Print this Article


දරුවා සමාජයට සම්පතකි

දරුවා සමාජයට සම්පතකි

ඇසින් දකින හා කනින් අසන දේ ගැන කරුණු දරුවන් මුලින්ම දැනගන්නේ මවු තුරුලේ සිටිය දී ය. කතන්දර කියාදීම හා නැළැවිලි ගී ගැයීම මව විසින් සිදු කරනු ලබන්නේ දරුවා නිදි ගැන්වීම සඳහා පමණක් නොවේ. දරුවාගේ ශ්‍රවණ ඉන්ද්‍රිය හා වින්දන ශක්තිය දියුණු කිරීම ද එහි අරමුණකි. එය දරුවාට ආහාරයකි. දරුවාට කියාදෙන කතන්දර ඔහුගේ ගුණ නුවණ වැඩෙන ඒවා විය යුතු යි.

සත්වයකුට රූපය ලැබෙන්නේ කෙසේ ද, සත්වයකුගේ අවයව හටගන්නේ කෙසේද යැයි ඉන්දක බුදුරදුන්ගෙන් විමසුවේ ය. උන්වහන්සේ ඔහුට එම කරුණු පැහැදිලි කළේ මේ අයුරිනි. මවුපියන්ගේ එක්වීමෙන් මුලින්ම මවුකුසෙහි කළලය හටගනියි. එය මුහුකුරා ගිය පසු අබ්බුදය හටගනියි. එය මේරූ විට පේශි ඇතිවෙයි. පේශි වැඩීමෙන් ඝණ බවට පත්වෙයි. අත් පා වැඩීම ඉන්පසු සිදුවෙයි. මව විසින් ගනු ලබන ආහාර පානවලින් කුසෙහි සිටින දරුවා යැපෙන්නේය.

බිලිඳු දරුවකුගේ සිරුර සකස් වන්නේ ප්‍රධාන වශයෙන් පඨවි (තද ගතිය), ආපෝ (වැගිරෙන ද්‍රව ගතිය), තේජෝ (උණුසුම) හා වායෝ ( වාතය ) යන කොටස් එකතු වීමෙනි. ඒ සඳහා ආකාස (හිස් බව) ද අවශ්‍ය වෙයි. මවුකුසේ දී දරුවකු සකස්වීම ස්වභාවික ක්‍රියාවලියකි. ඇතැම් දරුවන් අඟ පසඟවල අඩුපාඩුකම්වලින් යුතුව උපදින්නේ පෙර භවයේ කළ පාප කර්මයක් නිසා ම යැයි කිව නොහැක. ගැබිනි මවට නිසි පරිදි ආහාර නොලැබුණොත් උපදින දරුවා අංග විකලභාවයට පත්වන්නට ඉඩ තිබෙන බව ධම්මපදට්ඨ කථාවේ දැක්වෙයි. ඒ නිසා දරු ගැබක් දරන මවට පෝෂ්‍යදායක ආහාර අවශ්‍ය වෙයි. දරුවා බිහි වූ පසු මවක ඔහු පෝෂණය කළ යුතු පිළිවෙළ සෝනනන්ද ජාතකයේ සඳහන් වෙයි. තද අව්ව, සුළඟ හා සීතල ඇති වෙලාවට ඒවායින් දරුවාට අනතුරක් සිදු නොවන ලෙස රැක ගැනීම, දරුවාගේ අත්, පා, කන්, නාසා ආදී අවයව අතින් පිරිමැද අඩුපාඩු සකස් කිරීම, දරුවාගේ සිරුර නිරතුරුව පිරිසුදු කර තැබීම හා දරුවාට නිසි වෙලාවට ආහාර පාන දීම පෝෂණය වශයෙන් සැලකෙයි. මවුකුසේ සිටින අවස්ථාවේ අඩුපාඩු සහිතව වැඩුණු බිලින්දාගේ ඒ ඒ අඟපසඟ නැවත මැනැවින් හැඩගැස්වීම සඳහා ඔහු දෙකලවා මත හොවා ගෙන මව විසින් පිරිමදිනු ලැබිය යුතු බව වම්මික සූත්‍ර වර්ණනාවේ පැහැදිලි කර දි ඇත. බිලිඳු දරුවාගේ සිරුරේ හා මනැසේ වැඩීම සිදුකරන ආහාර වර්ග හතරක් මහා තණ්හාසංඛය සූත්‍රයේ දැක්වෙයි.

1. කබලිංකාරාහාර

සාමාන්‍ය ද්‍රව්‍යමය ආහාර මෙයින් අදහස් වෙයි. එමඟින් සිරුරේ වැඩීම සිදුවෙයි.

2. ඵස්සාහාර

ඇස්, කන් ආදී පසිඳුරන් සමඟ ගැටෙන දේ පිළිබඳ දැනීම හෙවත් ස්පර්ශය දියුණුවීම යි. එයින් සිදුවන්නේ ලෝකය පිළිබඳ හඳුනා ගැනීම යි. එය ද දරුවකුගේ වර්ධනයට අවශ්‍ය ආහාරයකි.

3 . මනෝ සංචේතනික ආහාර

ඇස්, කන්, නාසය ආදී ඉඳුරන්ට අරමුණු වන දේ පිළිබඳව තර්කානුකූලව විමසා බැලීමේ ශක්තිය දියුණුවීම යි. එය ද මනැසේ වැඩීම සිදුකරන ආහාරයකි.

4. විඤ්ඤාණාහාර

ඇස්, කන්, නාසය ආදී ඉඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු වෙන් වශයෙන් දැන ගැනීමේ ශක්තිය යි. එය ද මනැසට ආහාරයකි.

දරුවාගේ කායික හා මානසික වැඩීමට ද්‍රව්‍යමය ආහාර පානවලට අතිරේක වූ දේ ද වුවමනා බව එයින් පැහැදිලි වෙයි. ඇසින් දකින හා කනින් අසන දේවල් ගැන කරුණු දරුවන් මුලින්ම දැනගන්නේ මවු තුරුලේ සිටිය දී ය. කතන්දර කියාදීම හා නැළවිලි ගී ගැයීම මව විසින් සිදුකරනු ලබන්නේ දරුවා නිදි ගැන්වීම සඳහා පමණක් නොවේ. දරුවාගේ ශ්‍රවණ ඉන්ද්‍රිය හා වින්දන ශක්තිය දියුණු කිරීම ද එහි අරමුණකි. එය දරුවාට ආහාරයකි. දරුවාට කියාදෙන කතන්දර ඔහුගේ ගුණ නුවණ වැඩෙන ඒවා විය යුතු යි. දරුවකුගේ කායික පෝෂණය ගැන පමණක් නොව ඔහුගේ මනැසට වුවමනා ආහාර සැපයීමට ද මවුපියන් කල්පනාකාරී විය යුතුය. ආදරය, සෙනෙහස දරුවකුගේ මනැසේ හා සිරුරේ වැඩීම සඳහා අත්‍යවශ්‍ය වෙයි.

මවුකිරි පොවා තම දරුවා පෝෂණය කිරීම මවගේ වගකීමකි. මවුකිරි බිලිඳු දරුවාට සුදුසු ම ආහාරය යි. මව නිවෙසේ නොමැති විට ඔහුට කිරි දීම සඳහා, බිලිඳකු සිටින වෙනත් මවකට පැවරීම අපේ පැරැණි ගම්වල පැවැති සිරිතකි. අසල්වැසි මවුවරු තම දරුවාට දක්වන ආකාරයේ ආදරයකින්, කරුණාවකින් අසල්වැසි මවගේ දරුවාට ද කිරි දුන්හ. අනුන්ගේ දරුවන්ට කිරි දී පෝෂණය කිරීමේ ගුණය ඇතැම් තිරිසන් සතුන් තුළ පවා පවතියි. දරුවාට කිරි පෙවීමේ දී වැදගත් වන කරුණු කිහිපයක් මූගපක්ඛ ජාතකයේ සඳහන් වෙයි. ඉතා උස් සිරුරක් ඇති මවකගේ ඇකයේ සිට කිරි උරා බොන දරුවාගේ බෙල්ල දික්වෙයි. මව මිටි කෙනෙකු නම්, දරුවාගේ බෙල්ල කෙටි වෙයි. සිහින් සිරුරක් ඇති කෙට්ටු මවකගේ ඇකයේ සිට කිරි බොන විට දරුවාගේ කලවා රිදෙයි. මව තරබාරු නම්, ඇයගේ ඇකයේ සිටීමෙන් දරුවාගේ දෙපා ඇදවෙයි. එල්ලෙන පියයුරු තිබෙන මවකගෙන් කිරි බොන දරුවාගේ නාසය තද වී විරූප වෙයි. මේ කරුණු ගැන අවධානයෙන් යුතුව දරුවාට අපහසුතාවක් සිදුනොවන අයුරින් කිරි පෙවීමට මව සැලකිලිමත් විය යුතු ය.

මවුකිරි දීමෙන් දරුවා සහ මව අතර බැඳීම ඇතිවෙයි. රෝගවලට ඔරොත්තු දෙන ශක්තිය දරුවාට ලැබෙන්නේ මවුකිරිවලිනි. විද්‍යාවේ සොයා ගැනීම්වලින් පැහැදිලි වන්නේ මවුකිරිවල තිබෙන කොලස්ට්‍රම් නමැති ද්‍රව්‍යවලින් එම ශක්තිය ලැබෙන බවයි. මවුකිරිවල උණුසුමත්, විෂබීජ නොමැතිවීමත් දරුවාගේ සිරුරට හිතකර ය. තමන්ගේ සිරුර විරූප වේ යැයි බියෙන් තම දරුවන්ට මවුකිරි පෙවීමට ඇතැම් මවුවරු අකැමැත්තක් දක්වති. තම කුසෙහි දරාගෙන හදා වඩා මෙලොවට බිහිකළ බිලිඳාට මවුකිරි දෙන්නට මැළිවීම මවකට ගැළැපෙන දෙයක් නොවේ. මවු පදවියේ ගෞරවය පවතින්නේ තම බිලිඳු දරුවා පෝෂණය කරන්නට හා රැක බලා ගන්නට දරන ඇප කැපවීම පදනම් කරගෙන ය.

කුඩා දරුවන් මවුපියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය, කරුණාව, රැකවරණය හා ක්‍රීඩාවට අවස්ථාව යි. ඉඳුරන් මුහුකුරා යමින් දරුවා වැඩෙන විට, නඟුලෙන් සෙල්ලම් කිරීම, ලී දඬුවලින් ගුඩු ගැසීම, පිනුම් ගැසීම, හුළං පෙති කරකැවීම, වැලි සෙල්ලම් කිරීම, කරත්ත පැදීම හා දුනුවලින් විදීම වැනි කුමාර ක්‍රීඩාවල යෙදෙන බව මහා තණ්හා සංඛය සූත්‍රයේ දැක්වෙයි. ක්‍රීඩාව යනු මිනිස් ඉතිහාසයේ හැමකලෙක ම ළමයින් අතර පවතින බව එයින් පෙනෙයි. ක්‍රීඩාව සෑම දරුවකුට ම වුවමනා දෙයකි. විනයගරුක වීම, ඉවසීම, අන් අය සමඟ සුහදව හා සාමූහිකව කටයුතු කිරීම වැනි ගුණාංග දියුණුවීමටත් කායික හා මානසික වර්ධනය සඳහාත් දරුවන්ට ක්‍රීඩාව අත්‍යවශ්‍ය වෙයි.

‘ කෙනෙක් අත්පාවලින්, පහර දෙයි. මුහුණටත් අනියි, එසේ වුවත්, ඔහු ප්‍රිය මනාප කෙනෙකි. ඒ කවු ද ? යන ප්‍රශ්නයට මහෞෂධ පඬිතුමා පිළිතුරු සැපයූ අයුරු උම්මග්ග ජාතකයේ දැක්වෙයි. මවු තුරුලේ සිටින ළදරු කුමාරයා කිරි බී බඩ පුරවා ගෙන සතුටින් මෑණියන් සමග සෙල්ලම් කරයි. ලා දලු මෙන් මොළකැටි අත්වලින් මෑණියන්ට හිරිහැර කරයි. හිසකේ ඇද කඩයි. මැණියන්ගේ මුහුණට මිටින් අනියි. එවිට ආදරයෙන් ඔද වැඩුණු සිත් ඇති මෑණියෝ, හොර කොලු පැටියා, මාව මරන්න ද හදන්නේ යැ’ යි කියමින් ඔහු සුරතල් කරමින් ඉවසා දරාගත නොහැකි ආදරයෙන් දරුවා තුරුලු කරගනිති. උකුලෙහි හිඳ තමන්ට හිරිහැර කරමින් සෙල්ලම් කරන දරුවන්ට මෑණියෝත්, පියාණෝත් ආදරය කරති.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා දරුවන් මෙලොවට බිහිකොට ඔවුන්ට රැකවරණය ලබා දී පෝෂණය කිරීම හා ගුණ නුවණින් වැඩුණු යහපත් පුරවැසියන් බවට ඔවුන් පත්කිරීම මවුපියන්ගේ වගකීමකි. ආපාදකා, පෝෂකා, ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ යන විශේෂණ පද බුදුදහමෙහි මවුපියන් සඳහා භාවිත කරන්නේ එබැවිනි. ඒ නිසා, තමන්ට දාව උපන් දරුවන් හට නොසැලකීම බරපතළ වරදකි. බිලිඳා බිහි වූ මොහොතේ ම දෙපයින් අල්ලා ගඟකට, කැලයකට හෝ ප්‍රපාතයකට නොදමා ඔහු ආදරයෙන් හදා වඩා ගැනීම මවුපියන්ගේ වගකිමක් බව අංගුත්තර නිකාය අටුවාවේ සඳහන් වේ. ‘ පුත්තා වත්ථු මනුස්සානං’ යන කියමන අනුව දරුවා යනු මිනිසුන්ගේ සම්පත යි. මෙහි පුත්ත යන්නෙන් ගැහැනු, පිරිමි දෙකොටස ම අදහස් වෙයි. එමනිසා දරු සම්පත රැක ගැනීම මානව සමාජයේ වගකීමකි.