UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිරා යන කයෙහි අසාරය

දිරා යන කයෙහි අසාරය

උපතත් සමඟ මරණ ධර්මයට නියත වශයෙන් ම පත්වන ලෝක සත්වයාට ජරා ධර්මය ජීවිතයේ අවසාන භාගයේම පමණක් ළඟාවෙතැ’යි අශ්‍රැතවත් පුහුදුන් තෙම සිතයි. යථා ස්වභාව නොදන්නාකම නිසයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යමෙක් ඇත්ද ඒ තුළ ජරා ව්‍යාධි ධර්මය නිරන්තරයෙන්ම පවතියි. විදර්ශනා භාවනා වැඩීමෙන්, සාරකොට ගත් පස් කඳෙහි අසාරය ටිකෙන් ටික අවබෝධ කරගෙන අත්හැරීම පුහුණු කරගත යුතුය.

නමුත් සිතෙහි ස්වභාව වන්නේ අරමුණු ඔස්සේ දිවගොස් සාරයක් ඇතැයි ආස්වාදයෙන් පිනවමින් මත්කරවා මුළා කිරීමයි. සිතත් ඒ හා බැඳෙන සිතිවිලිත් නුවණින් බලන විට , එහි අසාරය දකින විට නැවත නැවත යෝනිසෝමනසිකාරය පවත්වන්නට යෝගාවචරයාට හැකියි. සිතෙහි හා සිතුවිලිවල මායාකාර ස්වභාවයත් හටගත් තැන බිඳෙන ආකාරයත් ප්‍රඥා ඇසට ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට හැකියාව සැලසෙයි. සිතෙන්ම ලෝකය මවයි.මවා ඇත්තේ බොරුදෙයකි. එවිට මනා සිහිනුවණින් විමසන්නට විමසන්නට ඇස නමැති ලෝකයත්, කන , නාසය , දිව, කය, මනැස යන සියල්ලමත් පලුදුවන බවත්, නැසෙන බවත් (සතර මහා ධාතුන්ගේ් දෝෂය) ආදීනවයත් යළි යළි දකිමින් නිස්සරණය පිණිස ම ඡන්දය මතුවෙයි.

සසර බියකරු භාවය තත්ත්වාකාරයෙන් අවබෝධ වන විට කාමාදි අරමුණුවලින් වෙන්වී නෙක්ඛම්ම සංකල්පනා භාවිතා බහුලීකිරීමට සිත පත්කර ගනී. කාම ආශාවන් නිසා කර්ම රැස්කොට නැවැත නැවත කාමලෝකයන්හි ඉපදීම නිසා ජරා, ව්‍යාධි, මරණයට පත්වන බැවින්, කාමයන්ගේ ආදීනවය වටහාගෙන කාමතණ්හාව දුරුකිරීම සඳහා වෑයම් කරයි. අධ්‍යාත්මික කයෙහි සහ බාහිර රූපයන්හි අශුභය, අසාරය මෙනෙහිකොට කාමගිනි නිවාගැනීමට උත්සාහවත් වෙයි. එයින් ඇතුළාන්තය සමනයට පත්වෙයි. යළි යළි භව ආශාවට හේතුවන යම් හෝ කෙලෙස් ධර්ම සන්තානය තුළ හටගන්නේ නම් එයත් දුරු කිරීමට වීර්යය කරයි. භව තණ්හාව හේතු කොටගෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක , පරිදේව, දුක්ඛ දෝමනස්ස ආදි බහු දුක් වින්දනයට හේතු වන නිසා භව ආශාවද එයින් දුරුවෙයි.

අවිද්‍යාව මුල් බැස ගත්විට ඇතැම් පුහුදුන් ලෝකයා මරණින් මත්තෙහි උපතක් නැතැයි සිතමින් එම නිසා හැකිතාක් දුරට පව්කම් කරමින් දෘෂ්ඨිගතව කර්ම රැස්කර යි. අසීමිත ආශාවන් පසුපස වින්දනය ලබමින් කටයුතු කරයි. මහත් ආශාවන් අත්හැර සසර බියකරු බව තේරුම්ගෙන කටයුතු කළවිට විභව තණ්හාවෙන් දුරුවෙයි.

මෙලෙස ත්‍රිවිධ තණ්හාවෙන් සිත මුදා ගැනීමෙන් සසර දුකෙන් එතෙර වීමට හැකියාව සැලසෙයි. කාමලෝක, රූපලෝක,අරූප ලෝක යන භවත්‍රයම සංඛත බැවින් එහි ආදීනව තේරුම්ගත් යෝගාවචරයා සුබ සංඥාව (කයෙහි සරාගිව බැලීම) වෙනුවට අසුබය වඩා යම් කාම රාග ගින්නක් ඇත්නම් එය ප්‍රහීණ කරගැනීමට උත්සහවත් වෙයි. සසර දුකින් මිදීමට කැමැති වූ අය නිවන ශාන්තය,ප්‍රණීතය, අජරය, අව්‍යාජය, අමරය, එහි ජාත්‍යාදී දුක් කිසිවක් නැති හෙයින් නිර්වාණාවබෝධය පිණිසම වෙහෙස වෙයි. මම ජරාව ස්වභාව කොට ඇත්තෙමි. ජරාවට, නිරන්තරයෙන්ම පත්වෙමි යනුවෙන් කල්පනා කර ජරා ධර්මය ඉක්මීමට කයෙහි අසුබය බලමින්, බාහිර රූපයෙහිද (ළදරු, තරුණ, මධ්‍යම, සුරූපී, විරූපී, ලස්සන, කැත, උස, මහත) අසාරය,අසුබය බලමින් නුවණින් වාසය කරයි. නිවන පරම කොට සිත වැඩීමෙන් සුබ අරමුණයෙහි යම් වූ කාමරාගයක්, වේ නම් එය ප්‍රහීණ වෙයි.

අධ්‍යාත්මික සුවය ලබා ගැනීමට ආනාපානාසතිය අභිමුඛ කොට මනාලෙස හික්මීමෙන්, (වැඩීමෙන්, මොනවට වැඩීමෙන්) එළැඹි සිහියෙන් යුක්තව සියලු සංස්කාරයන්හි අනිච්චානු පස්සිව බලමින් (චිත්ත, චෛතසික, රූප) වාසයකරන කල්හි යම් අවිද්‍යාවෙක් වේද එය ප්‍රහීණ වෙයි. ඒ හේතුවෙන් විද්‍යාව (විජ්ජා) පහළ වේ. දහම් ඇස පහළ වීමෙන් ආලෝකය පහළවේ. ඤාණය පහළ වේ. මෙලෙස මතු ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස වූ උපායාස ආදි සකල දුකෙන් මිදෙයි මතුවට කළ යුතු, වැඩිය යුතු දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ කර ගනී. රූපයන් කෙරෙහි ඡන්දරාගය ප්‍රහීණවෙයි.වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන්හි ඡන්දරාගය සර්වා කාරයෙන් ප්‍රහීණ වෙයි.

සම්මා සම්බුදුපියාණන් වහන්සේ, පසේබුදු පියාණන් වහන්සේ, මහ රහතුන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීණ බැවින් සත්ව නාමයෙන් ව්‍යවහාර නොකෙරෙති. සාමාන්‍ය ලෝකය ‘සත්ව’ නාමයෙන් ව්‍යවහාර කෙරේ. එසේ වන්නේ රූපය (කය) කෙරෙහි,

අවීතරාගො හොති – රාගයෙන් යුක්තව
අවිගත පෙමො – නොපහ වු පේ‍්‍රමයෙන්
අවිගත ඡන්දො – නොපහ වූ ඡන්දයෙන්
අවිගත පිපාසො – නොපහවූ පිසාසයෙන්
අවිගත පරිළාහො – නොපහවූ පරිදාහයෙන්

අවිගත තණ්හො – නොපහවූ තෘෂ්ණායෙන් යන ආකාරයෙන් දාසව දැඩි බැඳුම් ඇතිව උපාදානයෙන් ගිලන් කය ගිලන් සිතකින් පරිහරණය කරන නිසාමය. නිකෙලෙස් උත්තමයෝ ගිලන් කය නොගිලන් සිතකින් පරිහරණය කරති. උන්වහන්සේට කිසිදු පරිදාහයයක් නැත. තණ්හා, දිට්ඨි, මාන, අවිජ්ජා යන ක්ලේශ ධර්මයන් සහමුලින්ම ප්‍රහීණ කර ඇත. කර්ම රැස්කිරීමක් නැත. සන්තානය අති පිරිසුදු හෙයින් ක්‍රියා සිත් පමණක් පහළ කරති.

පුහුදුන් ලෝකයා රූපය මමය,මගේය, මගේ ආත්මය ලෙස දැඩිකොට අල්ලාගෙන ජීවත්වෙයි. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණය උපාදාන කොටගෙන වාසය කරයි. පස් කඳෙහි යථාර්ථය නොදක්නා නිසා ‘සත්ව’ නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාදි පස් කඳ ආත්මය ලෙස ගන්නා නිසා මිත්‍යා දෘෂ්ඨියම වඩයි. බහුල කරයි. එයම සමාදන් වෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කර්ම රැස්කරයි. සසරම වඩයි. නැවත නැවත, ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි දුකටම වැටෙයි. ජාති කඳ, ජරා කඳ, ව්‍යාධිකඳ,මරණ කඳටම හේතු ප්‍රත්‍ය සකස්කරන නිසා සංසාර දුකෙන් එතෙරවන කාල පරිච්ඡේදයක්, ක්ෂණ මාත්‍රයන්, දකින්නට නොහැකිවනු ඇත. ඔවුන්ට සසර දීර්ඝ වනු ඇත.

සසර දීර්ඝ වීම යනු, ආයතනයන්ගේ පහළ වීමයි. ආයතන යන්නෙන් අදහස් කරන්නේම “දීර්ඝ” යන අර්ථයයි. හේතුන් නිසා හටගත් ඇස, කන, නාසය, දිව, ශරීරය ජරා, ව්‍යාධි, මරණ කරා නිරන්තරයෙන්ම ගමන් කිරීමයි. අතීතයට ගිය ඇසක් මගේ කියා ගත නොහැකිය. නූපන් අනාගතයේ ඇසක් මගේ් කියා ගත නොහැක. ඒ අතර කාලයේද (වර්තමානය) මොහොතක් වත් මගේ ඇස කියා ගත නොහැක. කාලය යනු වේගයයි. වේගය යනු ‘අනිච්ච’ ස්වභාවයි. යමෙක් ‘අනිච්ච’ නම් එය අත්හැරීම සැපයි.

නාම රූපයන්ගේ යථා ස්වභාව නම් ක්ෂණ මාත්‍රයක්වත් ස්ථිර පැවැත්මක් නොපැවැත්වීමයි. එය විදර්ශනා වැඩීමෙන් ම ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු වන්නේමය. ප්‍රඥා චෛතසිකය මුල්කරගත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ මෝරා යෑමෙන්ම ‘අනිච්ච’ හෙවත් සත්‍ය දහම් අවබෝධ වන්නේය. මසැසට එවන් සත්‍ය දහමක් විෂය නොවන්නේය. මසැසෙන් අරමුණ උරාගන්නා නිසා ලෝක සත්වයා මත්වීමට පත්වී ආස්වාදය සොයමින් වෙහෙසට පත්වන්නේය. ආස්වාදයන් නැවැත නැවත ස්ථිර කරගැනීමට පාපයටම සිත නැඹුරුවන්නේය. මුසපත් වු සිත නපුරම ගෙන දෙන්නේය. දුක් පිණිසම කර්ම රැස්කරන්නේය. යමෙක් හටගත්තා නම් එය නැසෙන බිඳෙන ස්වභාවයෙන් යුක්ත වන්නේය. එම පරම සත්‍යතාව නුවණින් නොදක්නා තෙක් ජාති,ජරා, ව්‍යාධි මරණයම සකස් කරගන්නේය.

ජරා ධර්මය යෝනිසෝමනසිකාරයෙන් යුක්තව වඩන්නේ නැතිතාක් ම යෞවන මදයෙන් මත්වී අකුසල්ම රැස්කරන්නේය. බාල තෙම තමාගේ කය දෙස බලන්නේම ස්ථිරසාර ලෙසමය. තණ්හා, දිට්ඨි, මාන,අහංකාර උඩඟු සිතින්ම වාසය කරන්නේය. අන් අය පහත්කොට තමාගේ් කය උසස් කොට සිතන්නේය. එහෙත් උපන්නා වූ සත්වයාට කොයි ආකාරයෙන් ව්‍යාධි ධර්මයට මුහුණ දීමට සිදුවේදැයි කිව නොහැක්කේමය. ළදරු, තරුණ,මහලු, වයස් භේදයන් නැතිවම විවිධආකාරයෙන් ලෙඩ රෝග වැළදෙන්නේය.

කය කෙරෙහි ආශාවෙන් (නොපහවූ රාගයෙන්) ජීවත්වන යම් වූ තරුණයකුට හෝ තරුණියකට බලාපොරෙත්තු නොවු ආකාරයෙන් දරුණු රෝගයක් හටගෙන බොහෝ දුක්විඳ යොවුන් වියේම මරණයට පත්වීමට ඇතැම්විට සිදුවන්නේය. යෞවනයේදීම ජරා ව්‍යාධිධර්ම උත්සන්න වී මරණය වන්නේය. නොවැඩි සිත් ඇත්තෝ මෙයින් විලාප දෙන්නෝය. රෝගය හටගෙන බොහෝ කලක් ලෙඩ ඇඳට වැටී කල්ගත කිරීමට සිදුවන විට, පි‍්‍රය වූ කය මාගේ නොවන්නේය, මා වසඟයෙහි පවත්වා ගැනීමට නොහැකි වන්නේය, ද්වාරයන්ගේ ගිලන්භාවය වැඩිවන්නේය, දුක්, වේදනා, බහුලවන්නේය, පි‍්‍රය වූ කය මා අත්හැරයයි යනුවෙන් ශෝක කරන්නේය. කඳුළු හලමින් විලාප දෙන්නේය. ක්ලාන්ත වන්නේය. දහනයට පත්වන්නේය. සන්ත්‍රාසයට, මෝහයට පත්වන්නේය. මෝහයෙන්ම කලුරිය කරන්නේය.

මේ තුළින් මා ඔබට පහදාදීමට සූදානම් වූයේ ජරා ධර්මයට අසූවිය. අනූවිය ආදියෙහි පමණක් නොව ඉන් මෙහා දශක වලදීද මුහුණ දීමට සිදුවන්නේය යන්නයි. උපන් සත්වයාගෙ ද්වාරයන්හි නිරන්තරයෝම ජරාව වැහැරෙන්නේය. දරුණු රෝගයක් වැළැඳී ඉතා ඉක්මනින් දිරීමට පත් වී කය වැහැරීමට පටන් ගන්නේය. වස විෂ කැවීමෙන්ද විෂම පරිහරණය (බීමත්කම )ආහාර අජීර්ණය ආදියෙන්ද දරුණු ඝෝර විෂ ඇති සර්පයන් දෂ්ට කිරීමෙන් හා කඩු, කිනිසි, පොලු පහරින් අත්පා සිඳීම් යනාදියෙන්ද ව්‍යසනයට පත්වේ. මෙලෙස රෝහලවල අපමණ දුක් විඳින සත්වයෝම බොහෝ වෙති.

මවුකුස දී ජරා, ව්‍යාධියට පත්වී මැරෙන්නෝය. ළදරුකල රෝග උත්සන්න වී බොහෝ කලක් ආතුර වී මැරෙන්නෝය. තරුණ වියේදී මහලු කල දී යනුවෙන් භේදයක් නැතිව දිරාපත් වීමට භාජනය වී පිරිහුණූ සිතින් මරණයට පත්වෙති. සතර අපායට වැටෙන්නෝද බොහෝය. මේ නිසා ජරාවට පත්වෙන බව නුවණින් මෙනෙහි කොට අජර වීමට කුසල සිත වඩත්වා!

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]