Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 18 ජම්බුක මහ රහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 18

ජම්බුක මහ රහතන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් මහරහත් භාවයට පත් වූ ජම්බුක නම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

මීට කල්ප බොහෝ ගණනකට පෙර අතීතයේ උන්වහන්සේ සිටු පුත්‍රයෙක් ලෙස ඉපදී සිටියා. එකල භාග්‍යවත් අරහත් ‘තිස්ස’ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. දස බිම්බරක් මාර සෙනඟ පරදවා තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ් උන්වහන්සේගේ ඒ උතුම් සම්බෝධියට සෙවණ සැළසූ බෝධි වෘක්ෂය ගැන මේ සිටු පුත්‍රයාට විශාල පැහැදීමක් හට ගත්තා. ‘’භාග්‍යවතුන් වහන්සේ මාර සේනා පරදන මොහොතේ් උන්වහන්සේගේ තනියට දෙවිවරු හිටියෙත් නැහැ. බ්‍රහ්මයන් හිටියෙත් නැහැ. මිනිසුන් හිටියෙත් නැහැ. ඒත් සම්බුද්ධත්වයට පත්වන තුරුම උන්වහන්සේගේ තනියට සිටියේ මේ බෝධින් වහන්සේ ‘’ යැයි සිහිපත් කරමින් සිත පහදවාගෙන බෝධි වෘක්ෂයට වන්දනා කොට විජිනිපතක් පූජා කළා.

ඒ උතුම් පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව ඉපදී අප්‍රමාණ දිව්‍ය සැප අනුභව කළා. මේ මහා භද්‍ර කල්පයේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මනුලොව ඉපදී භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදිි බව ලැබුවා. නමුත් ඉතාම අවාසනාවන්ත ලෙස ඒ පැවිදි ජීවිතය වරද්දා ගත්තා.

ජම්බුක මහරහතන් වහන්සේගේ ඒ අතීත පුවත ඉතා සංවේගජනක යි. එය හෙළි කොට වදාළේ අපගේ් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි.

කාශ්‍යප බුදු සසුනේ මහණකම වැරදි මරණින් මතු ඝෝර දුක් ඇති නිරයේ උපන්නා. යළි මිනිස් ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ අපගේ් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඔහු රජගහනුවර එක්තරා ධනවත් සැප සම්පත් පිරුණු පවුලක උපත ලැබුවා. හැබැයි මේ දරුවා කවදාවත් බත් කෑවේ නැහැ. කුඩා අවධියේ සිටම තමන්ගේ ම අසුචි කන්න පටන් ගත්තා. දෙමව්පියන් කොතෙකුක් උත්සාහ කළත් මේ ළමයාගේ අසුචි කෑම නවත්වන්න බැරිවුණා.

කුඩා අවදියේ සිටම ඇඳුමක් අන්දවන්න අමාරු වුණා. අන්ඳවන අන්ඳවන ඇඳුම ගලවා දානවා. මේ පොඩි දරුවා නිරුවතින්මයි ඉන්නේ. ඒ වගේම මේ දරුවා ඇඳක නිදි කරවන්න බැහැ. ඇවිත් බිම ම නිදියනවා. බිම ඇලවුනොත් විතරයි මේ දරුවාට නින්ද යන්නේ. මෙච්චර කෑම බීම තිබෙන ඇඳුම් පැළඳුම් තිබෙන, ඇඳ, පුටු තිබෙන පවුලක ඉපදුනත්, මේ ළමයාට තිබුණේ් මහා අසාමාන්‍ය දුක්ඛිත ගතිගුණ. අවසානයේ දෙමව්පියන්ට මේ දරුවාගේ හැසිරීම ලජ්ජාවට කාරණාවක් වුණා. කාටත් රහසේ මව්පියන් මේ ළමයා රැගෙන නිගණ්ඨයින් ළඟට ගියා.

ඉතින් දෙමව්පියන් මේ දරුවා සතුටින් භාර දුන්නා. නිගණ්ඨයින් මේ දරුවාට තපස් රකින හැටි, තනි කකුලෙන් සිටගෙන ඉන්න හැටි, තනි කකුලෙන් සිටගෙන අනිත් කකුල නවාගෙන කලවට තද කරගෙන සිටින හැටි ආදී නොයෙක් තපස් ක්‍රම ඉගැන්නුවා. දවස් ගණන් නොකා ඉන්න හැටි ඉගැන්නුවා. මේ ළමයා හැම දෙයක්ම ඉක්මණින් ම ඉගෙන ගත්තා. හැබැයි නිගණ්ඨයින් අතරේ මේ ළමයාගේ් හැසිරීම ගැන කසු කුසුවක් ඇතිවුණා. මොකද නිඝණ්ට ආශ්‍රමයේදීත් ඔහු බත් කෑවේ නැහැ. නමුත් ජීවත් වෙනවා. ජීවත් වීමට මොහු කන්නේ මොනවාද කියා නිඝණ්ඨයෝ දැනගෙන හිටියේ නැහැ.

දවසක් එක නිගණ්ඨයෙක් මේ දරුවා ඉන්න තැන සැඟවී සිටියා. රාත්‍රී එකට පමණ මේ ළමයා කරුවලේම නැගිට්ටා. කරුවලේම පිටත් වුණා. අර නිගණ්ඨයා හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ගියා. ඔහු නැවතුනේ ඒ ගම පිටිපස්සේ ඇති වැසිකිළිවල ළඟයි.

එතැනට ගිය මේ ළමයා අර අසුචි කාගෙන කාගෙන ගියා. මේ තැනැත්තාගේ අසුචි අනුභවය නිගණ්ඨ ආරාමයේ සියලුදෙනා දැනගත්තා. නිඝණ්ඨ ආශ්‍රමයෙනුත් මොහු එලවා දැම්මා. අවසානයේ මොහු තනියම කඳු ගැටයකට නැගලා දවසම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කඳු ගැටයකට අත්දෙක තියාගෙන උඩුඅත බලාගෙන කට ඇරගෙන ඉන්නවා. අමුතුම විදිහේ තපස් රකින කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා මිනිසුන්ට ආරංචි වුණා. ඔහු ‘ජම්බුක’ නමින් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු මේ තාපසයා බලන්න දුර ඉඳල එන්න පටන් ගත්තා. මිනිස්සු අහනවා ‘තමුන්නාන්සේ ඇයි පොළොවට කකුල් දෙකම තියෙන්නේ නැත්තෙ? එතකොට ඔහු මේ විදිහට මිනිසුන් රැවැට්ටුවා. ‘නුඹලා මොනවා කියනවද? මම මේ කකුල් දෙකම පොළොවේ තිබ්බොත් මහාපොළොව සෙලවී යාවි. කඳු පර්වත පෙරළේවි. කම්පා වේවි. මහා පොළොවට එහෙම උහුලගන්න පුළුවන්කමක් නැහැ. එතකොට මිනිස්සු පුදුමයෙන් වගේ බලාගෙන සාදු නාද දුන්නා. මහා බලසම්පන්න උත්තමයෙක් ආවා කියලා වැඳ වැටුණා.

මේ විදිහට තමන් සුළං අනුභව කරමින් ජීවත්වෙන බවත්, මහා බලසම්පන්න බවත් පවසමින් ලාභ සත්කාර ලබමින් ජීවත් වුණා. රාත්‍රියට කාටත් හොරෙන් ජම්බුක අසුචි වලෙන් අසුචි අනුභව කළා.

මේ විදිහට මොහුගේ ජීවිතය පනස් පස් අවුරුද්දක් ගෙවුනා. දවසක් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් රාත්‍රී වෙලාවක මෙතැට වැඩියා. භාග්‍යවතුන් වහන්සේත් එදා රැය ඒ පර්වතයේම ගත කළා. සුළු වෙලාවකින් ඒ පර්වතය ඒකාලෝක කරගෙන විටෙක සතරවරම් දෙවිවරුත්, විටෙක සක් දෙවිඳුත් විටෙක මහා බ්‍රහ්මයාත් භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණුනා.

මෙය දුටු ජම්බුක ආජිවකයාගේ මාන්නය දුරුවුණා. දමනය වුණා. නැමුනු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට වාඩිවුණා. එවේලෙහි ජම්බුක ආජිවකයාට බොහෝ දුක් විඳීමට හේතු වුණ අතීත ජීවිතය හෙළිදරව් කළා.

පින්වත් ජම්බුක, කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණා. ඒ කාලය ඔබ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂුවක්. අවුරුදු විසිදාහක් ආයුෂ තිබුණු ඔබ හොඳට සිල් රැක්කා. නමුත් කෙලෙස් දුරු කරන්න මහන්සි ගත්තේ නැහැ. ඔබ තුළ තිබුණ ඊර්ෂ්‍යාව නිසයි ඔබට මේ විපත වුණේ. ඉතින් ඔබ ගමක පන්සලක වාසය කළා. සැදැහැවතුන් ඔබට ආදර ගෞරවයෙන් උපස්ථාන කළා. දවසක් ඒ පන්සලට තව භික්ෂුවක් වැඩියා. ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ඔබ එය හිතුවේ නැහැ. ඒ භික්ෂුව කෙරෙහි පැහැදුනෙත් නැහැ. ඔබ පැහැදිලා සිටියේ ඔබට ලැබෙන සත්කාර සම්මාන ගැන විතරයි. ඉතින් දායකයින් ඔබ ඉදිරියේ අර භික්ෂුවගේ ගුණ කිව්වා. ඒ භික්ෂුවට සිවුරු පිරිකර ආදියත් දන්පැන් ආදියත් පැහැදීමෙන් පූජා කළා. ඔබට තවත් ඊර්ෂ්‍යාව ඇතිවුණා. ඔබ ඒ භික්ෂුවට නින්දා කරන්න පටන් ගත්තා.

හහ්! ඔබ කවුද මෙතැනට රිංගාගෙන මගේ් දායකයෝ අල්ලා ගන්නේ? මේ දායකයින්ටත් පිටස්තර භික්ෂුවක් දැක්ක ගමන් ඔහු ලොකු වෙනවා. ඔහෙත් මගේ් දායකයින්ගේ දානේ් වළඳනවට වඩා හොඳයි අසුචි කෑවානම්. ඔබ ඔය සිවුරු පොරොවනවාට වඩා හොඳයි නිරුවත්ව සිටියානම්. මහ ලොකුවට කරණවෑමියන් ලවා හිස බාවගත්තා. ඔයිට වඩා හොඳයි තල් ඇට දෙකකින් තද කොට ඔය කෙස් උදුරා ගත්තා නම්.

ඊට පස්සේ පින්වත් ජම්බුක, ඒ අරහත් භික්ෂුව ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පන්සල දාලා ගියා. ඔබ මරණින් මතු නිරයේ උපන්නා බොහෝ වර්ෂ ගණනක්. වර්ෂ දහස් ගණනක්. ලක්ෂ ගණන් නිරයේ දුක් වින්ඳා. දැන් ඔබ ඒ කර්මයේ ඉතිරි විපාකයත් විඳිනවා. ඔබ තවමත් අසුචි කනවා. තවමත් නිරුවත්ව සිටිනවා. තවමත් කෙස් උදුරනවා.

එතකොට ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට චතුරාර්ය සත්‍යය දේශනා කළා. ජම්බුක සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත්වුණා. ඒහිභික්ඛු පැවිදි උපසම්පදාවෙන් උතුම් පැවිදිබව ලබා ගත්තා. මහත් වීර්යයෙන් ධර්මයේ හැසිරී නොබෝ කලකින්ම ජම්බුක ස්වාමින් වහන්සේ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා.

ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ රැස්ව සිටි භික්ෂුන් අමතා තමන් වහන්සේ බුදු සසුන නිසා පිළිසරණ ලැබූ අයුරු පෙන්වා දෙමින් මේ උතුම් ගාථාවන් වදාළා.

පඤ්ච පඤ්ඤාස වස්සානි
රජෝජල්ලමධාරයිං
භුඤ්ජන්තෝ මාසිතං භන්තං
කේසමස්සුං අලෝචයිං

අවුරුදු 55 ක්ම නිරුවත් ශරීරයේ දූවිලි තවරගෙනයි මම හිටියේ. මාසයකට එක වේලක් ආහාර බින්දුවක් දිව මත තියලා බත් අනුභව කළා. කෙස් රැවුල් උදුරා දැම්මා.

ඒක පාදේන අට්ඨාසං - ආසනං පරිවජ්ජයිං
සුක්ඛගූථානි ච ඛාදිං - උද්දේසං ච න සාදියිං

වාඩිවෙන ආසන ප්‍රතික්ෂේප කළා. තනි කකුලෙන් හිටගෙන හිටියා. වියලි අසුචි තමයි අනුභව කළේ. කිසිම ආරාධනාවක් භාර ගත්තේ නැහැ.

ඒතාදිසං කරිත්වාන - බහු දුග්ගතිගාමි නං
වුයිහමානෝ මහෝඝෙන - බුද්ධං සරණමාගමං

මේ ආකාරයට බොහෝ අපායගාමි පව් තමා කළේ. කෙලෙස් සැඬ පහරේ ගිලෙමින් යද්දී බුදුන් වහන්සේ සරණ යන්ට ලැබුණා.

සරණාගමනං පස්ස
පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා
කතං බුද්ධස්ස සාසනං

උතුම් තිසරණය වෙත මගේ පැමිණීම ගැන බලන්න. ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

බුදුසසුනක් මුණ ගැසෙන්නේ ඉතාමක් කලාකුරකින්. ඒ ලද මොහොතේ අපත් සංසාරයෙන් නිදහස් වුණ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු. සංසාර දුකින් නිධහස් වන ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ අපගේ ගෞතකම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 17 නන්දක මහරහතන් වහන්සේ