොට වෙසෙති’යිද ආශ්‍රවක්ෂය කිරීම පිණිස මන්දගාමීව මරණ සතිය වඩන අය වෙතියිද දැක්වූ බුදුපියාණන් වහන්සේ පස්වැනි හා සයවැනි භික්ෂු දෙනම අප්‍රමාදව කෙලෙස් තවන විර්යයෙන් යුතුව ආශ්‍රවක්ෂය සඳහා තියුණු කොට මරණ සතිය වඩන අය වෙතැයි ප්‍රශංසා කළ සේක. මෙම දෙසුම කෙළවර නැවතත් භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, පස්වැනි හා සයවැනි භික්‍ෂූන් වහන්සේ මෙන් අප්‍රමාදව ආශ්‍රවක්ෂය පිණිස මරණ සතිය වඩම්හ’ යි මෙසේ ශාස්තෘ ශාසනය තුළ හික්මිය යුතුයැ”යි වදාළ සේක. මෙසේ ඔබද සෑම ඉරියව්වකදීම, මනා සිහිනුවණින් යුතුව, සෑම ක්‍රියාවක්ම විදර්ශනා පාදක සිතින් බලමින් මරණ සතිය වැඩීමට උත්සාහ කරන්න.