Print this Article


සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය

සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය


චෛත්‍ය

මාතර දිස්ත්‍රික්කයට අයත් කෙත්වතු වලින් පිරුණු සශ්‍රීක ගම්මානයකි සූල්තානාගොඩ එම ගමෙහි උස් බිමක තැනූ මනරම් විහාරස්ථානයකි, සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය. එම විහාරාස්ථානය ඉදිවීමට පෙර ගම්වාසීන් ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා කළ පුදබිමක් ලෙස එම ස්ථානය පැවතුණි.

එවකට මෙම ස්ථානයට වැඩම කළ අගලකඩ ධම්මරක්ඛිත නා හිමියන් විසින් එම පුදබිම භික්‍ෂු ආරාමයක් ලෙස 1760 වර්ෂයේදී ආරම්භ කර ගොඩනගා උන්වහන්සේ මෙහි ප්‍රථම වරට වස් විසූහ. ඉන්පසු කාලයාගේ ඇවෑමෙන් මෙහි වැඩම කළ සුමංගල නා හිමියන් විසින් සංඝාවාසයක්, ධර්ම ශාලාවක්, කුඩා විහාර මන්දිරයක් ඉදිකරමින් විහාරස්ථානය දියුණු කළහ. ඉන්පසු වැඩම කළ අලපලාදෙණියේ ධම්මරතන හිමියන් විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසු භික්‍ෂු සිසුන් කිහිප නමක් බිහිකළ අතර ඉන් එක් ශිෂ්‍යයෙක් වූ සාලයායේ පියදස්සි හිමියන් විහාරාධිපති වී විහාරයේ දියුණුවට ක්‍රියා කළහ.


විහාර මන්දිරය

පියදස්සි හිමි හදිසියේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ පැවිදි සොහොයුරු පරදූව සෝභිත හිමි නායකත්වයට පත්වෙමින් උන්වහන්සේ විසින් සංඝාවාසය නවීකරණය කර චෛත්‍ය දෙමහල් ධර්මශාලාව, විහාර මන්දිරය ගොඩනගමින් විහාරස්ථානයේ දියුණුවට විශාල වැඩ කොටසක් සිදු කළහ.

පණ්ඩිත සූල්තානාගොඩ විමලසිරි නා හිමියන් විහාරාධිපති වීමෙන් අනතුරුව අගලකඩ භික්‍ෂු පරම්පරාවට අයත් වැලිගම අග්‍රබෝධි විහාරස්ථානයට මෙම විහාරය පැවරූහ. වැලිගම අග්‍රබෝධි විහාරස්ථානයේ වැඩ සිටින වර්තමාන විහාරාධිපති දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම විහාරයේ කරාගොඩ රෝහණ, අගලකඩ විජිතධම්ම ස්වාමීන් වහන්සේලාගේ මග පෙන්වීමෙන් දායක සභාවේ සහයෝගයෙන් විහාරයේ වැඩදියුණුවට සංවර්ධන කාර්යයන් රැසක් සිදු කරන අතර,මෙහි දැන් ශ්‍රී සෝභිත දහම් පාසල, ශ්‍රී සෝභිත කලායතනය, ශ්‍රී සෝභිත පෙර පාසල ඉතා දියුණු මට්ටමින් පවත්වාගෙන යයි.


ධර්ම ශාලාව

සුල්තානාගොඩ වරකපිටිය උලුගෙදර කෙත්සිරි නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් ඩී.ඒ. රාජපක්‍ෂ මහතාට පින් පිණිස දෙහිවල කවුඩාන දෙවෙනි පටුමගේ අංක 07 නිවසේ පදිංචි අනුර චන්ද්‍ර කීර්ති තනිවීර මහතා ප්‍රධාන පවුලේ ඥාතින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරනු ලැබූ ‘ඩී.ඒ. රාජපක්‍ෂ ගුණානුස්මරණ සීමාමාලකය, ධාතු මන්දිරය, පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල සඟ සතු කිරීමත්, බෝධින් වහන්සේ උදෙසා රන්වැටක් පූජා කිරීමත් මේ මස 17,18,19 තෙදින තුළදී උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ.


විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත නා හිමි

වාර්ෂික කඨින පින්කමට සමගාමීව පවත්වනු ලබන එම පින්කම මාලාව තුළදී 18 දා පෝදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ද පසුදින 19 දා සංඝගත දක්ෂිණාවක් පවත්වා මෙහි වැඩ සිට අපවත් වී වදාළ මහා සංඝරත්නය වෙනුවෙන් පූණ්‍යානුමෝදනා සිදු කොට දායක සභාවේ සියලු දෙනාටත් මිය ගිය ඥාතින්ටත් පුණ්‍යානුමෝදනා කෙරේ.