Print this Article


බුද්ධ ධර්මය - 2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

බුද්ධ ධර්මය

2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

1 – 10 දක්වා ඇති ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න.

1. “භවත්නි නිහඬ වෙත්වා” ඒ මහණ ගොයම්හු එයි. ඒ ආයුෂ්මත් තෙම නිහඬ බව කැමැත්තේය” ආදී වශයෙන් නිහඬ බවෙහි වැදගත්කම සිය පිරිසට කියා දුන් පිරිවැජියා කවුද?

2. සමථ භාවනාවේ දී අරමුණු මෙනෙහි කිරීමට යොදා ගත හැකි කමටහන් ගණනින් කෙතෙක් ද?

3. “කාලා රස මුසු භෝජන කර පෙම්

ගාලා සුවඳැති සඳුනුත් මනරම්...” යනුවෙන් සාරධර්මයන්ගෙන් තොරව කා බී සතුටු වන මිනිසුන් පිළිබඳ කියැවෙන මෙම කවිය ඇතුළත් වන්නේ කිනම් කෘතියේද?

4. සරණපාල නම් කම්මල් කරුවා අහිංසක මිනිසෙකි. ඔහු තම කම්හලෙහි මෙසේ නාම පුවරුවක් එල්ලා ඇත. “මෙම කම්මලේ අසරණ සතුන් මැරීමට උගුල් ආදිය සාදනු නොලැබේ.” ඒ අනුව සරණපාල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිනම් මාර්ගාංගය අනුගමනය කරන්නෙක්ද?

5. ‘ලෝමහංස ජාතකය’ තුළින් ප්‍රකට වන්නේ බෝසතාණන් වහන්සේ කිනම් පාරමිතාව සම්පූර්ණ කළ අවස්ථාවක්ද?

6. පුද්ගලයෙකු නැවැත නැවැත උපදින ආකාරය පිළිබඳව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන ගැනීමට හැකි ඥානයක් බුදුරදුන්ට තිබුණි. එම ඥානය නම් කුමක්ද?

7. නිතර නිතර කිපෙන සුළු පුද්ගලයෙකුට සුදුසු භාවනා ක්‍රමය කුමක්ද?

8. ලක්දිව ප්‍රථම ස්තූපය ලෙස සැලකෙන මහියංගන ස්තූපයේ තැන්පත් කර ඇත්තේ බුදුරදුන්ගේ කිනම් ධාතූන් වහන්සේලාද?

9. සුබ නමැති තරුණ මානවකයෙක් බුදුරදුන්ගෙන් ඇසූ එක් ප්‍රශ්නයකි සත්වයන්ගේ විවිධත්වයට හේතු මොනවාද? යන්න එහිදී බුදුරදුන් ඔහුට දේශනා කළේ කුමක්ද?

10. ප්‍රථම ධර්ම සංගායනාවේ දී ගත් වැදගත් පියවරකි. ධර්ම විනය භානක පරම්පරාවන්ට පැවැරීම. එහිදී අංගුත්තර නිකාය කොටස පැවරුනේ කිනම් රහතන් වහන්සේට ද?

පිළිතුරු

1. පොට්ඨපාද පිරිවැජියා

2. 40කි

3. ලෝවැඩ සඟරාවෙහි ය.

4. සම්මා ආජීවය

5. උපේක්‍ෂා පාරමිතාව

6. චුතූපපාත ඥානය

7. මෙත්තානිසංස භාවනාව

8. ගී‍්‍රවාධාතු සහ කේසධාතු

9. කරන ලද කුශල් අකුශල්

10. අනුරුද්ධ මහරහතන් වහන්සේට හා ශිෂ්‍ය භික්‍ෂූන්ට

(2) 1. බුදු දහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක නම් කරන්න. (ලකුණු 2 යි)

2. සිත දියුණු කිරීමට ඉවහල් වන භාවනා ක්‍රමය හඳුන්වන්න. (ලකුණු 3 යි)

3. භාවනාවෙන් ශිෂ්‍ය ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ලකුණු 5 යි)

පිළිතුරු

(2) 1. සමථ භාවනාව හා විපස්සනා භාවනාව.

2. සිත දියුණු කර ගැනීමට ඉවහල් වන භාවනා ක්‍රමය ලෙස බුදුදහමේ හඳුන්වා දෙන්නේ සමථ භාවනා ක්‍රමයයි. යහපත් කුශල් අරමුණක සිත පිහිටුවා සන්සුන් කර ගැනීම මෙම භාවනා ක්‍රමයේ ප්‍රධාන ලක්‍ෂණයයි. සිත දියුණු කරන නිසා චිත්ත භාවනාව යනුවෙන් ද, සිත සමාධිගත කරන නිසා සමාධි භාවනාව ලෙස ද හඳුන්වයි. සත්‍ය අවබෝධ කිරීමට හා ප්‍රඥාව ලැබීමට උපකාර වන්නේ ද මෙම භාවනාවයි. ඒ වගේම පංචනීවරණ ධර්මයන් එනම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡාවාවන් යටපත් කිරීම මෙම භාවනාවෙන් කරනු ලැබේ. මෙම භාවනාවේ දී අරමුණුම මෙනෙහි කරනු ලැබේ. ඒ සඳහා යොදා ගත හැකි අරමුණු 40කි. ඒවා එම සතළිස් කමටහන් නම් වේ. යෝගාවචරයෙකු හෙවත් භාවනා කරන තැනැත්තා තම චරිතයට ගැළපෙන කර්මස්ථානයක් තෝරා ගත යුතු ය. මෙම භාවනාවන් දියුණු කිරීමෙන් පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්ති උපදවා ගත හැකිය..

3. සිත සන්සුන් කර ගැනීමට භාවනා මඟින් ශිෂ්‍යයෙකුට සැලසෙන්නේ මහත් පිටිවහලකි. ඇතැමුන්ට එකම තැනක එකම ඉරියවුවකින් සිටීම ඉතා අපහසුය. එසේ වුවද මෙම භාවනාව කරන කෙනෙකුට වැඩි වේලාවක වුවද එකම ඉරියව්වෙන් එක තැනක සිටීමට හැකිය. එමෙන්ම තමාගේ ජීවිතයේ විවිධ ගැටලු විසඳා ගැනීමට ද මෙම භාවනා ක්‍රමය මඟින් සැලසෙන්නේ ඉමහත් ප්‍රයෝජනයකි. ඒවගේම හදිසි කෝපය වැනි දෑ යටපත් කිරීමටද මානසික සහනයක් ලබා ගැනීමට ද එදිනෙදා දෛනික කටයුතු සාර්ථක කර ගැනීමට ද සැලසෙන සෙත ඉමහත් ය. කෙලෙස් සිතිවිලි පාලනය කර ගැනීම පාලනය කර ගත් සිතෙහි ධාරණ ශක්තිය වැඩි කර ගැනීමට ද හැකිය. එවිට සිත තුළ තෘප්තිමත් ස්වභාවයක් හට ගනී. අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇතිවේ. කායික රෝග පීඩාදිය අඩු වීම නිසා නිරෝගී බව ඇති වේ. සමබර ජීවිතයක් ගත කිරීමට ද විශේෂයෙන් සමථ භාවනා ක්‍රමය උපයෝගී වේ. අධ්‍යාපනය ලබන සිසුන්ට මෙන්ම කාර්යබහුල සැමට සුළු වේලාවක් හෝ භාවනාවක් තුළින් දෛනික කටයුතු ආරම්භ කළ හැකි නම් ඒ සියල්ල සාර්ථක කරගත හැකිය.