Print this Article


සෙල් තලාව මත ශෛලමය උරුමය රජ මහ වෙහෙර ගඩලාදෙණිය

ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය වශයෙන් ද වහරනු ලැබෙයි.

කොළඹ සිට මහනුවර දක්වාදිවෙන ප්‍රධාන මාර්ගයේ 104 වැනි කි. මී.කණුව ( සැතැ. 65) අසලින් දකුණට ඇති දවුලගල පාරේ මීටර 900 ක් පමණ පැමිණ මෙම ස්ථානයට සමීප විය හැකි ය. ගම්පොල යුගයේ ඔටුණු පලන් රජවරයෙකු වූ iv වන බුවනෙකබාහු ( රාජ්‍ය වර්ෂ 1341 – 1351 ) රජතුමාගේ අනුග්‍රහයෙන් 1වන ධර්මකීර්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සේනාධිලංකාර ඇමැතිතුමා විසින් මෙය කරවන ලද බව වෙහෙරබිම ඇති ශිලා ලේඛණයේ සටහනින් සනාථ වෙයි. මෙය ගොඩනංවන ලද්දේ ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැළසුමකට අනුව ය.

ගම්පොළ යුගයේදී කරවන ලද විශේෂිත වූ විහාරස්ථාන ඇත්තේ ගඩලාදෙණිය රජ මහා විහාරය සහ ලංකාතිලක රජ මහා විහාරය පමණි. ගඩලාදෙණිය විහාරය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින්ම නිමවා ඇති නිසාම මෙහි විශේෂිත ආකර්ශනීය පෙනුමකින් අලංකෘත වී තිබේ. අපගේ පැරැණි විහාර ආකෘතියට වෙනස් වූ හින්දු දේවාල ගෘහ නිර්මාණ ශිල්පයට සමීප සම්බන්ධතාවයකින් මෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ දැක ගැනීමට ලැබෙයි. එම යුගයේ බෞද්ධාගමට හින්දු ආභාෂය කාන්දු වූ වටාපිටාවක් තුළ මෙම විහාරයට ද හින්දු දේවාලයක හැඩරුවට අනුගතවී ඇත. මෙම වකවානුවෙහි සිංහල රජවරු ඉන්දියාවෙන් ආනයනය කළ බිසෝවරුන් සරණ පාවා ගත් බැවින් රජතුමා විහාර වන්දනාවට යනවිට දේවියට හුරු පුරුදු වටාපිටාවක් ඇතිකිරීමේ න්‍යායෙන් මෙවන් විහාරස්ථානයකට හින්දු ලක්‍ෂණ සම්බන්ධ කළා විය හැක. මේ වකවානුවේම කළ මෙයට ආසන්නයේම ඇති ලංකාතිලක රජ මහා විහාරයේ ආකෘතියෙහි ද මෙවැනි ලක්‍ෂණ දැකගත හැකි වුව

ද එහි අපගේ සම්ප්‍රදායික ආකෘතියේ ස්පර්ෂයන් ද හඳුනාගත හැකිය.

එහෙත් ගඩලාදෙණිය විහාරය මතින් දිස්වන්නේ හින්දු දේවාලයකට ආවේනික වු බහුතර ලක්‍ෂණයන් ය. එක අතකින් මෙය අපගේ සම්ප්‍රදායික විහාර ආකෘතියට හිතුවක්කාර පෙනුමක් එක් කළ අභියෝගාත්මක ව්‍යායාමයක් ලෙස ද හැඳින්විය හැකි ය. එමෙන්ම ජාතීන් අතර විරසකය ආගමානුකූලව සමනය කළ සාමයේ සංකේතයක් ලෙසින් ද කෙනෙකුට සිතිය හැකි වේ. කැටයම් සහිත කළු ගලින් කළ විහාරය එකක් පස එකක් පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් ද සමන්විතව තිබෙ යි. එහි ඇතුල් කාමරය රියන් 12 ක් පමණ ලෙස විශේෂ ඔත් පිළිමයකින් හා හිටි පිළිම වහන්සේ සිව් නමකින් ද බිතු සිතුවමින් ද සැදුනේ වෙයි. පිට කුටියේ දකුණු පස බිත්තියෙන් පිටතට පන්නා ඇති කුඩා කුටිය මහා විෂ්ණු දේවාලය තනා ඇත.

විසිතුරු කැටයමින් යුතු ත්‍රිත්ව ගල් කණු දෙකකින් සමන්විත පිටත මණ්ඩපය ආකර්ශණීය වෙයි. කැපූ කළු ගලින් නිමැවූ විහාරයේ  පියස්ස ද නිමවා ඇත්තේ කළු ගලින්ම ය. උඩුමහලෙහි අටැස්කොට කැපූ ගලින් නිර්මාණය කර ඇති දාගැබ හැඩරුවින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය සිහි ගන්ව යි. මෙහි ප්‍රධාන පිළිම වහන්සේ හිඳි පිළිමයකි. ‘සෙල් ලිපියට අනුව මෙම පිළිමය හඳුන්වන්නේ ශක, බ්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරණ ලද වජ්‍රාසනාරූඩව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සාධාතුක මහ පිළිමය වශයෙනි. ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩහුන් පිළිමය තනා ඇත්තේ ගඩොල් සහ බදාම භාවිත කරමිනි. (ලක්දිව සුපතල බුදු පිළිම – මාලිංග අමරසිංහ ) ‘ගඩලාදෙනිය ඉතිහාසය’ නමැති පොත් පිංචෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කත්ඩක්කුලමේ ධර්‍මකීර්ති නාහිමි සඳහන් කර ඇත්තේ මෙය ශෛලමය පිළිමයක් බව යි. එහි මෙසේ ද සඳහන් වෙයි.

“ එතැන් පත්ව තිබූ ප්‍රතිමා වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ තව්තිසා දෙව් වැසි දෙවියන්ට විජම් බණ දෙසන අයුරු දැක්වෙන ස්වර්ණමය ප්‍රතිමාවකි. එම පිලිමය 1412 දී කෝට්ටේ රජ පැමිණි මඪ වැනි පැරකුම්බා රජු විසින් උළු සෙවිලි පියස්සක් කොට වටදා ගෙයක් සාදා මුළු ගොඩනැගිල්ලම කපරාරු කොට සිතියම් කිරීමෙන් ගොඩනැගිල්ලේ ශොභාන්විතත්වය පිරිහී ගිය නමුදු එහි චිරස්ථිතියට එය උපකාරයක් වී තිබේ” යනුවෙනි. “ ප්‍රතිමා ලක්‍ෂණ අනුව මෙය බොහෝවිට ලාංකීය බුදුපිළිමවල ඇති ලක්‍ෂණයන්ට පටහැනිව තනා තිබේ. බුදු පිළිමයේ ලක්‍ෂණ හින්දු දේව රූපවල දැකිය හැකි ලක්‍ෂණයන්ට බෙහෙවින්ම සමාන වන අතර කිසිඳු ආකාරයකින් එහි ශාන්ත බවක් නො පිහිටා තිබේ” (ලක්දිව සුපතල බුදු පිළිම මාලිංග අමරසිංහ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – පුරාවිද්‍යා අධ්‍යයන අංශය) සිද්ධස්ථානයේ ඇති තවත් විශේෂ සැමරුමක් වන්නෙ ඉදිරිපිට ගල් තලාවේ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය යි. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යොදා චෛත්‍යයට ආරක්‍ෂාව සළසා දී තිබේ. මෙය විජයොත්පහය චෛත්‍ය රාජයා වශයෙන් හඳුන්වයි.

ගලින් නිමවූ විහාර ගෙවල් 4 ක් සහ ඇත් රූප 8 ක් අට පැත්තෙන් තිබෙන සේ අඩි 12ක් පමණ උසට සෑදූ අඩිතාලමක් මත නිමැවූ මේ අපූරු නිර්මාණය පිළිසකර කරවා ඇත්තේ මඪ වන පරාක්‍රමබාහු

රජතුමා විසින් බව සඳහන් වෙයි. ඇත් රූ දළ පෘතුගීසීන් විසින් විනාශ කළ බවක් ද කියැවෙයි. ඓතිහාසික වටිනාකමකින් යුතු විහාර භූමියේ බෝධීන් වහන්සේ වටව ඇත්තේ ශෛලමය බෝධි ඝරයකිනි.

දඹදිව දෙව්රම් වෙහෙර සමීපයේ ආනන්ද බෝධියේ අංකුරයක් මගින් මෙය රෝපණය කර ඇත්තේ ද 1 ධර්මකීර්ති මාහිමි පාණන් විසිනි. උපෝසථාගාරය සහ සංඝාවාසය ද කලින් කළ ප්‍රතිසංස්කරණය වි

ඇතත් පැරැණි මුහුණුවර නොවෙනස්ව පැවැතීම භාගයකි.

කෙසේ වෙතත් ගඩලාදෙනිය රජ මහා විහාරය අපගේ විහාර වංශ කතාවේ තවත් එක්තරා විශේෂත්වයකින් හෙබි ජාතික උරුමයකි. යුගයක පිය සටහන් හඳුනා ගැනීමට අවැසි සාධක සොයා යන ගමනේදී ගවේෂකයකුට, නිරීක්‍ෂකයකුට ගඩලාදෙණිය ගල්තලාව මත නැවතී විමසීමට බොහෝ දේ ඉතිරිකර තබා තිබේ. මොනයම් වූ සමාජ පසුබිමක දමිළ වූ ආකෘතියකට සෑදුව ද නොසෙල්වන ශෛලමය ස්මාරකය සහිත. වෙහෙර බිමෙන් හමා එන්නේ සිත සංහිඳියාවට පමුණුවන සාමකාමී බව සන්නිවේදනය කරණා සුළං රැල්ලකි. ගඩලාදෙණිය ජාතික උරුමය අදත් නොනැසී පවතින්නේ විරසක

නොවූ එදා මිනිසුන්ගේ හිත් තුළ පැවැති සංයමයට පින්සිදු වන්නටය. එය හෙටත් සුරැකෙන්නේ එවන් මිනිසුන් නිසාම ය.