Print this Article


අපවත් වී වදාළ මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නා හිමි

අපවත් වී වදාළ මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නා හිමි

අනුරුද්ධ නා හිමියෝ අලුතෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රථම මහෝපාධ්‍යායයන් වහන්සේ වශයෙන් ජනාධිපතිතුමා විසින් පත් කරන ලදී. මහාචාර්ය වල්පොල රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද අනුශාසනා පරිදි පවත්වා ගෙන ගිය මෙම ආයතනය දේශීය හා විදේශීය, සිසුන් අතර බෞද්ධ අධ්‍යයනය සඳහා තිබෙන විශිෂ්ට ආයතනයක් බවට නමක් ඇති කළහ

ශික්‍ෂිත හැසිරීම, පෘථුල පාණ්ඩිත්‍යය, විශිෂ්ට මතය, ගැටුම්කාරී අභියෝගාත්මක අවස්ථාවල නොසැලි ශාන්තව මුහුණදීමේ අපූර්ව හැකියාව සහ ප්‍රතාපවත් පෞරුෂය ශ්‍රේෂ්ඨ භික්‍ෂු චරිතයක විශිෂ්ට ලක්‍ෂණයෝ වෙති. මෙම ලක්‍ෂණවලින් හෙබි මහාචාර්ය කාක්ලපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ යුගයේ උත්කෘෂ්ට භික්‍ෂු චරිතයකි.

වයඹ පළාතේ හලාවතට සමීප කාක්කපල්ලිය නමැති ග්‍රාමයේ 1929 ජනවාරි මස 20 වැනි දින උපත ලද උන්වහන්සේ තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුයේ හිරිපිටිය විද්‍යාලයෙනි. ළමා කාලයේදීම පිනට දහමට දැක් වූ ලැදියාව විහාරස්ථානය තම ජීවිතයට සමීප කරන හේතුවක් විය. නව යොවුන් වියේ දී කෙනෙකුගේ ජීවිතයක නොදැකිය හැකි ශික්‍ෂණයකින් යුතු වූ මේකුමරුවා දුටු පොන්නන්කන්නියේ ශ්‍රී නිවෙසාරාමාධිපති කාක්කපල්ලියේ ශ්‍රී දේවානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම ශිෂ්‍යවරයෙකු වශයෙන් මොහු ශාසනයට ඇතුළත් කර ගැනීමට ඇත්නම් කෙතරම් අගේ දැයි අදහස් කර දෙමාපිය අවසරයෙන් තමන් වහන්සේ ඇතුළු මුදුකටුවේ ඥානාරාම නා හිමි මුදුකටුවේ සීලානන්ද මා හිමි, යන තෙනමගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් එවකට 17 වැනි වියෙහි පසු වූ නව යොවුන් තරුණයා කාක්කපල්ලියේ අනුරුද්ධ නමින් පැවිදි කරන ලදී. විද්‍යාලංකාර පිරිවෙන් විහාරාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාරාභිධාන නා හිමි උන්වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ වූහ. පිරිපුන් විසිවයස් ඇති අනුරුද්ධ හිමියෝ 1953 වර්ෂයේ දී මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේ දී අධිශීල ශික්‍ෂා සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටියහ.

1953 වර්ෂයේ දී අනුරුද්ධ හිමියෝ කුරුණෑගල මලියදේව පිරිවෙනේ අයදුම්කරුවෙකු වශයෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයට භාෂාත්‍රයෙන් පෙනී සිටියහ. එහි දී උන්වහන්සේ ගෞරව පන්තියේ ප්‍රථමයා මෙන්ම මුළු දිවයිනේ ම ප්‍රථමයා වශයෙන් සමත්ව වාර්තාවක් ද තැබූහ. උද්‍යෝගිමත් බුද්ධිමත් ශිෂ්‍යයෙකු වශයෙන් උන්වහන්සේගේ පැතිරුණු කීර්තිය විද්‍යාලංකාර පිරිවෙනට ද දැනිණ. එබැවින් විද්‍යාලංකාර පිරිවෙන මඟින් සංවිධානය කෙරුණ ත්‍රිපිටක සංගායනා වැඩසටහනට ශිෂයකු වශයෙන් සිටියදීම මුන් වහන්සේ ද තෝරා ගැනිණ. එහිදී තම සමපදස්ථයන්ගේ සහ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්‍යන්ත ගෞරවය දිනාගනිමින් පූර්ණ කාලීනව එම වැඩසටහනට සහභාගි වූහ. ඉතා ඉක්මනින් බුරුම අකුරු ඉගෙනගත් උන්වහන්සේ බුරුම ත්‍රිපිටකය ද කියවමින් මෙම උත්කෘෂ්ට කාර්යයට සහාය වූහ. උන්වහන්සේට පැරැණි සිංහ ල අකුරු කියවීමේ විශේෂ හැකියාවක් තිබුණි. එහෙයින් පැරැණි සිංහල අකුරෙන් ලියැවුණු මහාවග්ග පාලිය කියැවීමේ භාරදූර කාර්යය ද උන්වහන්සේ වෙත පැවැරුණි. භාෂා ශාස්ත්‍ර පිළිබඳ මෙම සුවිශේෂි හැකියාව නිසාම 1953 වර්ෂයේ දී උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන ආචාර්යවරයෙකු වශයෙන් ද පත් කර ගන්නා ලදහ. මේ අතර පෑලියගොඩ ගුරුකුල විද්‍යාලයේ ද ආචාර්යවරයෙකු වශයෙන් සේවය කිරීමට පත්වීමක් ලැබුණි. කවර වගකීමක් තමන් වෙත පැවැරුන ද ඒ සියල්ල නිසියාකාරව ඉටු කරමින් තම උසස් අධ්‍යාපන කටයුතු ද ඒ සමඟම සිදු කර ගෙන ගියහ.

1956 වර්ෂයේ දී ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට පෙනී සිටි අනුරුද්ධ හිමියෝ අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත්ව 1959 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. එහි දී උන්වහන්සේ පාලි විශේෂවේදී උපාධිය පෙරදිග දර්ශනය සහ මනෝවිද්‍යාව යන උප විෂයයන් සහිතව හදාළහ. 1963 වර්ෂයේ දී ගෞරව උපාධිය ලබන අප නාහිමියෝ විභාගයේ දී දක්වන ලද විශිෂ්ට කාර්ය සාධන ඇගැයීම් වශයෙන් එම විශ්වවිද්‍යාලයේම ආධුනික සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් බඳවා ගන්නා ලදී. පසුව 1964 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ ස්ථිර කථිකාචාර්යවරයෙකු වශයෙන් පත්වීම ලැබූහ.

ලැන්කැෂ්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා 1969 දී එහි වැඩම කළ නාහිමි උපාධිය ලැබීමෙන් පසු 1972 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් නැවතත් සේවය ආරම්භ කළහ. විදේශ ධර්ම දූතයන් වහන්සේලා පුහුණු කිරීම සඳහා මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1980 ආරම්භ කරන ලද පරමධම්ම බෞද්ධ ආයතනයේ පීඨාධිපති වශයෙන් ද සේවය කළ අනුරුද්ධ නාහිමියෝ අලුතෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රථම මහෝපාධ්‍යායයන් වහන්සේ වශයෙන් ජනාධිපතිතුමා විසින් පත් කරන ලදී. මහාචාර්ය වල්පොල රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද අනුශාසනා පරිදි පවත්වා ගෙන ගිය මෙම ආයතනය දේශීය හා විදේශීය, සිසුන් අතර බෞද්ධ අධ්‍යයනය සඳහා තිබෙන විශිෂ්ට ආයතනයක් බවට නමක් ඇති කළහ. උන්වහන්සේගේ දෙවන ධුර කාලයේ දී මෙම විශ්වවිද්‍යාලය පොදු රාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල සංගමයේ සාමාජික විශ්වවිද්‍යාලයක් බවට ද පත් කළහ. පසුකාලීන මහෝපාධ්‍යායයන් වහන්සේලාට මෙම ආයතනය දියුණු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම ලබා දෙනු ලැබුයේ මුන් වහන්සේ යැයි පැවසුවහොත් එය සාවද්‍යය නොවේ. අනුරුද්ධ නාහිමියන්ගේ දෙවන ධුර කාලය අවසන් වනවාත් සමඟම තායිවානයේ ෆෝ ක්වන් සන් විහාරස්ථානයෙන් එහි පාලි හා බුදු දහම ඉගැන්වීම සඳහා ලැබුණ ආරාධනයකට අනුව එහි වැඩම කළහ. 1992 දී කැලිෆෝනියාවේ වෙස්ට් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිළිබඳ පාඨමාලා මෙහෙයවීමට වැඩම කළ අතර සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයේ ෆූ ඊ වන් බෞද්ධ කොලිජියේ සහ බෞද්ධ මිෂනාරි සංගමයේ ද බෞද්ධ අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වූහ. හොං කොං හි චි ලින් බෞද්ධ කොලිජියේ පාලි හා බෞද්ධ අධ්‍යයන ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වූ මුන් වහන්සේ හොං කොං විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළහ.

ජාත්‍යන්තර බෞද්ධ වැඩමුළුවලට සහ සම්මන්ත්‍රණවලට තම දැනුම සහ අත්දැකීම් ප්‍රවීණ ආචාර්යවරයකු වශයෙන් ලබා දුන් අතර බොහෝ සම්මන්ත්‍රණවල ප්‍රධාන දේශකවරයා ද වූහ. උන්වහන්සේගේ සරල ඇවතුම් පැවතුම් සමඟ විෂයය පිළිබඳ ගැඹුරු දැනුම, වාග් චාතුර්යය හැමදෙනාගේම සිත් ඇද බැඳ ගැනීමට සමත් විය. විශේෂයෙන් විදේශීය සිසුන් අතර බුදුදහම සහ පාලි භාෂාව පිළිබඳ පි‍්‍රයතම ගුරුවරයා බවට පත්වූහ. උන්වහන්සේ හොඳ දක්‍ෂ ගුරුවරයෙකු පමණක් නොව සාවධානව අනෙක් අයට ඇහුකන්දෙන කෙනෙකු බවට ද පත්වූහ. අනුරුද්ධ නාහිමිපාණෝ භික්‍ෂූන් වහන්සේලාට ආදර්ශයකි. දහම් දැනුම පිළිබඳ කෝෂ්ටාගාරයකි. අමිල සංඝරත්නයකි. ශාසනය වෙනුවෙන් බුදු දහම වෙනුවෙන්, පාලි භාෂාව වෙනුවෙන් මෙවන් අමිල වූ සේවාවක් සිදු කරමින් වැඩ සිටි නාහිමිපාණෝ 29 වැනි දින අලුයම අපවත් වී වදාළහ. අපවත් වී වදාළ මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නා හිමියන්ට නිවන් සුව පතමි.