Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 4 එදා බුරුමයේ සිටි ලොකුම කම්මැළියා

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 4

මෙතෙක් කතාව
බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් වෙනුවෙන් ඉදිවූ පොකුණුවිට විනයාලංකාරාමයේදී රූබෙල් ගුණවර්ධන ඇතුළු කුළ දරුවන් 27 දෙනෙක් සසුන් ගත වෙති. සසුන් ගත වී කෙටි කලෙකින් මේ කුඩා සාමනේරුවරුන් වහන්සේලා. වැඩිදුර ධර්ම අධ්‍යාපනය සඳහා බුරුමය බලා නැව් නගිති. බුරුම දේශයේ ගත කළ මුල් කාලය මේ සාමනේර හිමිවරුන්ට මහත් අපහසු කාලයක් විය.


මව් බිමෙන් වෙන් වී පිටස්තර දේශයකට පැමිණීමෙන් එහි භික්‍ෂු ජීවිතයට හැඩ ගැසීම, ඇවැතුම් පැවැතුම් මෙන්ම කෑම බීම ආදියෙ වෙනසත් මෙයට බලපෑමකි. කුඩා සිනිදු මනසට තම තමාට හුරු පරිසරයේ ද දන්නා කියනා අයගේ ආශ්‍රයෙන් උණුසුමින් වෙන්ව වෙනත් දීපංකරයට නැව් නැගීම නිසා මේ පුංචි සිත් මදකට හෝ සසළ නොවෙන්නේ යැයි කාට කිව හැකිද?

කුඩා සිරුරකට සිවුර දරා සිටීම ද අපහසු ය. ඒ මදිවාට ඒ නුහුරු අත්දැකීම සමග උපන් රටේ ගත කරන්නට සිදු වූයේ ද සුළු කාලයකි. යම් ප්‍රමාණයකට හෝ සසුන්ගත සංවර දිවියකට හැඩ ගැසෙන්නට පෙර නන්නාඳුනන බුරුම දේශයට නැව් නගින්නට සිදුවිය. චන්දවිමල සාමනේරයන්ට බුරුමයේ අත් විඳින්නට සිදු වූ බැරෑරුම්ම ප්‍රශ්නය ඒ රටේ දී දානය ලැබෙන ව්‍යංඤජන අපේ මාළු පිනි වගේ වැළැඳීමට අපහසු වීම ය.

බුරුම බත නම් ප්‍රශ්නයක් නොවීය. මේ නිසා බත විතරක් ගිල දැමීමට අපහසුවෙන් හෝ සිදු විය. මේ ආහාර ගැටලුව නිසා චන්දවිමල පොඩි හාමුදුරුවන් තව තවත් දුර්වල විය. ඒත් තද බල අසනීපයක් නොවීම නම් භාග්‍යයකි. මෙවන් දුෂ්කරතා මධ්‍යයේ වුව කුඩා මනසට සිවුරු හැර උපැදවි වීමට සිත් නො දීම වාසනාවකි. එය ඒ හිමියන් මෙන්ම සමස්ත බෞද්ධ ජනතාව ලද භාග්‍යයකි. එසේ සිතෙන්නේ අද අප ආපසු හැරී බලන විට ය. ඒ තරමටම කුදු මහත් බොදු ජන හද වෙත සැනසිලිදායක ඇමැතුම් ලබා දීමට චන්දවිමල හිමියනට හැකි වූයේ උන්වහන්සේගේ ලේඛණ සන්නිවේදනයේ ශක්තියෙනි.

අපමණ ශාරිරික , මානසික පීඩා මැද හෝ උතුම් චීවරයෙන් මිදෙන්නට තරම් හිත හිතුවක්කාර නො වුණේ උන්වහන්සේම පසුකලෙක පවසන පරිදි සංසාරගත පුරුද්ද විසින් ශාසනාලෝකය වෙනුවෙන්ම මේ භවයේදීද රූබෙල්ව චන්දවිමල නමින් අරහත් ධජය දැරීමටම මෙලොවට ජනිත කළ නිසාම විය යුතු ය.

කෙසේ හෝ බුරුමයේදි ගත කළ වසර දහයක පමණ ආරාමික ජීවිතය තුළ බුරුමයේ උගත් රට රාජ්‍ය පවා පිළිගත් ධර්මධර, විනයධර, ආචාර්යවරුන් ඇසුරේ ධර්ම විනය අටුවා ටීකා සහිතව බුදුදහම ඉතා හොඳින් ක්‍රමාණුකූලව ඉගෙන ගන්නට ලැබීම පෙර පිනකි. බුරුම දේශයේ ආරාමික ජීවිතය භික්‍ෂු ජීවිතය ට ඉතා උචිත පසුබිමක් සම්පාදනය කළේය. චන්දවිමල නා හිමියන් තම භික්‍ෂු ජීවිතයේ අතීතය මෙනෙහි කිරීමේදි පැවැසුවේ වෙනත් මොනම රටකවත් මෙවැනි ඉගැන්වීමේ ක්‍රම තිබේදැයි නොදන්නා බවයි. බුරුම භාෂාවෙන් ලියන ලද ඉතා වටිනා පොත්පත් රාශියක් අධ්‍යයනය කිරීමට පරිශීලනය කිරීමට උන්වහන්සේට ලැබෙන්නේද බුරුම දේශයේ අධ්‍යාපනය නිසා ය. ඒ වාගේම එහි වැඩ වසන විශාරද උගත් භික්‍ෂු ගුරුවරුන්ගේ ඇසුරේද මනා දැනුමකින් පෝෂිතව භික්‍ෂූත්වය පරිපූර්ණ කර ගැනීමට ලැබෙන්නේ ද බුරුම දේශයේදී ය.

එසේම භාවනා ක්‍රම ඉගෙන ගෙන පමණක් ගිරවුන් මෙන් ඇසූ වදන වමාරමින් නොසිට එම භාවනා ක්‍රම ඉතා හොඳින් ක්‍රමාණුකූලව ප්‍රගුණ කිරීමට ලැබෙන්නේ ද බුරුමයේ දීය.

එම දේශයේ ‘රාත්‍රී වාචක’ නම් ඉගැන්වීමේ ක්‍රමය මේ අතර විශේෂ වෙයි.

රාත්‍රියේ ගන අන්ධාකාරයේ කෙරෙන මෙම රාත්‍රී වාචක ඉගැන්වීමේ ක්‍රමය සුවිශේෂී අධ්‍යාපන රටාවකි. ගුරු භික්‍ෂූන් වහන්සේ හා ගෝලයා කට්ට කළුවරේ එක තැන වාඩිවී සිටිති. පොතක් පතක් පෑනක් පැන්සලක් අසලක තිබුණත් ඒවා පරිහරණය කිරීමට මෙම ගන කළුවර ඉඩ නොදෙයි. ඒ නිසා ඒවා ළඟ තබා ගැනීමෙන් ඵලක් නො මැත. මෙතැනදි ගුරුවරයා කරන්නේ ධර්මය හොඳින් විස්තර සහිතව පැවැසීමය. ‘අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වරූප විභාගය’, ‘ධාතු කතා’, ‘යමක’ ,’පට්ඨාන’ , වාගේ පොත් මේ රාත්‍රී වාචකයේදි වාචිකව හඬ නගා උගන්වති.

අඳුරේදී සිසුවාගේ දෑස් නො පෙනේ. එහෙත් ශ්‍රවනේන්ද්‍රිය අඳුරේදි වඩාත් අවධි වී තිබේ. මෙසේ ශ්‍රවණේන්ද්‍රිය වෙත ඇදෙන ධර්ම කරුණු ශිෂ්‍යා සවනට ගෙන පොතක පතක ලියූ ආකාරයට මනසට හොඳින් ධාරණය කර ගත යුතු වෙයි. ඉන්පසුව ගුරුවරයා කියා දුන් ආකාරයටම පාඩම් තබාගෙන නැවත කියන්නට ශිෂ්‍යයා පුරුදු විය යුතු වේ.

ඇත්තට බලන්න! මෙවන් ක්‍රමයකට ධර්ම පුස්තකයේ ඇති ආකාරයටම කට පාඩමෙන් කියාදීමට ගුරුවරයා ද ධාරණ ශක්තියෙන් කොතරම් නම් අනූන විය යුතු ද බව. එය ධාරණය කර ගැනීමට නම් ගෝලයාද ගන අඳුරේදි වුව සිත හොඳීන් අවධිකර ගෙන අවධාරණයෙන් සිටිය යුතුම ය. මෙය ඇත්තෙන්ම කදිම මනෝ විද්‍යාත්මක ඉගැන්වීමේ ක්‍රමයක් නොවන්නේ ද? ඇලුම්බැලුම් වට පිට වියවුලෙන් තොර අඳුර විසින් ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට සලසන්නේ කදිම පිටුවහලකි. මෙලෙස රාත්‍රී වාචන අධ්‍යාපනය පැය 3 –4 එක දිගට සිදු කෙරෙන අපහසු ක්‍රියාවලියකි. ඉතින් මේ දැඩි අඳුරේ වාඩි වි සිටින විට සමහර දවසට චන්ද විමල සාමනේරයන් හිඳගෙනම නිද්‍රාවට වැටෙයි. පාඩම් අවසාන වී සියල්ලන්ම නැඟිට ගිය විටත් අපේ පොඩි උන්නාන්සේ හිඳි ඉරියව්වෙන්ම නිද්‍රාවේ පසුවෙති. උන්වහන්සේ සැප නින්දේ හුදෙකලා කුටියේ තනි වෙති. මේ පිළිබඳව විමසන විට චන්දවිමල හිමියන් දුන්නේ අපූරු පිළිතුරකි. “ඇත්තෙන්ම ඒ කාලයේ මං හරිම කම්මැළියි. මා තමයි ඒ කාලේ බුරුමයේ හිටිය ලොකුම කම්මැළියා” එසේ ලොකුම අලසයා වුවත් චන්දවිමල හිමියන්ගේ ධාරණ ශක්තිය පැවැතියේ ඉහළ තලයකය. ඒ නිසා ඇසූ ධර්මය හොඳින් පාඩම් හිටියි. ඒ වාගේම ඒ රටේදී ධර්ම විනය අටුවා ටීකා සහිත පොත් කියවා ධාරණය කර ගැනීමේ ශක්තිය උන්වහන්සේ සතු විය.

වැඩසිටි ආරාමයේදි හරියට පාන්දර 4.30 ට ‘ගෙඩිය’ ගසන විට අවධි විය යුතුය. ඊළඟට වන්දනාමාන කටයුතු වල යෙදීමෙන් අනතුරුව පැමිණීම සටහන් කරණු ලබයි.

පැමිණීම සටහන් තබන්නේ තම නම හඬ ගසන විට ‘ඉන්නවා’ යැයි කීමෙනි. වෙලාවට නාවොත් දඬුවමට යටත්විය යුතුය. දඬුවම වන්නේ වතුර කළ පහක් හෝ නියම කරන පරිදි ඊට වැඩි ප්‍රමාණයක් හෝ රැගෙන විත් එක්තැනකට වැක්කිරීමය. අලසයක වූ චන්දවිමල පොඩි උන්නාන්සේට මේ වතුර කල දඬුවමට නිරන්තරයෙන්ම යටත් වන්නට සිදුවන්නේ උන්වහන්සේට පාන්දර අවධිවීම දුෂ්කර කාර්යයක් වූ නිසා ය.

අපේ පොඩි හාමුදුරුවන්ගේ අලසකම කොතරම් දැයි කීවොත් නිතර දඬුවමට යටත්වන මේ හිමියන්ට දඬුවම් දීම ගුරු හාමුදුරුවන්ට ද මහත් හිසරදයකි. නිතර දඬුවම් දීමෙන් ද ප්‍රතිඵලයක් නැත. මුනින් අතට හැරවු කලයකට වතුර දමනවා වැනි ය. ඒ නිසා ගුරු හාමුදුරුවන් චන්දවිමල හිමියන්ව දඬුවමින් මුදා හරින්නේ පිනට අතහරින ගවයකු පරිද්දෙනි.

මේ මොන වියවුල් මධ්‍යයේ වුව ද ගල්පර මැදින් ගලා හැලෙනා සුන්දර වූ නදියක් පරිද්දෙන් ආපසු හැරී බලන විට චන්දවිමල භික්‍ෂු ජීවිතය ඉදිරියටම ගලා යන්නේ සසුන් කෙම්බිම රමණීය කරනා, සා පිපාසයට දිය දෝතක් ගත හැකි නිර්මල නදියක් පරිද්දෙනි.

බුරුමයේ ආරාමික ජීවිතයේ තවත් විශේෂයක් වන්නේ පාලි ව්‍යාකරණ ඉගැන්වීමට විශේෂ තැනක් ලබා දීම ය. එමෙන්ම පාලි භාෂාව ද එහිදී ගැඹුරින්ම ඉගෙනීමට චන්දවිමල හිමියන්ට ඉඩ ප්‍රස්තාව විවර විය.

ලබන සතියේදී

චන්දවිමල භික්‍ෂූන් වහන්සේ උපසම්පදාවෙන් පසුව පෙරළා මව් බිමට පැමිණෙති.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 3 රේරුකානේ චන්දවිමල හිමි බුරුමය බලා නැව් නගියි