Print this Article


යෞවනය හා විවාහය

යෞවනය හා විවාහය

අප දෙදෙනා ජීවිත කාලය පුරාම ඉතා පි‍්‍රය මනාප මුහුණින් එකිනෙකා දෙස බලමින් සතුටින් ජීවත් වන බව නකුල පිතා සහ නකුල මාතා යුවළ බුදුහාමුදුරුවන් සමග පැවසූහ. ඔවුන් සසර පෙර ජීවිතවලදීත් අඹුසැමියන් ලෙස සමගියෙන් ජීවත් වී තිබෙන බව උන්වහන්සේ ඔවුන්ට පැහැදිලි කළහ. සංසාරයේ පෙර භවවල දී එකට ජීවත්වීම හෝ මෙලොව ජීවිතය සම්බන්ධ යම් යම් කාරණා මුල්කරගෙන හෝ පුද්ගලයන් අතර සම්බන්ධතා ගොඩනැගෙන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ. ඒ අනුව අප තේරුම් ගත යුතු වැදගත් කාරණය නම් මෙලොව අප සමග ජීවත්වන අය සසරේ මතු අවස්ථාවක නැවතත් හමුවීමට ඉඩ තිබෙන බවයි.

එම නිසා, අප මෙලොව ඇසුරු කරන අය සමග ඉතා සුහදව ජීවත්වූවොත්, සංසාරයේ මතු භවයන්හි දීත් එලෙසම හිතවතුන් ලෙස එක්ව ජීවත්වීමට අවස්ථාව උදාවෙයි. එසේම ද්වේෂයෙන් හා වෛරයෙන් ජීවත් වන අය මතු ජීවිතවල දී බොහෝ ඔවුනොවුන් නොරුස්නා වෛරක්කාරයන් බවට පත්වනු ඇත. ඒ බව තහවුරු කෙරෙන ධම්මපදයේ සඳහන් කාල යක්ඛිනී කථාව, දේවදත්ත චරිතය වැනි නිදසුන් කථා රාශියක් බෞද්ධ පොත්වල දැක්වෙයි.ජීවිත කාලයේ කිසිම දවසක හමුනොවූ මිනිසුන් හදිසියේ දුටුවිට ඉතා පි‍්‍රයශීලි වන්නේත්, තවත් සමහරුන් දුටුවිට අප්‍රසන්නතාවයක් හිතට දැනෙන්නේත් සසර පැවැති සම්බන්ධකම්වල ස්වරූපය නිසා වන්නටද පුළුවන. මතු භවයේ කෙසේ වෙතත් මෙලොව ජීවිතයේදී ඇසුරු කරන අය සමග කරුණාව හා මෛත්‍රිය පෙරටුව සුහදව කටයුතු කිරීමෙන් සැමගේම ජීවිතවලට යහපත උදාවෙයි.

තරුණ වියට එළඹුන පසු තමන්ට සුදුසු අයකු සමග විවාහ ගිවිසගෙන ස්වාධීන ජීවිතයක් ගතකිරීම ගිහිජීවිතයේ පොදු අංගයකි. විවාහය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මෙන්ම ජීවිතයේ සුරක්ෂිත භාවයටද වැදගත්වෙයි.පෙරදිග සමාජයේ දෙමව්පියන් හා දරුවන් අතර බැඳීම වැඩිය. විවාහයෙන් පසුව ද ඔවුන් සමග එක නිවසක ජීවත්වීම සිදුවෙයි. එම නිසා විවාහය සිදුවිය යුත්තේ දෙමව්පියන්ගේ ද කැමැත්තෙනි. සියලු බාධක මැඬගෙන සතුටින් ජීවත්වීමට අපට හැකි යැයි සිතන දරුවන් මව්පියන්ගේ කැමැත්තට පිටුපාන අවස්ථා තිබේ. මව්පියන්ගේ සිත් නොතලා කටයුතු කිරීම බෞද්ධ චරිත්‍රයකි.අප ජීවිතයේ වැදගත් හැම දෙයක්ම කරන්නේ මව්පියන්ගේ ආශිර්වාදයෙනි.

ඇතැම් තරුණ තරුණියො පෙම් සබඳකම් ඇති කරගනිති. සුදුසු වයසේද පේ‍්‍රම සම්බන්ධතා ඇතිකරගත යුත්තේ සාරවත් විවාහ ජීවිතයක් ගත කිරීමේ සැබෑ වුවමනාවකිනි. හැඟීම්වලට මුල්තැන දී ඉඳුරන් පිනවීම යෞවන පේ‍්‍රමයේ අරමුණ නොවේ. ජීවිතයේ ඒ ඒ වකවානුවල සපුරාගත යුතු හා ප්‍රමුඛත්වය දිය යුතු දේ තිබේ. ඒ අනුව පේ‍්‍රමයට ද කාලයක් තිබේ. වර්තමානයේ පවතින නොයෙකුත් සමාජ පෙලඹවීම් ඔස්සේ ළමාවියේ සිටින කලාතුරකින් හෝ දරුවෝ ද පේ‍්‍රමයෙන් බැඳෙති. ආදරයේ සීමාවන් නොදන්නා ඔවුහු සියදිවි හානිකර ගැනීම, ඉගෙනීම කඩාකප්පල් කරගැනීම, දූෂණය,දුරාචාරය වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වෙති.

කෙනෙකුගේ රූපය ,කටහඬ, ප්‍රසිද්ධිය ,නිලතල ආදිය අනාගත සහකරුවකු තෝරාගැනීමේ මිණුම් වශයෙන් යොදාගැනීම නුවණට හුරු නොවේ. සැපවත් විවාහ ජීවිතයකට වැදගත් වන්නේ කෙනෙකුගේ ගුණ යහපත්කම් ය. සිදුහත් කුමරු විවාහය සඳහා සොයා බැලුවේ කාන්තාවකගේ ගතිගුණයි. ඔහු කාන්තාවක ගැන සිතුවේ, ඕ රූප මානයෙන් මත්නොවිය යුතුය. මවක හෝ සොහොයුරියක හෝ මෙන් කාරුණික සිතැත්තියක විය යුතුය. සිත කය, වචනය යන තුන්දොර සංවර කරගන්නා, වංශ මානයෙන් මත්නොවූ, විමසා කටයුතු කරන, නැදි මයිලන් කෙරෙහි ගුරුන් සේ ආදර ගෞරව ඇති කුමරියක ලදොත් පිළිගනිමි යනුවෙනි.

යසෝධරා කුමරිය පෙරුම් පුරා ඒ තත්ත්වයට පත් වූ කෙනෙකි.අපේ සමාජයේ වැඩිපුර සිටින්නේ පොදු මිනිස් දුබලකම්වලින් යුතු ගැහැණු පිරිමි අයයි. එම නිසා, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තුළ නොයෙක් අඩුපාඩුකම් බලාපොරොත්තු විය යුතුය. ඒවා නොසලකා හැර ඉවසීමෙන් හා සමගියෙන් ජීවත් වෙනවා යන පූර්ව නිගමනය ඇතිව විවාහ විය යුතුය. ආදරයෙන් බැඳෙන ඇතැම් තරුණ තරුණියන්ට විවාහ ගිවිස ගැනීමේදී බාහිර ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි. බුද්ධිමත් සමාජය අනුමත නොකරන නමුත් කුලය, සමාජ තත්ත්වය, ජාතිය, ආගම ආදි අංගවලින් එකිනෙකා සමාන නොවන අවස්ථාවල ඒවා පදනම් කරගෙන ඇතැම් වැඩිහිටියෝ දරුවන් කෙරෙහි දරදඬු ලෙස ක්‍රියා කරති. එවැනි අවස්ථාවල ගත යුතු පියවර කුමක් ද? යන්නට සැම දෙනකුටම ගැළපෙන පිළිතුරක් සෙවීම අපහසුය.

පේ‍්‍රම සම්බන්ධතාවයට වැඩිහිටියන්ගෙන් විරෝධතා මතුවූ විට,අපි හොර රහසේ ඈත පළාතකට ගොස් ජීවත්වෙමු යන දැඩි තීරණයට සමහර පෙම්වත්තු එළඹෙති. එසේ කරන අය අතුරින් සීමිත පිරිසක් සාර්ථක ජීවිත ගත කරති. නමුත් අපේ සමාජය සකස් වී තිබෙන්නේ පවුලේ නෑදැ හිතවතුන් සමග දුක සැප බෙදාගෙන සමීපව ජීවත්වන ආකාරයටය. ඒ නිසා වැඩිහිටියන්ගේ ඇසුරෙන් ඈත්ව විවාහ ගිවිස ගන්නා බොහෝ දෙනා ටික කලකින් හුදෙකලා වෙති. කුඩා කල සිටම මව්පිය ඇසුරේ සිටි ඔවුන්ට ජීවිතයේ අත්දැකීම් අඩුකම තදින්ම බලපායි. අමනාපකම් ඇතිවීමට බලපෑ දේ සියල්ල අමතක කර ඔවුන් යළිත් තම පවුලට සමීප කරගැනීමට මව්පියන් කල්පනා කළ යුතුය. හිතුවක්කාර ලෙස විවාහ ගිවිස ගැනීමක් සිදුවුවත් ඒ හේතුවෙන් මව්පියන් තුළ ඇතිවන වේදනාව ජීවිත කාලය පුරා පවතින වෛරයක් බවට පත්කර ගැනීම මිනිස්කමට නොගැළපෙයි. තමන්ට දාව උපන් දූ දරුවන්ට වඩා ඉහළින් ධනය කුලය, සමාජ තත්ත්වය වැනි බාහිර කාරණා මනසෙහි තබාගෙන ක්‍රියා කිරීම සුදුසු නැත.

මව්පියන් සමග දැඩි බැඳීමකින් සිටින, ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට අපහසු අය මව්පියන්ගේ කැමැත්තට අවනතව කටයුතු කළ යුතුය.කුලභේදය හා සමාජ තත්ත්වයන් යනු නොසලකා හැරිය යුතු දේවල්ය. නමුත් මව්පියන්ගේ සිත් ඒ සම්බන්ධයෙන් දැඩිව බැඳී පවතී නම්,වෙනස් කරගැනීමට අපහසු බව තමන්ට හැඟෙයි නම් කෙනෙකුට පෙම් කරන්නට පෙරාතුව එවැනි අසමානකම් කෙරේ අවධානය යොමු කළ යුතුයි. එය කුලභේදය වැනි දේ අනුමත කිරීමක් නොව මතුවට පවුල් ආරවුල් හා මානසික වේදනා ඇති නොවීම සඳහා කල්තියා ගනු ලබන පියවරකි.

ලාබාල වයසේ ආදර සබඳකම්වල පටලැවෙන දරුවන්ට මෙන්ම විවාහ වන වයසේ දරුවන්ට දෙන මව්පියන්ගේ අවවාද හා කරුණු පැහැදිලි කිරීම් අවශ්‍ය වෙයි. තම දරුවාගේ අනාගත සහකරුගේ හෝ සහකාරියගේ ඇතැම් ගති සිරිත් හා සමාජ පසුබිම මව්පියන්ට එකඟ විය නොහැකි මට්ටමක තිබෙන්නට පුළුවන. නමුත් හැම අංශයකින්ම තමන්ගේ සිතට හා පවුලට ගැළපෙන අය සොයා ගැනීම පහසු නොවේ. ඒ හේතුවෙන් බොහෝ විට ගැහැනු දරුවන්ට නිසි වයසේදි විවාහ වීමට නොලැබේ. එය ගැහැනු දරුවකුගේ ජීවිතය මුළුමනින්ම විපතට හෙළීමකි. තම දරුවාගේ චරිතය හොඳ නැතිනම්, හොඳ ගුණවත්, චරිතවත් කෙනකු ඔහුට හෝ ඇයට විවාහ කරදීම පහසු නැත.

සද්ධර්මරත්නාවලිය පොතේ කථාවක සඳහන් කුද්දාල නමැත්තා වෙහෙස මහන්සි වී කුඹුර කොටමින් සිටින විට බිරිඳගේ අඩුපාඩුකම, නරක ගතිගුණ සිහිපත් වෙයි. දුක් විඳිමින් එවැනි ගැහැනියක සමග ජීවත්වීම තේරුමක් නැතැයි සිතන ඔහු පන්සලට ගොස් පැවිදි වෙයි. ඇය උයා පිහා දෙමින් තමන්ට සලකන හැටි හා ඇයගේ ගුණවත්කම ගැන ඔහුට පන්සලේ දී මතක්වෙයි. එවිට බිරිඳ කෙරෙහි ඇතිවන ආදරය නිසා ඔහු උපැදිව ඇය සොයා එයි. නැවතත් ආරවුලක් ඇති වූ විට ඇය අත්හැර ගොස් පැවිදි වෙයි. නැවතත් බිරිඳ ගැන අනුකම්පාව ඇතිවී උපැවිදිවී බිරිඳ සොයා එයි.මේ ආකාරයට ඔහු සත් වතාවක්ම පැවිදිව උපැවැදිවී බිරිය සොයා ආවේය. බිරිඳ හා සැමියා අතර ඇතිවන අමනාපකම් හේතුවෙන් තාවකාලික ඔවුනොවුන් හැරදමා යන මෙවැනි අවස්ථා වර්තමාන සමාජයේද දකින්නට ඇත. මනුෂ්‍ය ජීවිතය යනු හොඳ නරක යන ආකාරයේම සිරිත් හා ගතිගුණවල මිශ්‍රණයකි. එම නිසා, කෙනෙකුගේ අඩුපාඩුකම් විවේචනය කරමින් ඔහුගෙන් හෝ ඇයගෙන් ඈත්වීමට වෙහෙසනවාට වඩා හොඳ ගතිගුණ ගැන සිතා එක්ව ජීවත්වීමට විවාහක යුවළ වෑයම් කළ යුතුය.

කවුරුන් කැමැති වුවත් නොවුවත් ජීවිතය ගෙන යන්නේ විවාහ ගිවිස ගන්නා දෙදෙනාය. දරුවන්ගේ විවාහ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් නොකර කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඔවුන් නොමග යන බව පෙනේ නම්, සුහදව එය පෙන්වා දීම වැඩිහිටි වගකීමකි. නමුත් ඔවුන්ගේ සමගිය නැතිවන අනවශ්‍ය බලපෑම් නොකළ යුතුය. අපේ වැඩිහිටියන් තුළ පැලපදියම් වී ඇති පාරම්පරික සිතුම් පැතුම්වලට නොගැළපුණත් අද පවතින්නේ තරුණ තරුණියන්ගේ කටයුතු පිළිබඳව වඩාත් විවෘත මනසකින්, හා අනුකම්පාවෙන් බැලිය යුතු කාලයකි. තරුණ තරුණියන්ට සමාජයෙන් එල්ලවන බලපෑම් දෙස බලන විට ඔවුන් අද යම් තරමකට හෝ මව්පියන්ට අවනතව ඇහුම් කන් දීම ගැන අප සතුටු විය යුතුය. අපේ තරුණ තරුණියන්ද අපේ සංස්කෘතික හරයන් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට උත්සාහ කළ යුතුය.