Print this Article


ජිනපඤ්ජරය

ජිනපඤ්ජරය

මෙසේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් හොඳින් රැකෙන බව දක්වන අතර එය වඩා සුරක්‍ෂිත වීම සඳහා තමා පොරොන්දුවක් ද වේ. එනම් ධර්මයේ උගන්වන ලද යහපත් ප්‍රතිපදාවන්ට අනුව ජීවත්වන බවයි. මින් පැහැදිලි වන්නේ ධර්මයට අනුව ජීවත් වන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරන බවයි. එය සූත්‍රය තුළින් තුන්වතාවක්ම එකදිගට දේශනා වේ

මිනිසාට මෙන්ම සමස්ත විශ්වයටම එකසේ ආශිර්වාද ලබාදෙන ධර්ම ඇතුළත් ග්‍රන්ථයකි පිරුවානා පොත් වහන්සේ. පිරිත් පොතට ඇතුළත් සූත්‍ර දේශනාවන් අතරින් ද ජිනපඤ්ජරය සුවිශේෂී දේශනාවකි.

අටවිසි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ පිරිත් පොතේ අඩංගු ඛන්ධ මෝර ආදී පිරිත් දේශනාවන්, සමස්ත ධර්මය ප්‍රාකාරයක් සේ පුද්ගල ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා පිහිටුවමින් සත්‍ය ක්‍රියා සිදුකර ආශිර්වාද කිරීම මෙහි ස්වභාවයයි. බාහිර බලවේගවල මෙන්ම වා පිත් ආදී කෝපවීමෙන් ඇතිවන සියලු ආබාධ දුරුවීම මෙහි අපේක්ෂිත ඉහළම ඵලයයි.

වාතපිත්තාදිසඤ්ජාතා - බාහිරජ්ඣන්තු පද්දවා
අසේසා විලයං යන්තු - අනන්තගුණ තේජසා

වා පිත් සෙම් කිපීමෙන් ඇතිවන රෝගද බාහිර හේතූන් නිසා ඇතිවන උපද්‍රවයෝද ඉහත සඳහන් තෙරුවන්ගේ බලයෙන් ඉතිරි නැතිව වූපසමනය වෙත්වා.

තුන්ලොවට නායක වු තණ්හංකර ආදී වූ අටවිසි බුදුවරයන් වහන්සේලා සිරස මස්තකයෙහි තබා උන්වහන්සේලාගේ ආශිර්වාදය තමනට ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමින් සූත්‍රය ආරම්භ වේ. අන්‍යයන් උදෙසා දෙසන්නේ නම් ඔවුනගේ සිරස මත අටවිසි බුදුවරයන් ගේ ආනුභාවය පිහිටුවනු ලබයි. (තණ්හඞ්රො දයෝ බුද්ධා අට්ඨවීසති නායකා) ඉන් අනතුරුව පිළිවෙළින් අනෙක් සියලු ධර්ම තේජස ලැබූ වස්තූන් මෙසේ කේසාන්තයේ සිට පාදාන්තය තෙක් පිහිටුවමින් සෑම අතින්ම ඇතිවන උපද්‍රවයන්ගේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරයි.

බුදුරදුන්ගේ හිස් මුදුනෙහි ද ශ්‍රී සද්ධර්මය මාගේ ඇස්වලද සියලු ගුණයන්ට ආකාර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නය මාගේ ළය මඬලෙහි ද පිහිටියාහු වෙති. අනුරුද්ධ තෙරුන් හදවතේ ද සැරියුත් හිමියන් දකුණේ ද කොණ්ඩඤ්ඤ හිමියන් පිටුපස ද මුගලන් හිමියන් වම් පසෙහි ද පිහිටුවා ලමින් ඒ සත්‍ය බලය තුළ සියලු යහපත කායිකව නිරෝගීවීම අපේක්‍ෂා කරයි. මාගේ දකුණු කනෙහි ආනන්ද රාහුල දෙනම ද කාශ්‍යප මහානාම දෙනම වම් කනෙහි ද සූර්යයා මෙන් බබළන්නා වූ ඓශ්චර්ය සම්පන්ණ වූ සෝභිත තෙරුන් කේශාන්තයේ පිටිපස කොටසෙහි ද විසිතුරු ලෙස බණ කීමෙහි සමත් ගුණයන්ට ආකර වූ කුමාර කාශ්‍යප මහාර්ෂින් මාගේ මුහුණෙහි නිරන්තරයෙන් සිටී. පුණ්ණා අංගුලිමාල, උපාලි, නන්ද, සීවලී මහ තෙරවර මාගේ නළලෙහි තිලකයක් මෙන් සිටී. මාරයා පරදවා ජයගත් ජිනරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ සිල් තෙදින් දිලෙන්නාවූ අසූ මහා ශ්‍රාවකයෝ සෙසු ශරීරාංගයන්හි වැඩ සිටිති.

සේසාසීතිමහාථෙරා - විජිතා ජින සාවකා
ජලන්තා සීලතේජේන - අංගමංගේසු පණ්ඩිතා

මෙසේ පළමුවන ගාථා පෙළ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සිහිපත් කරමින් එම සත්‍ය ක්‍රියාවෙන් සියලු ශරීරාවයවන් ආරක්‍ෂා කිරීමට පැවරීමක් කරදෙනු ලබයි. උන්වහන්සේලාගේ ගුණස්කන්ධය සිහිපත් කිරීමද මෙහිලා වැදගත්ය. නැගෙනහිරින් රතන සූත්‍රය ද දකුණෙන් මෙත්ත සූත්‍රයද බටහිරින් ධජග්ග සූත්‍රය වමෙන් අංඟුලිමාල සූත්‍රයද ඛන්ධ පිරිත මෝර පිරිත ද අහසෙහි ආටානාටිය සූත්‍රය ද මා වටා බැඳි ප්‍රාකාර වළල්ලක් මෙන් ආරක්‍ෂාව සපයයි. මෙලෙස ආශිර්වාදාත්මක දේශනා තමා සතුරු අපල උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂා කරන වැටක් සේ පවතීවා යන්න සූත්‍රය මධ්‍යයේදී ආශිංසනය කර ප්‍රාර්ථනා කරයි.

ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර කරන ලද ජිනරාජයන් වහන්සේගේ බලයෙන් යුත් සම්බුද්ධ සීමාවේ කටයුතු සතරකින් යුතුව වසන්නාවූ මාගේ වා පිත් සෙම කිපීමෙන් ඇතිවන්නාවූ රෝගද බාහිර හේතූන් නිසා ඇතිවන උපද්‍රවයෝ ද ඉහත සඳහන් තෙරුවන්ගේ අනන්තවූ බලයෙන් ඉතිරි නැතිව වූපසමනය වෙත්වා දිය වී යත්වා මෙලෙස උතුම් ත්‍රිවිධ රත්නය හේතුවෙන් පෙනෙන නොපෙනෙන සියලු අයහපත් බලවේග තුළින් ඇතිවන අන්තරාවන් ඉතිරියක් නොමැතිව නැතිවී යන ලෙස ආශිර්වාද කෙරේ.

ජිනපඤ්ජරය මධ්‍යයෙහි තබාගෙන මේ මිහිතලයෙහි ජීවත්වන මා මේ ඉහත දක්වන ලද පුරුෂ ශ්‍රේෂ්ඨයන් විසින් ආරක්ෂා කරනු ලබත්වා මෙසේ හාත්පසින් කරන ලද ආරක්‍ෂාව ඇති ජිනරාජයන් වහන්සේ හෙවත් බුදුරදුන්ගේ ආනුභාවයෙන් සියලු උපද්‍රවයන් දුරුකරන ලදුව සතුරු උවදුරුවලින් දුරුවූ මම බුද්ධ ආනුභාවයෙන් ආරක්‍ෂා වෙමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවන් අනුව හැසිරෙමින් ජීවත්වෙමි.

ඉච්චේව මච්චන්නකතෝ සුරක්ඛෝ
ජිනා’නුභාවේන ජිතූ පපද්දවෝ
බුද්ධානුභාවේන හතාරි සංඝෝ
චරාහි සද්ධම්මානුභාවපාලිතෝ

මෙසේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් හොඳින් රැකෙන බව දක්වන අතර එය වඩා සුරක්‍ෂිත වීම සඳහා තමා පොරොන්දුවක් ද වේ. එනම් ධර්මයේ උගන්වන ලද යහපත් ප්‍රතිපදාවන්ට අනුව ජීවත්වන බවයි. මින් පැහැදිලි වන්නේ ධර්මයට අනුව ජීවත් වන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරන බවයි. එය සූත්‍රය තුළින් තුන්වතාවක්ම එකදිගට දේශනා වේ. සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් ආරක්ෂාව ලබමි ආර්යන් වහන්සේලා අටනම අට දිසාවෙහි ද නාථවරුන් අටදෙන ඊට අමතරව ද ආරක්ෂාව සලසන අතර බුදුරදුන් වහන්සේලා උඩු වියනක් මෙන් සිට රැකවරණ ලබාදේ. මාරසේනා බිඳිමින් බුද්ධත්වයට පත් ශාස්තෘන් වහන්සේ මාගේ සිරස මුදුනෙහි වැඩ සිටී. මුගලන් මහරහතන් වහන්සේ වම් පසෙහිද සැරියුත් මහරහතන් වහන්සේ දකුණු දිසාවෙහිද හදවතේ මැද සද්ධර්මය පවතී. සූර්යයා සහිත ලෝකයට පිහිටුවන්නාවූ මයුර යෝනියට පැමිණි බෝධිසත්ව තෙමේ චර්ණ යුග්මය වේ. ( මෙලෙස ආසිංශනය කරන ගමන් අවසාන වශයෙන් මෙසේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඉතිරියක් නැතිවම විනාශ වේවායැයි සඳහන්වේ. එනම් සියලු අවමංගල උවදුරු නරක පෙර නිමිති සියලු බිය අසනීප ලෙඩ රෝග ග්‍රහ අපල නින්දා අපවාද සියලු අතුරු අන්තරා නරක සිහින පෙනීම පරූපවාද ආදී ව්‍යසනයන් සියල්ල බුද්ධානුභාවයෙන් ඉතිරි නැතිව විනාශයට පත්වේවා.

සබ්බා ‘ ව මංගලමුපද්දව දුන්නිමිත්තං
සබ්බීති රෝග ගහ දෝස මසේසනින්දා
සබ්බන්තරාය භයදුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවපවරේන පයාතු නාසං

මෙලෙස සූත්‍රාන්තයේදී බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු උපද්‍රව දුරුවේවා යනුවෙන් මෛත්‍රී සහගතව ප්‍රාර්ථනා කරනු ලැබේ. එය මිනිසා ප්‍රමුඛ සමස්ත සත්ව වර්ගයාටම පොදු වූ ආශිර්වාදයක් ලෙස දැක්වීම වඩාත් සාධාරණ වේ.