Print this Article


දැහැමින් ධනය ඉපයීම

දැහැමින් ධනය ඉපයීම

සැපවත් ගිහි ජීවිතයක් උදෙසා භෞතික ධනය අත්‍යවශ්‍ය වේ. ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයාට දිළිඳුකම දුකක් වශයෙන් දක්වා තිබේ. (දාලිද්දියං භික්‍ඛවේ දුක්ඛං කාමභෝගීනං) බුදුසමය ආධ්‍යාත්මික ධනය මෙන්ම භෞතික ධනයත් අවධාරණය කරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක් අංශයක් පමණක් වර්ධනය කිරීමෙන් ගිහි ජීවිතය සාර්ථක නොවන බවයි. ආධ්‍යාත්මික ධනයත්, භෞතික ධනයත් යන දෙකම රැස්කරගත් පුද්ගලයා දෑසම සම්පූර්ණකරගත් අයෙකු ලෙසත්, එවැන්නා ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙසත් අංගුත්තර නිකායේ ද්විචක්ඛු සූත්‍රයෙහි දැක්වේ. එසේම අංගුත්තර නිකායේ වඩ්ඩි සූත්‍රයෙහි දැක්වෙන පරිදි ආර්ය ශ්‍රාවකයා භෞතික වශයෙන් කෙත්වතුවලින්, ධනධාන්‍යයෙන්, අඹුදරුවන්ගෙන්, දැසිදස් කම්කරුවන්ගෙන් සිව්පාසතුන්ගෙන් (කෘෂිකර්මාන්ත සඳහා අවශ්‍ය සතුන්) යන අංග පහෙන් සමෘද්ධිමත්විය යුතු අතර ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, උගත්කමින් ත්‍යාගශීලි බවින් හා ප්‍රඥාවෙන් දියුණු වියයුතු වේ. වර්තමානයේ මෙම භෞතික ලයිස්තුව වඩාත් පුළුල් වී තිබේ. එයට පුද්ගලයෙකුගේ භෞතික දියුණුව මනින සියලුම අංග ඇතුළත් කළ හැකි වේ. මෙසේ භෞතික හා ආධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම යුක්ත පුද්ගලයා දියුණු වූ ධනවත් අයෙකු වශයෙන් හඳුන්වාදෙනු ලැබේ. මෙම විග්‍රහයෙන් බොහෝ දෙනෙකු තුළ පවතින වැරැදි විශ්වාසයක් වන ධනය ඉපයීමට බුදුසමයෙන් ඉඩක් නොමැතිය යන අදහස ප්‍රතික්‍ෂේප වේ. එසේම අනිත්‍යතාව ප්‍රධාන ඉගැන්වීම් කරගත් බුදුසමය දියුණුවට බාධාවක් ලෙස සිතන අයත් සිටී. එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහියන් සඳහා දේශනා කළ කිසිදු සූත්‍ර දේශනාවක ධනය ඉපැයීම වරදක් වශයෙන් දක්වා නොමැත. ගිහියෙකුට දැහැමිව හැකිතරම් ධනය ඉපැයිය හැකිවේ. (ධම්මේන භොගෙ පරියෙසති) සැබෑ බෞද්ධයෙකු නම් ඔහු කිසිවිටෙකත් දුප්පතෙකු නොවිය යුතුයි. එසේම බෞද්ධයෙකු තමා දුප්පතෙකැයි යනුවෙන් හඳුන්වාදීම බුදුදහමට කරන අගෞරවයක් සේ සැළකිය හැකිය. එසේම බෞද්ධ ව්‍යාපාරිකයෙකුට තම ව්‍යාපාරය අසාර්ථක එකක්ය, පාඩු ලබන ආයතනයක්ය යනුවෙන් මැසිවිලි නැගිය නොහැකිය. ව්‍යාපාරික ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයන් විය යුත්තේ බෞද්ධයෝ ය. එයට හේතුව ධනය උපයන ආකාරයත් එය මැනවින් කළමනාකරණය කරගන්නා ආකාරයත් ධනය විනාශ වන හේතු කාරණාත් බුදුරජාණන් වහන්සේ මැනවින් ඉදිරිපත්කොට තිබෙන බැවිනි. එබැවින් සැබෑ බෞද්ධයා ලොව සිටින විශාලම ධනවතා මෙන්ම සාර්ථකම ව්‍යාපාරිකයාද විය යුතු වේ. වර්තමානයේ බොහෝ බෞද්ධයන් අතර දුප්පත්කම දක්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයක් නොමැති නිසා ය.

ආර්ථිකය පිළිබඳ බෞද්ධ පිළිවෙත බුදුසසුනේ ප්‍රධාන දායකත්වය දැරූ සාර්ථක දැහැමි ව්‍යාපාරිකයෙකු වශයෙන් ප්‍රකට අනේපිඬු සිටුවරයා අමතා දේශනා කරන ලද අංගුත්තරනිකායේ කාමභොගී සූත්‍රයෙන් පැහැදිලි වේ. ඒ අනුව බෞද්ධ ආර්ථික පිළිවෙත නිෂ්පාදනය, පරිභෝජනය, සංවිභජනය, පරිභෝජන දර්ශනය යන අංග හතරකින් සමන්විත වේ. මෙහිදී අප අවධානය යොමු කරන්නේ ධනය නිෂ්පාදනය පිළිබඳ දැහැමි බෞද්ධ පිළිවෙත පැහැදිලි කිරීම කෙරෙහිය. බුදුසමයෙන් ධනය ඉපයීම පිණිස කිසිදු තහංචියක් පනවා නොමැත. ධනවත් වීම බුදුසමය විශේෂයෙන්ම අගය කරනු ලැබේ. ධනය ඉපැයීමේ ක්‍රමවේදය යටතේ බුදුරජාණන් වහන්සේ කායික හා මානසික ශ්‍රමයට අමතරව සදාචාරාත්මක පදනමද නිර්දේශ කළහ. අණන සූත්‍රයෙන් අනේපිඬු සිටුවරයාට මෙන්ම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් දීඝජානුටද එය පැහැදිලිකර තිබේ. ඒ යටතේ උට්ඨානවීර්ය බාහුබලය දහඩිය මහන්සිය යනුවෙන් කායික ශ්‍රමය ඇගයෙන අතර මානසික ශ්‍රමය යටතේ දක්‍ෂතාව අලස නොවීම උපාය මාර්ග විමසා බැලීම කාර්යක්‍ෂමතාව සංවිධානාත්මක බව අවධාරණය කෙරේ. මේ අංශ දෙකම කවර රැකියාවක් කළ ද අත්‍යවශ්‍ය වේ. දැහැමි මෙන්ම අදැහැමි රැකියාවකට වුවද මෙකී කරුණු අදාළ වේ.

එහෙත් බුදුදහමින් අදැහැමි රැකියාවකට කිසිසේත්ම ඉඩක් නොමැත. බුදුසමය අගයකරන්නේ දැහැමි ධනෝපාර්ජන ක්‍රම පමණි. දැහැමියැයි සම්මත රැකියාවකින් වුවද අදැහැමි ආකාරයට ධනය සෙවිය හැකිය. මෙම ගැටලුව නිරාකරණය කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ “ධම්මික ධම්මලද්ද” යනුවෙන් සදාචාරාත්මක පදනමක්ද ඉදිරිපත් කර තිබේ. මෙයින් පෙන්වා දෙන්නේ රැකියාව දැහැමි විය යුතුය යන්න පමණක් නොව එයින් ලබන ආදායමත් දැහැමි ආකාරයෙන් ලැබූවක් වියයුතු බවයි. “ධම්ම” යන්න අතිශය සුවිශේෂී අර්ථයකින් බුදුසමයේ යෙදි තිබේ. ධනය සෙවීම සඳහා දැහැමි වීම මෙන්ම දැහැමින් ධනය සෙවිය නොහැකිය යන විශ්වාසය ඇති වූ විට අපට හමුවන්නේ ශ්‍රමය සූරාකන, පරිසරයට හා සමාජයට හානිකරන, අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු නොකරන, අල්ලසට හුරුපුරුදු පිරිසකි. මෙම පිරිස කෙටි කලකින් ධනවත් වුවද ඔවුන්ගේ ධනවත් වීම පිටුපස තිබෙන්නේ විශාල සමාජ හානියකි. එවන් පිරිසකට තමා උපයාගත් ධනය පිළිබඳ කිසිසේත්ම සතුටුවිය නොහැකිය. ඔවුන්ගේ හෘදය සාක්‍ෂිය විසින් තමා ලත් ධනය පිළිබඳ නිරන්තරයෙන්ම විමසනු ලැබේ. බුදුරජාණන් වහන්සේ අනුදත් ක්‍රමවේදය අනුව තමා සපයාගත් ධනය කායික ශ්‍රමය, මානසික ශ්‍රමය හා සදාචාරාත්මක පදනමකින් උපයාගෙන තිබෙන්නේ නම් එවැන්නෙකුට තමන්ගේ ධනය පිළිබඳ සැපතක් සොම්නසක් භුක්තිවිඳිය හැකිවේ. එවැනි සැපත හා සොම්නස අත්ථි සුඛ, භෝග සුඛ යටතේ අවධාරණය කර තිබේ.

කවර ධනෝපාර්ජන ක්‍රමයක් වුවද එහි ධාර්මිකත්වය තීරණය වන්නේ එකී රැකියාව මඟින් තමන්ට හානියක් නැතහොත් සමාජයට හානියක් තමාට මෙන්ම අන් අයට ද යන උභය පක්‍ෂයටම හානියක් සිදුවීම හා නොවීම පදනම්කරගෙනය. ඒ අනුව තමන් තෝරාගන්නා ධනෝපායන පිළිවෙත පුද්ගලයාට මෙන්ම සමාජයටත් හානිකර වන්නේ නම් එයින් වැළකිය යුතුවේ. යම් ධනෝපායන පිළිවෙතක් පුද්ගලයාට මෙන්ම සමාජයටත් හිතකර වන්නේ නම් එය අනුගමනය කළ යුතු වේ.

ධනෝපායනයේ දී අනුගමනය කළ යුතු තවත් පිළිවෙතක් වන්නේ සාධාරණත්වයයි. සේවාදායකයා හෝ පාරිභෝගිකයා පීඩාවට පත්කරමින් බොරුවෙන් වංචාවෙන් මුලා කරමින් තම ලාභය පමණක් සළකා කටයුතු කිරීම සාවද්‍ය වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිථ්‍යා ආජීවය යටතේ දැක්වෙන්නේ අසාධාරණයෙන් වැළකී සාධාරණ අයුරින් ධනය උපයන ආකාරයයි. මිච්ඡා ආජීව යන්න වඩාත් පුළුල් අරුතකින් යෙදී තිබේ. බොහෝ දෙනෙකු මෙම කරුණ වැරැදියට වටහාගෙන තිබේ. ඒ අනුව මිච්ඡාජිව යනුවෙන් ඔවුන් කල්පනා කරන්නේ නොකළයුතු වෙළදාම් පසය. එහෙත් එය මිච්ඡා ආජීව යටතේ නොව උපාසක අකරණීය ධර්ම හෙවත් උපාසකයෙකු විසින් නොකළයුතු වෙළඳාම් වශයෙන් අංගුත්තර නිකායේ වණිජජා සූත්‍රයෙහි දක්වා තිබේ. එය වෙළෙඳාම හා සම්බන්ධ වේ. එයද වැරැදි ජීවනෝපායන්ටම ඇතුළත් කළ හැකිය. එහෙත් මිච්ඡා ආජීව යන්න එයට වඩා සුවිශේෂ අර්ථයකින් යෙදී තිබෙන අයුරු ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කෙරෙන තැන් විමසීමෙන් පැහැදිලි වේ. මිච්ඡා ආජීවය මෙන්ම නොකළයුතු වෙළෙඳාම් පසද වැරැදි ධනෝපායන ක්‍රම බවට විවාදයක් නැත. සම්මා ආජීවය වටහා ගැනීම සඳහා මිච්ඡා ආජීව යන්නට දෙන අර්ථ වටහා ගැනීම වැදගත් වේ. මහාචත්තාරීසක සූත්‍රයෙහි මිච්ඡා ආජීව යනුවෙන් අර්ථ දක්වන්නේ කූටකම් මායාකාරී හා තර්ජනාත්මක වදන් භාවිතය විවිධාකාර ඇගවීම් මදිපුංචිකම් කිරීම ලාභයෙන් ලාභයට යාම ආදියයි. මිච්ඡා ආජිවයට අයත් මෙම වැරදි කවර වෘත්තියක වුවද දක්නට ලැබේ. මෙකී වැරදිවලින් වැළකීමෙන් වන සම්මා ආජීවය කවර දැහැමි වෘත්තියකට වුවද අදාළ කරගත හැකිවේ. තමන් අනුගමනය කරන කවරාකාරයේ දැහැමි වෘත්තියක් වුවද එමගින් ධනය ඉපැයීමේ දී මිථ්‍යා ආජිවයෙන් වැළකීම අවශ්‍ය වේ.

ධනෝපායනයේ දී පුද්ගලයාගේ උත්සාහය හා කැපවීම වැදගත් සාධකයකි. ජීවිතය බාහිර බලවේගයකට පවරා කටයුතු කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. වර්තමානයේ බොහෝ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙතින් බැහැර වී උත්සාහයෙන් හා සිහිනුවණින් යුක්තව තම ආර්ථික දියුණුව පිණිස කටයුතු නොකර වෙනත් බාහිර බලවේග මත විශ්වාසය තබමින් අවස්ථාවාදී කපටි පුද්ගලයන්ගේ මායාකාරී ක්‍රියාවන්ට රැවටී අඳුරට ගමන් ගන්නා ආකාරය දක්නට ලැබේ. කම්මැලි පුද්ගලයා තමාගේ දියුණුව විනාශකරගන්නේ කෙසේද යන්න සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන අලසකමේ ආදිනව විමසීමෙන් පැහැදිලි වේ. මිනිස් උත්සාහයට හා බුද්ධියට අභියෝග කළ හැකි වෙනත් බාහිර බලවේගයක් නොමැත. ඇතැම් පුද්ගලයන් කල්පනා කරන්නේ ඔවුන් දිළිඳු වී සිටින්නේ පෙර කර්මයේ විපාකයක් ලෙසයි. උත්සහාවන්ත පුද්ගලයාට කර්මයේ බලය වුව වෙනස්කළ හැකිය යන්න අංගුත්තර නිකායේ ලෝණඵල වග්ගයේ නවවන සූත්‍රයේ දැක්වෙන කරුණුවලින් සනාථ වේ. අනෙක් අතට බුදුසමයේ කර්මය නියතිවාදයක් ලෙස නොපිළිගනී. කර්මයට අභියෝගකොට උත්සාහයෙන් කටයුතු කරන පුද්ගලයා උට්ඨානඵලුපජිවි යනුවෙන් හඳුවනු ලැබේ. බුදුදහමේ ඉගැන්වෙන දැහැමි ධනෝපායන ක්‍රම අනුගමනය කරන බෞද්ධයෙකුට පමණක් නොව කවර අයෙකුට වුවද ලොව පී‍්‍රතිමත් හා ධනවත්ම ගෘහස්ථයා බවට මෙන්ම ව්‍යාපාරිකයා බවටද පත්විය හැකිවේ. සමාජයක දිළඳුකම අවම කළහැකිවන්නේ විමසීමකින් තොරව සහනාධාර සැපයීමෙන් නොව ධන නිෂ්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණුකොට ක්‍රියාකාරීව උත්සාහයෙන් වැඩකිරීමට අවශ්‍ය දැනුම මෙන්ම පුහුණුවත් සැපයීමෙන්ය යන්න ගැඹුරින් වටහාගතයුතුව තිබේ. මෙම පිළිවෙත කෙසේ සකස්විය යුතුද යන්න චක්කවත්ති හා කුටදන්ත සූත්‍ර දේශනා ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දී තිබේ.