Print this Article


උඩුපිල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය

ඓතිහාසික ගම්පහ පුරවරයේ සියනෑ කෝරලයේ මහර ආසනයෙහි පිහිටි සශ්‍රීක ගම්මානයක් ලෙස උඩුපිල ග්‍රාමය හැඳින්විය හැකිය. ශ්‍රී වර්ධනාරාමය, දහම් මැඳුර, ගුරුගේ අසපුව, වික්‍රමසිංහාරාමය, ඉසිඟිලි අරම, සති නිකේතනය, සම්බෝධි විහාරය සහ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය යනාදි වශයෙන් උඩුපිල ගම් පියස තුළ පූජනීය ස්ථාන රැසකි.

මේ අතුරින් උඩුපිල දකුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය සියවසකට අධික අතීතයක් හිමි පින්බිමකි.කෙත්වතු හා කඳු ගැට තුනකින් වට වූ රමණීය භූමි භාගයක ඉඳිවුණූ ශ්‍රී වර්ධනාරාමය උදෙසා උඩුපිල ග්‍රාමයට අයත් ග්‍රාම සේවාවසම් හා අනෙකුත් ගම් නියෝජනය වන පරිදි පවුල් අටසියයක පමණ දායකත්වය හිමිය. සැදැහැවතුන්ගේ නෙත් සිත් නිතැතින්ම ආකර්ෂණය වන පරිදි සැකැසුණු ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය වර්ෂ 1910 දී පමණ ඉදිකර ඇති බවට සාක්ෂි විහාරස්ථානයේ බුද්ධ මන්දිරයෙහි පිහිටි කළුගල් උළුවස්සෙන් හමුවේ. අතීතයේ පටන් විහාරස්ථානයෙහි වැඩ වාසය කළ විහාරාධිපති හිමිවරුන් විසින් විවිධ කාලවකවානු වලදී විවිධ ඉදිකිරීම් මෙම පුණ්‍ය භූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරනු ලැබ තිබීමද දැකිය හැකිය.

දේවානන්ද නා හිමිගේ මූලිකත්වයෙන් විහාරස්ථානය ආරම්භ වූ බවත් ඉන් පසුව ඉඹුල්ගොඩ සෝමරතන, දුනුමාලේ මේධානන්ද, දුනුමාලේ රතනජෝති ,පට්ටියමුල්ලේ සුමංගල, දුනුමාලේ මේධානන්ද, කණ්ඩලමේ ධම්මරතන යන නා හිමිවරුන් මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළ බවත් සඳහන් වේ. වර්තමානයේ වැවගෙදර සීලක්ඛන්ධ නා හිමියෝ ශ්‍රී‍්‍රවර්ධනාරාමය විහාරස්ථානයේ විහාරාධිපති ධුරය උසුළති. මෙම විහාරස්ථානයේ බුද්ධමන්දිරය ඉපැරැණි වටමාලයකින් යුක්තය. එය වහලයෙන් දෙමහල්ය. විහාර මන්දිරයෙහි දහ අට රියන් සැතැපෙන පිළිම වහන්සේ ද නැඟෙනහිරින් පිහිටි දහ අට රියන් හිටි පිළිම වහන්සේද බටහිරින් පිහිටි සමාධි පිළිම වහන්සේ ද බුද්ධමන්දිරයට එක් කරන්නේ සැදැහැති බව මුසුවූ ප්‍රෞඩත්වයකි. මෙම බුද්ධ මන්දිරය තුළ දක්නට ලැබෙන තවත් එක් විශේෂත්වයක් වන්නේ, එහි වට බිත්තීන්හි අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේගේ සිතුවම් ඉතා අලංකාරවත්ව සජීවි ස්වරූපයෙන් සිතුවම් කොට තිබීමයි. බුදුමැදුරෙහි වියන සුවිශේෂ මල් රටාවක සිතුවමින් අලංකෘතය.


විහාරාධිපති වැවගෙදර සීලක්ඛන්ධ නා හිමි

මැද මාලයේ කළුගලින් නිර්මාණය කර ඇති මංගල ලකුණු එකසිය අටකින් යුක්ත වූ ශ්‍රී පාද ලාංඡනයකි. විහාරයට පැමිණෙන සැදැහැවතුන්ගේ වන්දනාවට නිරතුරු පාත්‍රවෙයි.

මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙන සියලුම මල් ආසන අඩි අටත්, හතත්, හයත් දිගින් යුක්තව කළුගල් පුවරුවලින් සකසා අලංකාර කර ඇත.

දැකුම්කළු මකර තොරණ දෙකකින් විහාරයේ පිවිසුම් හා පිටවීම් ද්වාර නිර්මාණය වී ඇත. ඉපැරැණි සිංහ රූප දෙකක් හා ගල් උළුවහු දෙකක්ද විහාරයට එක් කරන්නේ අභිමානයකි. එලෙසම මෙම විහාරස්ථානය සතුව පවතින ඉතා දුර්ලභ ගණයේ මූර්ති රැසකි. දස පාරමිතාව , සත් සතිය, මාර පරාජය, ආලවක දමනය, නාලාගිරි දමනය නිරූපණය කරන මූර්ති ඒ අතර සුවිශේෂිය. විහාරයට ප්‍රවේශ වන ස්ථානයේ සඳකඩ පහනත් දොළොස් මහා පහන්ගෙය සහිත බුද්ධමන්දිරයත් විහාරස්ථානයට එක් කරන්නේ අපූර්වත්වයකි. සැදැහැති බවකි.

චෛත්‍ය රාජයාණන් වටා ශිලාමය මල් ආසන සතරක් ද පන්සල් භූමිය වටා සුවිසල් ගල් ප්‍රාකාරයක් ද විහාරස්ථානයේ අභිමානය කියාපායි. විහාර මළුවට ප්‍රවේශ වන තැන ඉදිකෙරුණු කළුගල් කණූ සතරක් මත වු වාහල්කඩ විහාරස්ථානයට වසර සියය සම්පූර්ණ වීම උදෙසා නිර්මාණය වූ අලංකෘත නිර්මාණයකි. මේ වන විට ද විහාරමළුව වටා කළුගල් ප්‍රාකාරයක් ඉදිකෙරෙමින් පවතියි.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ගේ ශාඛා දෙකක් රෝපණය කර ඇති ශ්‍රී වර්ධනාරාමයේ පුණ්‍ය මහිමය පිළිබඳ ගම්වැසියන් අතර පවතින්නේ මහත් සැදැහැබර බවකි. බෝධි ඝරයකින් හා ශාලා දෙකකින් යුක්ත මෙහි වන්දනාකරුවන් නිරතුරුව ගැවැසෙන අයුරු දක්නට ලැබීම නෙතට පි‍්‍රය උපදවන දසුනකි. ප්‍රදේශය පුරා විශාල බෞද්ධ ප්‍රබෝධයක් පැතිරවීමට සමත්ව ඇති ශ්‍රී වර්ධනාරාමය විහාරාධිපතින් වහන්සේගේත් ප්‍රදේශවාසීන්ගේත්, දායක සභාවේත් සහයෝගය මත දිනෙන් දින අභිවෘද්ධියට පා තබයි. සැදැහැවතුන්ගෙන් දිනපතා පිරීතිරී යන මෙම විහාරස්ථානය උඩුපිල ප්‍රදේශයට ගෙන එන්නේ සැබෑම ආලෝකයෙකි. ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන උඩුපිල ප්‍රදේශයේ දරුදැරියන් වෙනුවෙන් පවත්වනු ලබන දහම් පාසල ද ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පවත්වන දහම් වැඩමුළු ද බොහෝ දෙනා අතර ප්‍රසාදයට පත්ව තිබේ. සද්ධර්මය බෙදා දෙන අතර ප්‍රදේශයේ පොදු කටයුතුවලදීද පෙරමුණ ගෙන ක්‍රියා කරන ශ්‍රී වර්ධනාරාමය බොදු සිත් පහන් කරවමින් දිනෙන් දින දියුණුවේවා යන්න සියල්ලන්ගේ පැතුමයි.