UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රායෝගික ජීවිතයට බුදුදහම - 05

මව් පිය-දූ දරු සබදතාව

දෙමාපියන් හා දරුවන් අතර පවතින සම්බන්ධතාව ගිහි ජීවිතයේ අනිවාර්ය සමාජ අංගයකි. පුද්ගලයෙකු සමාජ ගත කරනු ලබන්නේ දෙමාපියන් විසින් ය. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දෙමාපිය දූ දරු සම්බන්ධතාව විශේෂ සාකච්ඡාවකට භාජනය වී තිබේ.

බ්‍රහ්ම විහාර සතර බුදුරජාණන් වහන්සේ මෙම සම්බන්ධතාව සහිත පවුල විවිධ නම්වලින් හඳුන්වා තිබේ. සබ්‍රහ්මකුල, සපුබ්බාචරියකුල, සපුබ්බ දේවකුල, හා සාහුනෙය්‍යකුල යන නම් ඒ අතර වේ. සබ්‍රහ්ම කුල යන වචනයෙන් අදහස් කරන්නේ පවුල යන්නයි. සබ්‍රහ්ම කුල යන්නෙන් බ්‍රහ්මයා සහිත පවුල යන අදහස ගැනේ. දරුවන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන බ්‍රහ්ම විහාර සතර පතුරුවන නිසා දෙමාපියන් බ්‍රහ්මයන් වශයෙන් හඳුන්වා දී තිබේ. කාම ලෝකය තුළ ඉතාමත් දුර්ලභ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම ගුණ යම් පමණකින් හෝ පවතින්නේ දෙමාපියන් තුළ පමණි. කෙනෙකු වෙනුවෙන් අවංකව හිතවත්කම කාරුණිකභාවය දියුණුව දැක සතුටු වන ස්වභාවය මධ්‍යස්ථභාවය අපේක්‍ෂා කළ හැකිවන්නේ දෙමාපියන් කෙරෙන් පමණි. සපුබ්බාචරියකුල යන්නෙන් අදහස් කරන්නේ පූර්වාචාර්යවරුන් සහිත පවුලයි. දෙමාපියන් පූර්ව ආචාර්යවරු වශයෙන් හැඳින්වෙති. මෙලොවට බිහි වූ දරුවාට බහ තෝරන අවස්ථාවේ සිටම ඔහුගේ චර්යාවන් හැඩගසා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන්නේ දෙමාපියන් විසිනි. මෙසේ දෙමාපියන් විසින් දරුවාට ලබාදෙන මූලික දැනුම හා ශික්‍ෂණය අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

යමක් ග්‍රහණය කරගැනීමට අවස්ථාව සැලැසීම (ගහාපෙන්ති) හෙවත් යමක් වටහා දීම හා යහපත් සමාජ පුරුදු කෙරෙහි පුහුණු කිරීම (සික්ඛාපෙන්ති) ඒ අනුව මෙයින් අදහස් කෙරෙන්නේ පූර්වාචාර්යවරුන් වන දෙමාපියන් දරුවාට දැනුම මෙන්ම මනා චරිත සංවර්ධනයකක් ඇතිකළ යුතු බවයි. සපුබ්බදේව කුල යන මෙහි අදහස පූර්ව දේවතාවුන් සහිත පවුල යන්නයි. පූර්ව දේවතා යනුවෙන් හැඳින්වෙන්නේ දෙමාපියන් ය. දේවතාවරුන්ගෙන් පුද්ගලයාට රැකවරණය සැලැසෙන බව විශ්වාස කෙරේ. එමෙන්ම දරුවාට මූලික රැකවරණය ලැබෙන්නේ දෙමාපියන්ගෙන් ය. දරුවන් විසින් දෙනු ලබන සියලුම ආහාරපාන ඇඳුම් ආදී පූජාවන් ලැබීමට සුදුසුම පුද්ගලයන් වශයෙන් දෙමාපියන් සැලැකෙන නිසා සාහුනෙය්‍ය කුල නමින් ඔවුන් හඳුන්වා තිබේ. මෙම වචන හා සම්බන්ධ අර්ථ විවරණවලට අනුව මුලින් දක්වන ලද කරුණු තුන දෙමාපියන් විසින් දරුවන් සම්බන්ධයෙන්ද අවසාන කරුණ දරුවන් විසින් දෙමාපියන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුතු ය.

උතුම්ම වස්තුව

ගිහි ජීවිතය ගත කරන අයගේ වටිනාම සම්පත වන්නේ දරුවන් ය. මිනිසුන්ට තිබෙන වස්තුව කුමක්දැයි විමසූ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මිනිසුන්ට තිබෙන උතුම්ම වස්තුව දරුවන් බවයි(පුත්ථාවත්ථුමනුස්සානං) සෑම මවක්ම, පියෙක්ම දරුවන් වෙනුවෙන් මහත් වෙහෙසක් දරති. බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගේ සේවය මෙසේ ප්‍රකාශ කළ සේක. “මහණෙනි, මව්පියවරු දරුවන්ට බොහෝ උපකාරශීලිහු වෙති, මෙහෙයවන්නෝ වෙති, පෝෂණය කරන්නෝ වෙති, මේ ලෝකය හඳුන්වා දෙන්නෝ වෙති.” අංගුත්තර නිකායේ සබ්‍රහ්ම සූත්‍රයෙහි අපාදකා, පෝසකා, ඉමස්සලෝකස්ස දස්සේතාරො යනුවෙන් දෙමාපියන්ගේ වගකීම ප්‍රකට කෙරෙනවචන තුනක් දක්නට ලැබේ. මේ පිළිබඳ අවධානය යොමුකිරීමෙන් දෙමාපියන් දරුවන් වෙනුවෙන් කොතරම් සේවයක් කරන්නේද යන්න පැහැදිලි කරගත හැකි වේ. අපාදකා යන්නෙන් දරුවාගේ කායික මානසික හැකියාව වර්ධනය කිරීම අදහස් කෙරේ. අටුවාචාරීන් වහන්සේලා මෙම වචනයට අර්ථ දක්වමින් ප්‍රකාශ කරන්නේ දරුවන් නිසි මඟ මෙහෙයවීම අපාදකා යනුවෙන් අදහස් කරන බවයි. (අපාදකාතිඅනුපාලකා) දරුවාගේ දිවි පැවැත්ම උදෙසා අවශ්‍ය මූලික දැනුම ලබාදීම මෙහිදී සිදුවේ. ළදරු අවස්ථාවෙහි දරුවා තමන් වටා පවතින අනතුර නොහඳුනයි. එහිදී ඔහුට සහාය වන්නේ දෙමාපියන් ය. පොසකා යනුවෙන් අදහස් කරන්නේ දරුවාට අවශ්‍ය කායික හා මානසික පෝෂණය නිසි පරිදි ලබාදීමයි. සත්ත්වයාගේ කායික මානසික පැවැත්ම උදෙසා පිහිට වන ආහාර වර්ග සතරක් දැක්වේ. එනම් කබලිංකාර ආහාර, ඵස්සාහාර, මනෝසංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර යනු එම හතර ය.

ශරීරය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය ඝණ ආහාර ද්‍රව්‍ය කබලිංකාර ආහාරය. මව්පිය සම්බන්ධතාවෙන් දරුවකු පිළිසිඳ ගැනීමේ සිට මිනිසෙකු දක්වා වර්ධනය වන අනුපිළිවෙළ ක්‍රමය මජ් ම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයේ දැක්වේ. දරුගැබ නිසි අයුරින් මුහුකුරා යාමෙන් අනතුරුව මව විසින් දරුවාට නීරෝගී උපතක් ලබාදෙන අතර පසුව සිය ලේ ධාතුවෙන් දරුවා පෝෂණය කරන්නීය. (ලෝහිත යනු මව් කිරිය) මව් කිරි වල සිට ඝණ ආහාර ද්‍රව්‍ය දක්වා ශාරීරික පෝෂණයට අවශ්‍ය සියලුම ආහාර කබලිංකාර ආහාර යනුවෙන් දැක්වේ. මෙම ඝණ ආහාර දීමෙන් ශාරීරික හා ඉන්ද්‍රියන් වර්ධනය වීම (අරමුණු ලැබීමට යෝග්‍යවන ආකාරයෙන් මුහුකුරා යාම) සිදු වේ. සෙසු ආහාර තුනම තරමක් ගැඹුරු විවරණයකි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් මඟින් ලබන අත්දැකීම් ස්පර්ශ කිරීම ඵස්ස ආහාර යනුවෙන්ද ඉන්ද්‍රියන් මගින් ලබන විවිධ අත්දැකීම් පදනම් කරගෙන සිතට ආහාර සැපයීම මනෝසංචේතනාහාර යනුවෙන්ද අරමුණු පිළිබඳ ලබාගන්නා දැනුම විඤ්ඤාණ ආහාර යනුවෙන්ද හඳුන්වා තිබේ. ඉතා සරලව පවසන්නේ නම් මෙම කරුණු තුනම මනස හා සම්බන්ධවන, එහි වර්ධනයට බලපාන කරුණුය.

මෙම ආහාර වර්ග සතරම සත්ත්වයාගේ භෞතික මෙන්ම මානසික වර්ධනයට උපකාරී වේ. බුදුසමයට අනුව පෝෂණය කිරීම යනුවෙන් අදහස් කරන්නේ කායික මෙන්ම මානසික වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදීමයි. මෙම අංශ දෙකම සමතුලිත විය යුතු වේ. (ඉමස්සලෝකස්ස දස්සේතාරො) පරම ධනය දෙමාපියන් දරුවන්ට ලෝකය පෙන්වා දෙන අය වශයෙන් හඳුන්වයි. උපතේ දී මිනිස් දරුවෙකු හැරුණු විට වෙනත් කිසිම සතෙක් අසරණ තත්ත්වයට පත්වන්නේ නැත. සෙසු සතුන්ට උපතත් සමගම නැගී සිටීමේ හැකියාව තිබුණද මිනිස් දරුවෙකුට ඒ සඳහා කාලයක් ගත කිරීමට සිදුවේ. කිසිවක් කරගත නොහැකි මෙම දරුවා දෙමාපියන් විසින් දිකු කලක සිට මහත් වෙහෙසක් දරමින් පෝෂණය කරනු ලැබේ. මෙලොව ඔහු විසින් අත්පත්කරගතයුතු සියල්ල ලබාගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදුවන්නේ දෙමාපියන් අතිනි.

මෙනිසා දෙමාපියන් දරුවාට මෙලොව පෙන්වාදෙන අය වශයෙන් සැලකෙයි. ගිහි ජීවිතයේ පරම ධනය වන දරු සම්පත සකස්කරගැනීම මහත් අවබෝධයකින් කළ යුත්තකි. පින්වන්ත දරුවන් බිහිවන්නේ පින්වන්ත දෙමාපියන්ට ය. දරුවන් සිටින තැනැත්තියක් වශයෙන් සතුටුවිය හැකිවන්නේ කළ පින් ඇති කාන්තාවකට පමණි. විවාහ අපේක්‍ෂාවෙන් සිටින තරුණ තරුණියන් දහමට යොමුවී නිතර පුණ්‍ය කර්මවල කුශල කර්මවල නිරතවන්නේ නම් ඔවුන්ට වාසනාවන්ත දරුවන් ලබාගැනීමට හැකියාවක් තිබෙන බව බුදුරජාණන් වහන්සේගේ මෙම ඉගැන්වීම්වලින් පැහැදිලිවේ.

දරු ප්‍රසූතියක් අපේක්‍ෂාවෙන් සිටින බිරිඳකට අවශ්‍ය මානසික සහනය නිසි පෝෂණය ලබාදීම ස්වාමිපුරුෂයෙකුගේ යුතුකම ය. ගර්භණී අවස්ථාවෙහි සිටින කාන්තාවන් නිතර ශීල සමාදානයේ යෙදෙමින් පින්කම්වල නිරත වීම ඉතා පැරැණි බෞද්ධ චාරිත්‍රයකි. බෝධිරාජ කුමරුගේ මව ගර්භණී අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් උන්වහන්සේට දෙවරක් නමස්කාර කොට දෙවරක්ම තිසරණයෙහි පිහිටියා ය. දෙවන නමස්කාරය හා දෙවන තිසරණ ගතවීම ඇයගේ කුස තුළ සිටිය බෝධිරාජ කුමාරයා වෙනුවෙන් ය. පැරැණි බෞද්ධයෝ මෙම චාරිත ‍්‍රය ‘ගැබ්පෙළහර’ දැක්වීම යනුවෙන් අනුගමනය කළහ. එහිදී ගර්භණී කාන්තාවෝ දිනපතා ආගමික වත්පිළිවෙත්වල නිරත වූ අතර ජාතක පොත වැනි දැහමි කතන්දර පොත්ද කියෙවූහ. මෙයින් ඇයට අවශ්‍ය කායික හා මානසික සහනය සකස්කරගත්තා ය.

මවගේ වගකීම

දරු සම්පත් ලබාගැනීමේ දී විශේෂ වගකීමක් මවට හිමිවේ. දරුවාට වඩාත් සමීප පුද්ගලයා වන්නේ මවය. ජාතකකතා පොතෙහි දැක්වෙන සෝනන්ද ජාතක කථාවෙහි මවගේ වගකීම ප්‍රකට වන වචන හතරක් දැක්වේ. දරුවා කෙරෙහි පළමුවෙන්ම ආදරය දක්වන තැනැත්තා මව නිසා ඇය මෙනමින් හඳුන්වා තිබේ. කාන්තාවක තුළ ප්‍රථම ආදරය හටගන්නේ ඇය පිළිසිඳගෙන, දොළදුක ඇතිවීමත් සමඟම ය. මව් කුස පිළිසිඳ ගත් දරුවාට නීරෝගී උපතක් ලබාදෙන්නේ මව බැවින් ඇය ‘ජනෙත්ති’ යනුවෙන් හඳුන්වනු ලැබේ. හඬන දරුවාට මව්කිරි දීමෙන් හා නැළවිලි ගී ගායනයෙන්ද මව දරුවා තුරුළුකරගෙන ශරීර උණුසුම ලබාදීමෙන්ද දරුවා සනසන හෙයින් මව, තෝසෙන්ති හෙවත් සතුටු කරන්නී නමින්ද දරුවාට නිසි කායික හා මානසික පෝෂණය ලබාදෙන නිසා මව පෝසෙන්ති නමින්ද හැඳින්වේ. ජාතක කතාවෙහි දැක්වෙන මෙම වචන වලින් පැහැදිලි වන්නේ දරුවා කෙරෙහි මව තුළ කොතරම් ගැඹුරු බැඳීමක් පවතිනවාද යන්නය. දරුවන් හැදීම පිළිබඳ සෑම බෞද්ධ ඉගැන්වීමකින්ම පෙන්වා දෙන්නේ ගුණ, නැණ දෙකින්ම පිරිපුන් දරුවන් බිහිකිරීම දෙමාපියන්ගේ යුතුකම බවය. සමාජයට හිතකාරී යහපත් දරුවෙකු බිහිකිරීමම විශාල පින්කමකි

දරුවා සමාජ ගත කිරීමේ දී දෙමාපියන් සතු කාර්යභාරය සිඟාලෝවාද සූත්‍රයෙහි කරුණු පහක් යටතේ දක්වා තිබේ. පවිටු ක්‍රියාවන්ගෙන් දරුවන් වළක්වාලීම, යහපත් ක්‍රියාවන්හී යෙදවීම, ශිල්ප ශාස්ත්‍ර ලබාදීම, යෝග්‍ය ආවාහ විවාහ කටයුතු සපුරාදීම, සුදුසු කල්හී මව්පිය දායාදය පවරා දීම ආදියයි.

මෙම කරුණු පහෙන් මුල් කරුණු දෙකින් ඉදිරිපත් කරන්නේ දරුවාගේ සදාචාර අධ්‍යාපනයයි. දෙමාපියන් විසින් දරුවන්ට යහමඟ කියාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු ය. කුඩාකල සිටම නිසි හැඩගැස්මකින් යුතු දරුවෝ සමාජයට මහත් ආශිර්වාදයකි. බෞද්ධයන් වන අප, අපේ දරුවන් කුඩා කල සිටම දහමට යොමුකිරීම අත්‍යවශ්‍යය. සදාචාර සම්පන්න දරුවකු තනන දෙමාපියන්ගේ ඊළඟ වගකීම වන්නේ ජීවනෝපාය මඟක් උදෙසා ප්‍රයෝජනවත් අධ්‍යාපනයක් ලබාදීමය. විවාහය ගිහි ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි. එබැවින් නිසි වයසට පත් වූ විට තම දරුවන්ට යෝග්‍ය විවාහයක් කරදීම දෙමාපියන්ගේ වගකීමකි.

බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා ලාංකික සමාජයේ විවාහයේ දී දෙමාපියන්ගේ ආශීර්වාදය මෙන්ම මඟ පෙන්වීම අනිවාර්ය කොට සලකනු ලැබේ. සිඟාලෝවාද සූත්‍රයෙහි ‘පතිරූප’ (සුදුසු) යන වචනයෙන් අවධාරණය කරන්නේ සුදුසු විවාහයක් යන්නයි. ඒ අනුව නුසුදුසු නොගැළපෙන විවාහයන්ද තිබෙන බව දෙමාපියන් මෙන්ම තරුණ තරුණියන්ද වටහාගත යුතු ය. අවසාන කරුණින් ඉදිරිපත් කරන්නේ සුදුසු අවස්ථාවෙහි දායාද පවරා දිය යුතු බවයි.

දෙමාපියන් විසින් රැස්කරන ලද ධන සම්පත් පාලනය කිරීමට සුදුසු මට්ටමට දරුවන් පැමිණි පසුව ඔවුන්ට වගකීම් පැවරිය යුතුය යනු බෞද්ධ පිළිගැනීමයි. නුසුදුසු කල, නිසි පිළිවෙළකින් තොරව ඒවා පවරාදීමෙන් සිදුවන්නේ දේපොළ මෙන්ම දරුවන්ද විනාශයට පත්වීමයි.

මෙම කරුණු පහෙන්ම දෙමාපියන් විසින් දරුවාගේ සදාචාරය, අධ්‍යාපනය, විවාහය, ආර්ථික සුරක්‍ෂිතතාව යන කරුණු කෙරෙහි සැලකිලිමත්විය යුතු බව පෙන්වා දී තිබේ. දරුවන් විසින්ද තම දෙමාපියන් කෙරෙහි පිළිපැදියයුතු යුතුකම් රාශියක් වේ. එසේ වුවද දරුවන් විසින් නොසලකා හරින ලද මව්පියන් පිළිබඳ කොතෙකුත් අසන්නට ලැබේ. දරුවන් විසින් මව්පියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් පහක් ගැන සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් වේ. තමන් පෝෂණය කළ දෙමාපියන් වියපත් වූ පසුව පෝෂණය කිරීම, දෙමාපියන්ගේ සියලු අවශ්‍යතා සොයාබලා මැනවින් ඉටුකරදීම. දෙමාපියන් විසින් පවත්වාගෙන එනු ලැබූ යහපත් සිරිත් විරිත් හා සම්ප්‍රදායන් තමන් විසින්ද පවත්වාගෙන යාම. දෙමාපියන් විසින් තමන්වෙත පවරාදෙනු ලැබූ ධන සම්පත් විනාශ නොකොට ආරක්‍ෂාකර ගැනීම. මව්පියන් මියපරලොව ගිය පසුව ඔවුන් වෙනුවෙන් දක්‍ෂිණා පිරිනමා පුණ්‍යානුමෝදනා කිරීම ආදිය වෙයි.

මෙම යුතුකම් පහම දරුවන් විසින් මැනවින් ඉටුකළ ද දෙමාපියන් විසින් දරුවන් වෙනුවෙන් කරන ලද කැප කිරීම ප්‍රත්‍යුපකාර කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යම් දරුවෙක් වසර සියයක් මුළුල්ලෙහි තම මව්පිය දෙදෙනා දෙවුරෙහි තබාගෙන පෝෂණය කළත් දෙමාපියන් විසින් තමන්වෙත කරන ලද සේවයට ප්‍රත්‍යුපකාර දැක්විය නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

යම් දරුවෙක් දෙමාපියන් මැනවින් පෝෂණය කරන්නේ නම් එය ඔහුගේ දියුණුවට හේතුවේ. දෙමාපියන් පෝෂණය කිරීමේ හැකියාව තිබියදීත් එසේ නොකිරීම පිරිහීමට හේතුවකි. දෙමාපියන්ට නොසලකන දරුවා වසලයෙක් වශයෙන් දැක්වේ. මව්පියන්ගේ ආශීර්වාදය දරුවන්ගේ දියුණුව උදෙසා හේතුවන බව බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී කුමාරවරුන් අමතා දේශනා කළ සේක.

“මහනාමය, කිසියම් කුල පුත්‍රයෙක් උත්සාහයෙන් දහදිය හෙළා දැහැමි ක්‍රමයකින් උපයාගත් භෝගයෙන් මවුපියන්ට සත්කාර කරන්නේද ගරුකාර කරන්නේද බුහුමන් කරන්නේද පුදන්නේද එවිට මවුපියන් ඔහුට ‘සැරදේවා, බොහෝ කාලයක් ජීවත් වේවා!’ යනුවෙන් අනුකම්පා කරත්ද එය එම කුල පුත්‍රයාගේ දියුණුව පිණිසම හේතුවෙයි. ඔහුට කිසිම පිරිහීමක් නොවෙයි.”

දරුවෙකුට මෙලොව එළිය දැක ජීවිතය ගොඩනඟා ගන්නට උපකාරී වූ දෙමාපියන් දෙදෙනාට කළයුතු ඉතා වැදගත්ම සැලකිල්ල ලෙස දක්වන්නේ ඔවුන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකිරීමට දායක වීමයි. දෙමාපියන් තුළ ශ්‍රද්ධා, ශීල, සුත, චාග, පඤ්ඤා යන පංච ධර්මයන් වර්ධනය කරන්නට උත්සාහවත් වන්නේ නම් එය දෙමාපියන් වෙත කෙරෙන පරම ගෞරවය හා සැලකිල්ල ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෙකී ගුණ ධර්ම පුද්ගලයා සෝතාපන්න භාවයට පත්කරවන ඒවා ය. ආර්ය ශ්‍රාවක භාවයට පත්කෙරෙන මෙකී ගුණාංග දෙමාපියන් තුළ වර්ධනය කරගන්නට අවස්ථාව උදාකිරීම වැදගත් වන්නේ එයින් ඔවුන්ට සතර අපායෙන් නිදහස් වීමටත් නියත සම්බෝධිපරායනය වීමටත් අවස්ථාව සැලසෙන හෙයිනි. අනවරාග්‍ර සංසාරය තුළ ජාති, ජරා, මරණ ආදී අනන්ත වූ දුක් සමුදායක් විඳින ලද දෙමාපියන් සසර දුකින් නිදහස් කොට වර්තමාන ජීවිතයේදීම සෝතාපන්න භාවයට පත්කරන්ට ඔවුන්ට පිහිට විය හැකි නම් එය දෙමාපියන් වෙත කෙරෙන පරම පූජාව මෙන්ම ගෞරවයද වේ. එබැවින් ඔබ වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කළ මෑණියන් හා පියාණන් ආර්ය මාර්ගයට යොමු කර සසර දුකින් නිදහස් කිරීමට උපකාරී වන්න.


ප්‍රායෝගික ජීවිතයට බුදුදහම - 04 බිරිඳකගේ භූමිකාව

 

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]