Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය සිංහල නාමයක් භාවිතා කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට පත් කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද?

පිළිතුර - වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඔහුට ජාතියේ උපහාරය පිණිස අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය නම් කොට ඇත.

ප්‍රශ්නය - ක්‍රි.පූ. තුන් වන සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. ඒ සඳහා කලාකරුවන් යොදා ගත් සංකේත කවරේදැයි පැහැදිලි කරන්න.

පිළිතුර - සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ශ්‍රාවක පිරිස අතර දොම්නස් සිතිවිලි ජනිත වීම නිසා උන්වහන්සේ නියෝජනය වීම සඳහා සංකේත භාවිතා විය. දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍ය, බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ යන අංග තුන සංකේත වශයෙන් භාවිතා කළහ.

ප්‍රශ්නය - බුද්ධ චරිතයෙහි එන ඉතාමත් සංවේදී අවස්ථාවකි මේ. අවස්ථාව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් මෙම ප්‍රකාශ කවුරුන් උදෙසා කරන ලද්දක් ද?

ප්‍රකාශය - අග්නිවෙස්න, මට මෙසේ අදහස් විය. අතීතයෙහි මහණ බමුණන් විසින් විඳින ලද තියුණු කටුක ඖපක්‍රමික දුකක් වේදනාවක් වී නම් මේ දුකම ඊට වඩා බරපතල හා අනාගතයෙහි මහණ බමුණන් විසින් විඳීනු ලබන ඖපක්‍රමික තියුණු කටුක යම් දුකක් වෙයි නම් මේ දුකම ඊට වඩා බරපතළය. වර්තමානයෙහි මහණ බමුණන් විඳින ඖපක්‍රමික තියුණු කටුක දුකක් වෙයි නම් මේ දුකම ඊට වඩා බරපතළය.

පිළිතුර - වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ දුෂ්කර ක්‍රියාවෙහි දුක් වේදනාවල තියුණු කටුක බව භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේම වචන වලින් සව්වනට ප්‍රකාශ කොට ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ශක්‍ර දේවේන්ද්‍රයා වීමට කළ පින්දහම් හා ඔහුගේ ශක්‍රයාගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ සටහනක් කරන්න.

පිළිතුර - සක්දෙවි පදවිය ලැබීමට පළමු මිනිස් බව ලැබූ ඔහු සප්ත ව්‍රත සමාදන් වීමෙන් මෙම පදවිය ලබාගත් බව සක්ක සංයුත්තයේ එන සූත්‍රයක සඳහන් වෙයි. ඒ අනුව සප්ත ව්‍රත පද මෙසේ ය. දිවිහිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම, දිවිහිමියෙන් මිහිරි වදන් කීම, දිවිහිමියෙන් කේළාම් බස් නොකීම, දිවිහිමියෙන් ත්‍යාගශීලී බවෙන් යුතු වීම, දිවිහිමියෙන් සත්‍ය ගරුක වීම, දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකු වීම යනුවෙනි.

තවද මෙම සූත්‍රයෙහිම එන පරිදි දිනක් මහාලි ලිච්ඡවි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සක්දෙව්රජ දුටුසේක් දැයි ඇසීය. එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් මහාලි, මම ශක්‍රයා ද දිටිමි. ශක්‍රයකු වීමට නිසි දහම් ද දනිමිය මෙසේ වදාළහ.

සක්දෙව් රජ පෙර මිනිස් වූයේ මූලිකව දන්දුන් බැවින් ද නුවරක් පාසා දන්සැල් දුන් බැවින් ද පුරින්දන නම් විය. සකසා දන් දුන් බැවින් සක්ක යැයි කියනු ලැබේ. අවස්ථා හෙවත් නිවාස දන්දුන් බැවින් වාසව යැයි ද අරුත් දහසක් මොහොතක සිතන බැවින් සහස්සඛ යැයි ද කියනු ලැබේ. ශක්‍ර භාර්යාව සුජා නම් අසුර කන්‍යාවකි. තව්තිසා දෙවියනට ආධිපත්‍ය දරන බැවින් දෙවාති නමින් හඳුන්වනු ලැබේ. (මහාලීසත්තවත පද සූත්‍ර) සංනි

ප්‍රශ්නය - හිමාලය වාසී තවුස් පිරිසක් වෙතින් බුදුරදුන් ලොව පහළව සිටිතියි. ඇසූ සිටුවරුන් තිදෙනෙකි. බුදුන්වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද? ඔවුන් විසින් කරවා පූජා කරන ලද ආරාම මොනවාද?

පිළිතුර - ඝෝසිත සිටුවරයා, ඝෝසිතාරාමය, කුක්කුට සිටුවරයා, කුක්කුටාරාමය, පාවාරික සිටුවරයා, පාවාරික අම්බවනයයි.