UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

අභිධර්ම චන්ද්‍රිකාව

කර්තෘ - පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ හිමි
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,
125, ඇන්ඩර්සන් පාර, නැදිමාල, දෙහිවල
මිල – රුපියල් 950 යි

ගැඹුරු ධර්මයක් වන අභිධර්මය කුඩා ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම තරාතිරමේ අයකුටම පහසුවෙන් උගැන්වීමට ලියන ලද පොතක් වශයෙන් මෙය හඳුන්වා දී තිබේ. විසුද්ධි මාර්ගයට සිංහලෙන් ලියන ලද හොඳම සන්නය මාතර සිරි මංගල පරිවේණාධිපතිව වැඩ විසූ පණ්ඩිත ශිරෝමණී මාතර ශ්‍රී ධර්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ය. සරල බසින් මෙම පොත ලිවීමට ඉහත අද්දැකීම උන්වහන්සේට උපකාරී වන්නට ඇත.

කොළඹ තරුණ බෞද්ධ සමිතිය දහම් පාසල් අධ්‍යාපනය සඳහා මෙහි කාණ්ඩ කීපයක් මුද්‍රණය කර තිබිණ. කාණ්ඩ නවයක් වශයෙන් වෙන් වෙන්ව පැවැති මෙම පොත එක පොතක් වශයෙන් මුද්‍රණය වී තිබෙයි. අභිධර්මය උගෙනීමට, භාවිතා කිරීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන මේ යුගයේ ඒ අයට අත් පොතක් වශයෙන් ද මෙම පොත භාවිතා කළ හැක. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියෝ පොතට හැඳින්වීමක් සපයමින් එම අදහස් ප්‍රකාශ කර සිටිති.
 


වෛදික යුගයෙන් බෞද්ධ යුගයට

කර්තෘ - වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමි
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල
මිල – රු. 325 යි

වෛදික යුගයේ සිට බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන් වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මකව සසඳමින් බෞද්ධාගම හඳුන්වාදීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත හඳුන්වා දී තිබෙයි.

බෞද්ධාගම ගැන තැන්පත් අවබෝධයක් ලබා ගැනීමට වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයේ පහළ වූ නා නා ආගම් හා දර්ශනවාද පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් අවශ්‍ය වෙයි. මෙම පොතින් එම අවශ්‍යතාවය එක්තරා ප්‍රමාණයකින් සපුරාළීමට උත්සාහ දරා ඇත. හේම එල්ලාවල විසින් ලියන ලද පොතේ හැඳින්වීමෙහි ඉහත අදහස් ඵල වී තිබෙයි. ග්‍රන්ථයේ කර්තෘ රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමියෝ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ධර්ම විජය විහාරයේ ආගමික උපදේශක වන අතර කැනඩාවේ ප්‍රධාන සංඝනායක තනතුර ද හොබවති.

 


පාලි අට්ඨකතා සාහිත්‍යය ප්‍රභවය හා විකාශය

කර්තෘ - කොටියාගල උපරතන හිමි
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල
මිල – රු. 180 යි

ශාස්ත්‍රපති කොටියාගල උපරතන හිමියන් විසින් රචිත මෙම කෘතියෙන් පාලි අට්ඨකතා සාහිත්‍ය පිළිබඳ සැඟවුණු ඉතිහාසය ගවේෂණය කිරීමට සාර්ථක ප්‍රයත්නයක් දරනු ලැබෙයි.

පාලි සාහිත්‍ය හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම අර්ථ කතා සාහිත්‍ය පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථීන්ට ද මෙම කෘතියෙන් මහඟු අත්වැලක් සැපැයෙන බව කෘතියට ප්‍රස්තාවනාව ලියන මහාචාර්ය කපිල අභයවංශ මහතා ප්‍රකාශ කර යි.



 


පාලි සාහිත්‍ය ඉතිහාසය (1) වංසකථා

කර්තෘ - මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්ථවිර
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල
මිල – රුපියල් 160 යි.

වංශ කතා යනු යම්කිසිවක ඉතිහාස කතාවය. එම නිසා ම මේ වංශකතා ඓතිහාසික වශයෙන් වැදගත්වෙයි. ඒ අනුව බුද්ධ වංශය, අනාගත වංශය, දීප වංශය, මහා වංශය, බෝධි වංශය, ථූප වංශය, දාඨා වංශය, ධාතු වංශය, ග්‍රන්ථ වංශය, හත්ථවනගල්ල විහාර වංශය, ඡාකේසධාතු වංශය, සාසන වංශදීපිකාව, ජිනවංසදීප කාව්‍ය ආදී වංශ කතා පිළිබඳ සංක්ෂිප්ත විමර්ශනාත්මක විස්තරයක් ඉදිරිපත් කෙරෙයි.




 


ප්‍රාචීන මධ්‍යම විභාගවලට නියමිත
මජ්ඣිම නිකාය සූත්‍ර දහය

සංස්කරණය – විජිතනන්ද සරත්චන්ද්‍ර
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල
මිල – රු. 280 යි

ප්‍රාචීන විභාගාපේක්‍ෂකයන්ට හා ශ්‍රී ලංකාවේ පිරිවෙන් පද්ධතියට අවශ්‍ය පොත පත මුද්‍රණය කරවීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රාචීන, මධ්‍යම විභාගයේ බෞද්ධ අධ්‍යයන විෂය සඳහා නිර්දේශිත මජ්ඣිම නිකායේ සූත දහය මෙම ග්‍රන්ථයට ඇතුළත්ව තිබෙයි.

එසේම ප්‍රාචීන භාෂා උන්නතියට, පිරිවෙන් සහ උසස් විභාග සඳහා බෞද්ධ විෂයයන් හැදෑරීමට ගිහි පැවිදි ශිෂ්‍යයන් වඩාත් උනන්දු කරවීමේ අපේක්‍ෂාව මෙහි අරමුණ වී ඇත. පාලි පෙළ සන්නය, ගැඹුරු පද විවරණය, අටුවා විස්තර, ධර්ම කරුණු ඉස්මතු කර දැක්වීම, සූත්‍ර සාරය ද අඩංගු කර ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් අන්දමින් සකස් කළ ග්‍රන්ථයක් වශයෙන් ද මෙය හඳුන්වා දී තිබෙ යි.
 


පාලි සුබෝධා

කර්තෘ - ලිලී ද සිල්වා
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – නැදිමාල
මිල – රු. 210 යි

පාලි භාෂාව පිළිබඳ පුළුල් දැනුමත්, පාලි උගැන්වීම පිළිබඳ දිගු පළපුරුද්දත් ඒකාබද්ධ කරමින් සකස් කළ වැදගත් ග්‍රන්ථයක් බවත් පාලි භාෂාව හදාරන ශිෂ්‍යයන්ට භාෂාව හුරු කරමින් ව්‍යාකරණයත් නිවැරදිව උගැන්වීම සඳහා ද උනන්දු වී තිබෙන බවත් ප්‍රවේශයේ සඳහන් වේ. මෙහි කතුවරිය වන මහාචාර්ය ලිලී ද සිල්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශාධිපතිනිය වශයෙන් කටයුතු කර තිබෙ යි.


 


බෞද්ධ දර්ශනය සහ චරණය

කර්තෘ - මහාචාර්ය ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – නැදිමාල
මිල – රු. 300 යි

අභාවප්‍රාප්ත මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න විසින් වරින් වර විවිධ සංග්‍රහයන්ට සැපැයූ ශාස්ත්‍රීය ලේඛන එක් රැස් කොට මෙහි පළ කර තිබෙයි.

ඩබ්ලිව්.එස්. කරුණාරත්න, පේරාදෙණිය සරසවියෙහි මෙන්ම කැලණිය සරසවියෙහි ද බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය ධූරය දැරීය.

හෙතෙම ලක් සරසවියෙහි පාලි හා සංස්කෘත අධ්‍යයනයන්හි නියුක්ත වූ විද්‍යාර්ථියකු බවත් විවිධාංශ, සංස්කෘතික, සාහිත්‍යක, ආර්ථික, සෞන්දර්යාත්මක දෑ විසින් පෝෂණය කිරීමටත් සාරවත් කිරීමටත් ශාන්තිනායක බුදුපියාණන්ගේ ශ්‍රී සද්ධර්මයෙන් ලද හැකි ආලෝකය මේ යැයි පෙන්වීමට හෙතෙම සමත් වූ බවත්, මහාචාර්ය ඇම්.එච්.ඇෆ්.ජයසූරිය මහතා පොතට පෙර වදන සපයමින් ප්‍රකාශ කර සිටියි.
 


නිවන් අවබෝධය නොහොත් භව නිරෝධය නම් වූ සියලු දුකින් සදහටම නිදහස්වීම

කර්තෘ - බෝගොඩ ප්‍රේමරත්න
ප්‍රකාශනය – අරුණා කුමාරි මාලතී පෙරේරා
අංක 31, ජයසිංහ පාර, කොළඹ 06
මිල රුපියල් - 350 යි

බුදුරජාණන් වහන්සේ විසින් මිනිස් ජීවිතය පඤ්චස්කන්ධ යනුවෙන් කාණ්ඩ පහකට බෙදා ඒ එකිනෙක වැඩ කරන විදිය පෙන්වා දී තිබෙන්නේ මිනිස් ජීවිතය මුළුමනින්ම ස්වාභාවික හේතු විසින් හටගන්වා ස්වාභාවික හේතු විසින් මෙහෙයවනු ලබන ස්වභාවධර්මයේ නිර්මාණයක් බව තේරුම් ගැනීමට උදව් කිරීමක් වශයෙනි. දුක, සැප, ආශා, තණ්හා, කාම, කෝප යනාදී විඳිනු ලබන කිසිවක් ස්වභාව ධර්මයට අදාළ නොවන බව අප කවුරුත් දන්නා දෙයක් ය.

ස්වාභාවික ජීවිතය දුක් විඳින ආත්ම භවයක් හැටියට පෙරළාගෙන තියෙන, ආත්ම නම් වූ උපාදාන ග්‍රහණය හිතෙන් ගලවා සෝදා දියකර දමන විධිය බුදු දහමට අනුව තේරුම් කර දීමයි. එවිට ඉතිරිවන ස්වාභාවික ජීවන පැවැත්ම නිවුණු, සැනසුණු ශාන්ත වූ ද ප්‍රණීත වූ ද උපේක්‍ෂා සහගත අත්විඳීමක් වන බවට සැකයක් නැත. මෙම පොත ලියා පල කිරීමේ අරමුණ එසේ සඳහන් කර තිබෙ යි.


සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය

කර්තෘ - පී. තේනබදු
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල
මිල – රු. 560 යි.

මහරගම රජයේ අභ්‍යාස විද්‍යාලයේ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ කථිකාචාර්ය වූ ශාස්ත්‍රපති පී තේනබදු විසින් රචිත මෙය ප්‍රාචීන, පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශි‍්‍රත ග්‍රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇත. එසේම අ.පො. සා.පෙළ, උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නවුන්ටද ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද මෙය පරිශීලන කිරීමෙන් බස නිවැරදිව වියරණ විධි අනුගමනයට ද මෙයින් ශක්තිය ලැබෙන බව පොතෙහි පසු පිටෙහි සඳහන්ව තිබෙ යි.

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]