Print this Article


පොත් පුවත්

පිරුවානා පොත් වහන්සේ

සංස්කාරක – ශාස්ත්‍රපති නාවින්නේ සුගුණධම්ම හිමි
ප්‍රකාශනය –ඈපා පොත් හල සහ මුද්‍රණ සමාගම
592,මරදාන පාර, කොළඹ 10
මිල - රු. 500 යි

බෞද්ධ ජන ජීවිතය හා අතීතයේ සිට බැඳී පවත්නා ධර්ම ග්‍රන්ථ අතරින් පිරුවානා පොත් වහන්සේ යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබන ‘මහ පිරිත් පොත’ ට ලැබෙනුයේ සුවිශේෂි තැනකි. අතීතයේ සිට අද දක්වා මෙම තත්වය රැඳී පවතිනුයේ මේ තුළින් ඔවුන් ලබන ප්‍රයෝජනය ඉමහත් බැවිනි. ලංකාවේ මුද්‍රණ ශිල්පය දියුණු නොවූ යුගවල පවා තල්පත්වල ලියා ඉමහත් ගෞරවයෙන් පිරිත් පොත් වහන්සේ ආරක්‍ෂා කරගෙන ආ බව නොරහසකි. මුද්‍රණ ශිල්පය දියුණුවෙත්ම භාවිතයට පහසු ලෙස විවිධාකාරයෙන් මුද්‍රණය වී තිබේ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි උප පරිවේණාධිපති ශාස්ත්‍රපති නාවින්නේ සුගුණධම්ම ස්වාමීන්වහන්සේ ගේ සංස්කරණයෙන් සම්පාදනය වී ඇති ‘පිරුවානා පොත් වහන්සේ’ කියවා බැලීමේදී උක්ත දෝෂයන් බොහෝ මඟහැර ග්‍රන්ථ ගෞරවය රැකෙන සේ පාලි භාෂනයට අනුරූපිව කළ සංස්කරණයකි.

විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සාරගර්භ ප්‍රස්තාවනාවකින් සමන්විත මෙහි ඇති විශාල ප්‍රමාණයේ අක්‍ෂර නිසා ලෙහෙසියෙන් කියවීමට පුළුවන.

පිරිත් පේ කිරීමේදී පද පිළිවෙල නොවරදවා දේශනා කරලීමට හැකි අයුරින්ද ,සෙත් පිරිත් දේශනා, විහාර අස්න, අනුශාසනා, දොරකඩ අස්න, පැවිදි පක්‍ෂයට අවශ්‍යම කරන ඇවැත් දේශනා වාක්‍ය ආදියද ගිහි පැවිදි දෙපක්‍ෂයටම අවශ්‍ය ප්‍රයෝජනවත් අන්දමට මෙම පිරුවානා පොත් වහන්සේ සංස්කරණය වී තිබෙයි.


ජයග්‍රාහී ජීවිතය

ජීවිතය ජය ගැනීමේ විද්‍යාව
කර්තෘ - ආනන්ද විජේසූරිය
ප්‍රකාශනය - ආනන්ද විජේසූරිය
104/2 සී, ටෙම්ප්ලර් පාර, ගල්කිස්ස
මිල - රු. 270 යි

පුද්ගලයකු මෙන්ම පවුලක් ලෙස, සමාජයක් ලෙස පිරිහීමට අසාර්ථකත්වයට දුකට පත්වන්නේ නම් ඉන් මිදී ජයග්‍රහණය, දියුණුව සතුට වෙත යොමුකරවන තාක්‍ෂණය අප දැනගත යුතු බවත් ආලෝකය සොයා හදවත පතුලට යන ගමනට පෙළඹුමක් ඇති කිරීමට ඇරැයුම් කිරීමට මෙය සම්පාදනය කර තිබෙන බව පෙරවදනින් අදහසක් ඵල කර තිබෙයි. ග්‍රන්ථයේ තේමාව අනුව කියැවෙන්නේ සියල්ලටම විසඳුම් විශ්වාස කිරීමට නොව ජය මාවතේ සිටිමින් සොයා යාමය අත්විඳීම බවය.

 


නොපෙනෙන ලෝකය 2

කර්තෘ – මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
ප්‍රකාශනය - සීමාසහිත එස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම
මිළ - රු. 350 යි

‘රිවිර’ ඉරිදා පුවත්පතෙහි ‘යති සිතු දම් ‘ නමින් වු විශේෂාංග පිටුවට ලියන ලිපි එකතුවෙන් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වී තිබෙයි.

පොතට යති සිතුදම් නමින් හැඳින්වීමක් සපයමින් මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය මෙසේ සඳහන් කරයි. මෙම කෘතියෙහි සංග්‍රහ කර දක්වා ඇති ලිපි පෙළ පාඨකයා තුළ කියවීමේ රුචිය වඩවාලන පරිදි සකස් කොට ඇත. ඒවාට යොදා ඇති මාතෘකාවල සරල බව සමගම එයින් කියවෙන දේ පිළිබඳ ඉඟියක් පාඨකයාට ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

මෙහි දක්නට ඇත්තේ සාමාන්‍ය ශ්‍රාවක පිරිසකට තේරුම්ගත හැකි වන පරිදි දහම් කරුණු එදිනෙදා ජීවිතයට අර්ථවත් වන පරිදි ගළපා සරලව ඉදිරිපත් කිරීමකි.


නොපෙනෙන ලෝකය 3

කර්තෘ – මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
ප්‍රකාශනය - සීමාසහිත එස්.ගොඩගේ සහ සහෝදරයෝ මිළ - රු. 350 යි

රිවිර පුවත්පතට ලියු ‘යති සිතුදම් ‘ නමැති තීරු ලිපි පෙළේ දෙවෙනි කොටස නොපෙනෙන ලෝකය 3 නමින් ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්වී තිබේ.

සූත්‍ර ධර්ම දේශනා ඇසුරෙන් සැකසී ඇති ලිපි පෙළෙහි දී මිනිසකුගේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය වන ධර්ම කරුණු සහ ඔවුන් නොසිතන පැති සරළව පැහැදිලි කර දී තිබෙ යි.




 


සඵල දිවියකට බොදු මඟ

කර්තෘ – ඒ.එම්. ප්‍රේමරත්න
ප්‍රකාශනය – ඇස්.ගොඩගේ සහ සහෝදරයේ
675,පී.ද.ඇස්. කුලරත්න මාවත, කොළඹ 10
මිල - රු. 450 යි

‘බුදුසරණ’ පුවත්පතට වසර අටක පමණ කාලයක් තුළ ලියන ලද ලිපි එකතුවකින් තෝරාගත් ලිපි මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.

ගණිත ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කර්තෘවරයා විශ්‍රාම ගන්නා විට කලාපීය ගණිත ගුරු උපදේශකවරයකු ලෙස සේවය කළේය.


 


බෞද්ධ සමාජ විද්‍යා ප්‍රවේශය

කර්තෘ - ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු. 400 යි

මෙම ග්‍රන්ථය පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට සිංහල භාෂා මාධ්‍යයෙන් කරන මාහැඟි ප්‍රදානයකි. විද්‍යාත්මක සමාජ විද්‍යා දෘෂ්ඨි කෝණයකින් මුල් බුදු සමයේ එන ඇතැම් කරුණු විග්‍රහකොට දැක්වීමට ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා දරා ඇති උත්සාහයට සමාන උත්සාහයක් සිංහල භාෂාවෙන් ලියැවී ඇති අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන බව කිව යුතුය. පොතට පසු වදනක් සපයමින් මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා ඉහත ප්‍රකාශය සටහන් කර තිබෙයි. ග්‍රන්ථයට පෙරවදන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා විසින් ලියා ඇති අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙනිසන් පෙරේරා මහතා ද හැඳින්වීමක් සපයා ඇත.


 


දිවිමගට නිසිමග

කර්තෘ - ධර්මාචාර්ය අතාවුද සෝමරත්න
ප්‍රකාශනය – ආරිය ප්‍රකාශකයෝ
බෞද්ධ විද්‍යාලය මාවත, වරකාපොල
මිල - රු. 120 යි

වර්තමාන දේශීය සමාජයේ මේ ශෝක ජනක සදාචාර පරිහාණියට පියවර 13 කින් ආලෝකය ගෙන දෙමින් නොමඟට පිවිසි මිනිස් සිත සංවර කිරීමේ උපදෙස් මාලාවක් ඉදිරිපත් කෙරෙන අඹේපුස්සේ කථිකාචාර්ය ගුරු උපදේශක උපාධිධාරි අතාවුද සෝමරත්න මහතාගේ් දිවිමගට නිසි මග කාලෝචිත ධර්ම සංග්‍රහයක් බව පණ්ඩිත ගොඩපිටියේ ධම්මරතන නා හිමියෝ පොතට ප්‍රස්තාවනාවක් ලියමින් සඳහන් කරති.

සූත්‍ර පිටකයේ විවිධ සූත්‍ර දේශනා සාධක කර ගනිමින් මිනිසා හරහා සමාජයට අර්ථවත්ව කරුණු විග්‍රහ කිරීම පොතේ මුඛ්‍ය අරමුණ වී තිබේ.

 


සූත්‍රාන්ත ධර්ම දේශනා

සංස්කාරක – ටිකිරි බණ්ඩාර සිලෝගම
ප්‍රකාශනය – ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
675,පී.ද.ඇස්. කුලරත්න මාවත, කොළඹ 10
මිල – රු. 350 යි

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා බෞද්ධයා නාලිකාව මගින් පවත්වන ලද ධර්ම දේශනා එකොළහක් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ. ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරුවෙන් විහාරාධිපති ධර්මකීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිටක, විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල නා හිමියන්ගේ ධර්ම දේශනා පොතට ඇතුලත්ව ඇත.